Pages

Friday, May 10, 2013

සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය | Horton Plains National Park

වසන්තය නිමාවී ඇති මුත් තොරතෝංචියක් නැතිව ඇදහැලෙන සිරිපොද වැස්ස අප සිටි සීඝ්‍රගාමී දුම්රියේ කවුළු අතරින් අපට දර්ශනය වේ. තවත් එක් සුන්දර වූ හිමිදිරියක, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රියට ගොඩ නැගුනු අප මේ ගමන් කරන්නේ දෙස් විදෙස් කාගේත් සිත්වසග කල ශ්‍රීලංකාවේ පිහිටි අති සුන්දරම වූ භූමිභාගයක් නැරඹීමටයි.

පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ලෝකාන්තය උද්‍යාන පිවිසුමට
ගමන්කල යුතු දිශාව හා ගමන්කාලය දැක්වෙන පුවරුව. 
හෝර්ටන් තැන්නට ලගාවිය හැකි ගමන් ආකාර කිහිපයකි. මහා කදුසිසාරා සෑදුනු බිංගෙවල් තුලින් ඇදෙන දුම්රිය කවුලුවකින් ඈත පෙනෙන නිසංසල තේයායක සුන්දරත්වය විදිමින් යාහැකි දුම්රිය ගමන මින් වඩාත් රසවත්යැයි මට සිතේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන දුම්රියට ගොඩවී පට්ටිපොල දුම්රිය ස්ථානයට හෝ ඔහිය  දුම්රිය ස්ථානයට හෝ ගොස් එතැන් පටන් කිලෝමීටර් 14
ක පමණ දුරක් ගියවිට සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය හමුවේ. වාහනයකින් ගමන් ගන්නේ නම් නුවරඑළිය නගරයේ සිට ලගාවිය හැකිය. මෙයින් අප තෝරාගත්තේ දුම්රියෙන් පට්ටිපොල දුම්රිය ස්ථානයට ලගාවී එතැන් පටන් වාහනයකින් ගමන් කිරීමයි.

 නිමේෂයකින් මීදුම් සලුවෙන් වැසීයන සොදුරු තුරුලතා
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හෙක්ටෙයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 - 2,300 අතර උසකින් පිහිටා තිබේ. මේ හේතුකොටගෙන තුරුමුදුන් සහිත කදුසිඛරයන් නිරන්තර මිහිදුම් සලුවෙන් වැසී ඇති අතර, එය රටේ ප්‍රධාන ගංගා කිහිපයකටම ජලයෙන් පෝෂණය සපයන ගංගාධර ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා තුනට අවශ්‍ය ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් සදහා වූ ජලපෝෂණයද ලබාදේ.

තැන්නට ආවේණික සොදුරු තුරුලතා
සාමාන්‍යයෙන් වසරේ වැඩි කලක් වැසි ලැබෙන ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නට පොදුවේ ගත්කල ජනවාරි සිට මාර්තු දක්වා කාලය තරමක් වියළිබව පැවසේ. මැයි මස මුල සතියක් වූ මේකාලයේ, අප එහි ලගාවන විටත් වැස්සේ අඩුවක් නම් අපි නිරීක්ෂණය නොකළෙමු.  දසතම සිසිල් වූ පරිසරයක ගතට දැනෙන සිසිලස මදකට නිවාලමින් ක්ෂණයකින් හිරුඑළිය වැටෙ
න අවස්ථාද එමටයි. සාමාන්‍යයෙන් මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 - 13 ක පමණ අගයක් ගන්නා බව පැවසෙන අතර, එය රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා පමණවූ අගයකට පහත වැටෙන බවද පැවසේ.
හෝර්ටන් තැන්න ඔබ නිරීක්ෂණය කළහොත් ඔබට නැරඹිය හැකි සොදුරු ස්ථාන කිහිපයකි. හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි ලෝකාන්තය ඉන් ප්‍රධාන තැනක් ගන්න අතර, එයට කලින් හමුවන කුඩා ලෝකාන්තයත්, සුන්දර බෙලිහුල් ඔයේ පහස ලබන බේකර්ගේ ඇල්ලත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පාරාදීසයන් වේ.

හෝර්ටන් තැන්න උද්‍යානය ඇතුළත ගමන් මගේ
නැරඹිය යුතු තැන්වලට ඇති දුර පෙන්වන පුවරුව
ලෝකාන්තය
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 3520 ක් පමණ ගමන් කලවිට සුන්දර ලෝකාන්තය හමුවේ. අඩි 2850 ක් පමණ වූ ප්‍රපාතය පත්ලේ කෙළවරවූ බලංගොඩ නගරයද මීදුම නැතිවිටකදී පැහදිලිව දැකිය හැකිය. ලෝකාන්තයට පැමිනෙන සංචාරකයන්ගේ පහසුව සදහා සවිකර ඇති ඒ පිළිබද තොරතුරු ඇතුළත් දැන්වීම් පුවරුවේ සදහන්ව ඇති පරිදි ලෝකාන්තයට පැමිණෙන ඔබට එහි සිට අවට බැලූ විට මීටර් 870ක පමණ පහත බෑවුමද පැහැදිලි දිනක ඈතින් පිහිටි මුහුද ද දැකගත හැකිය. වහාම පහල බැලූවිට තේ වතු යායක් සහ වලවේ ගගට දිවෙන කුඩා දිය පහරක් වන කිරිකැටි ඔයද දැකගත හැකිය. සැබවින්ම නිමේෂයකින් මීදුමින් වැසීයන  සොදුරු තුරුලතා වලින් හෙබි සිසිල් සෞම්ය පරිසරයක් ඇති මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්බැද ගැනීමනම් පුදුමයක් නොවේ.
  
බේකර්ගේ ඇල්ල
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 4770 ක් පමණ ගමන් කලවිට හමුවන උසින් මීටර් 20 ක් පමණවූ මේ සොදුරු දියඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර් විසින් මුලින්ම සොයගත් ලෙසට සැලකෙන හෙයින් මෙය බේකර්ගේ ඇල්ල ලෙසට හැදින්වේ.

සර් සැමුවෙල් බේකර් සොයගත් බේකර්ගේ ඇල්ල පාමුල සිට

බේකර් ඇල්ල පාමුල සිට - වම්පසින් ඇදහැලෙන ඇල්ලේ කොටසක්

හෝර්ටන් තැන්නට ආවේණික වූ ඒක දේශික සත්ත්ව හා ශාක විශේෂ
මෙහි දක්නට ලැබෙන යෝධ මීවන හා මහරත්මල් ශාකයන් පරිසරයට වඩාත් සුන්දරත්වයක් එක් කරනු ලබයි. සුන්දර හෝර්ටන් තැන්නට අවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා තැන්නේ බහුලව දැකිය හැකි සත්වයෙකි.
රත්මලින් පිරි ඒකදේශික මහ රත්මල් ශාකය

මහරත්මල් පුෂ්පයක සමීප දසුනක්

ඒක දේශික ශාකයක් වූ බෝවිටියා ශාකයේ පුෂ්පයක්

යෝධ මීවන ශාකයක්

තැන්නට ආවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා

හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි
ලෝකාන්තය බලා යන අතරතුර ..
මීදුම් සලුවෙන් වැසුණු ලෝකාන්තය කෙළවරටම වන්නට
හිදගත් අප ...



ගමන් වෙහෙස අස්වසා ගනුවස් ගිමන් හරින
අපේ කණ්ඩායමේ කොටසක් ...