Pages

Saturday, January 3, 2015

සමාජය නව මගකට යොමු කරන යහපත් පවුල් බැදීම

පවුලක් යනු සමාජයක පවත්නා වූ කුඩාම ඒකකයයි. එය පුළුල් සංකීර්ණ සමාජයක ආරම්භක ඒකකය ලෙසින්ද හැදින්විය හැකියි. දෙතැනක වෙන්ව ජීවත්වූ පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර, විවාහයෙන් පසුව එකිනෙකා බන්ධනයෙන් බැදී ස්වාමියා හා බිරිද ලෙසත්, පසුව ඔවුනට දාව උපත ලබන්නාවූ දරුවන් සැවොමත්, තමනට ආවේනික වූ හෝ තම මව්පිය පරම්පරාවෙන් පැවත එන පරිද්දෙන් වූ හෝ හුරුපුරුදු සිරිත්විරිත් තත්වයන් එකිනෙකාට පවත්වා ගනිමින්, එකිනෙකා සබදතා ගොඩනගා ගනිමින්, ඔවුනට ආවේනික වූ පොදු පැවැත්මක් නිර්මාණය කර ගැනීම පවුලකින් ප්‍රධාන වශයෙන්ම සිදුවේ. 

පවුල් ඒකකය තුල මෙසේ ඇතිවන්නාවූ ආවේනික සිරිත්විරිත් එකිනෙකාට පවත්වා ගනිමින් එකිනෙකා හා සබදතා ගොඩනගා ගැනීම පවුල් බැදීමක් ලෙසින්ද අර්ථ දැක්විය හැකියි. මේ පවුල් බැදීම් නොඑසේනම් පවුල තුල සිදුවන අන්තර් සබඳතා අපගේ ජීවිතය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය පවුලේ සාමාජිකයන් අතර හා පවුල තුල ඇතිවන තදබල බැදීමක් වේ. එය සදාකාලිකයි. පවුලේ සාමාජිකයන් අතර මෙසේ ඇති වන්නාවූ ආදරණීය සම්බන්ධතාවයන්, පියා සහ මව අතරත්, මව සහ දරුවන් අතරත්, පියා සහ දරුවන් අතරත් වගේම දරුවන් එකිනෙකා තුලත්  සතුට, වාසනාව හා සාර්ථකත්වය ගෙන එයි. 

දුකේදීත්, සැපේදීත් ආදරය, කරුණාව හා රැකවරණය සමගින් පවත්නා තත්වයන් එකට එක්ව එකිනෙකා හා සමව බෙදා ගෙන ජීවත් වීමට මෙකී පවුල් බැදීම ඉතා වැදගත් වනවා. එනිසයි කොතරම් දුප්පත් වුවත් පොහොසත් වුවත් පවුල් බැදීම් සැමදෙනාටම එක සමාන ලෙසින් වැදගත් වන්නේ. 

ආදරය හා සෙනෙහස ධනය මත යැපෙන්නක් නොවනවා සේම එය කිසිවිටෙකත් මිලමුදලට ලබාගත හැක්කක් නොවේ. දුප්පත් හෝ පොහොසත් හෝ වේවා ඕනෑම පවුලක් තුල ජීවත්වන සියලුම දරුවන් තම දෙමව්පියන්ගෙන් ආදරය, සෙනෙහස බලාපොරොත්තුවේ. කුමන සමාජ තත්වයක් හිමිවුවත් සියළුම දරුවන් තම විවිධ අවධීන් පසුකරමින් වැඩිහිටියන් දක්වා වර්ධනය වේ. ළදරුවෙක් නව යොවුන් වියටත්, පසුව වැඩිහිටි යෞවනයෙකු බවටත්. මෙසේ වර්ධනය වන ක්‍රියාවලිය තුළදී පවුල් බැදීම් ආරක්ෂා කර ගත යුතුමයි. 

නමුත් වේගයෙන් දියුණු වන නූතන ලෝකයේ පවුල් බැදීම් විචලනය වෙමින් (පා වෙමින්) පවතී. නූතන සමාජයේ බොහෝ දෙනා මුදල් කෙරෙහි පමණක්ම බොහෝ අවධානය යොමු කරති. මුදල් යනු සමාජයේ තත්ත්වය හා වැදගත්කමක් ලබාදෙන්නක් ලෙස අවබෝධ කරගෙන ඇති සෙයක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙසින්, මිනිසුන් එකිනෙකා තරගකාරී බවට පත් වී ඇත. ඔවුන්ට අන් අය ගැන සිතීමට වෙලාවක් නොමැත. පවුල් බැදීම් හෝ සබඳතා දුර්වලත්වයට පත් වී ඇත. එනිසාමයි අප සැවොම - තම පවුල් බැදීම් තවදුරටත් වර්ධනය කරගත් යුත්තේ. 

තම පවුල අතර බැදීම වර්ධනය කරගනිමින්, අප අපේ පවුල රැකබලා ගැනීමට ඉගෙන ගන්නා විට, අපේ සමාජය හා අපේ රට රැකබලා ගැනීමටත්, ඉන් ඔබ්බට ගිය යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමටත්, ඉගෙන ගත හැක්කේ එවිටයි.