Pages

Thursday, December 19, 2013

පහතරට තෙත් කලාපයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනය | Kanneliya Forest Reserve

කන්නෙලිය මංපෙතට පිවිසෙන පිවිසුම් මාර්ගය
ආරම්භයේ හමුවන ප්‍රධාන නානතොටුපල සෑදී ඇත්තේ
කන්නෙලිය වනය තුලින් ගලන නන්නිකිත ඇලෙනි. 
අප දන්නා පරිදි ලංකාවට ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින්, අතිබහුතරයක්‌ම වාර්තා වන්නේ තෙත් කලාපයේ පිහිටි වැසි වනාන්තරවලින්. ජෛව විවිධත්වයෙන් අනූනවූ මෙකී ස්වභාවික වැසි වනාන්තර ගැන කතා කිරීමේදී, අපේ මතකයට නිරතුරුවම නැගෙන්නේ, මධ්‍යම කදුකරයේ නිරිත දිග පැත්තට වන්නට පිහිටා ඇති හේක්ටයාර එකලොස්දහස් දෙසිය පනහක පමණ භුමිභාගයකින් යුතු ජාතික වනෝද්‍යානයක් වූ සිංහරාජ වනාන්තරයයි. යුනෙස්කෝ සංවිධානය විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කොට ඇති සිංහරාජ වනාන්තරය හැරුණු කොට තවත් ඒහා සමානම ජෛව විවිධත්වයන්ගෙන්  අනුනවූ තෙත්බිම් සමුහයක් මේ සුන්දර ලංකාදීපයේ තිබේ. මේ සමුහය අතරින් කන්නෙලිය වන රක්ෂිතයට හිමිවන්නේත් සුවිශේෂී ස්ථානයක්. 
ලෑලිපාලම පසුකරමින් ඉදිරියට යනවිට දැකියහැකි
කළුගල් අතරින් ගලාබස්නා දැකුම්කළු අනගිමල ඇල්ල.  

දියඅල්ලේ අසිරිය විදීමෙන් පසු ප්‍රධාන මංපෙතට පිවිස
ටිකදුරක් යනවිට හමුවන යෝධ පුස්වැල
අක්කරයක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇතිබව පැවසේ.
මෙවන් සටහනකින් ලිපිය ආරම්භකිරීමට සිත්වූයේ ඔබ අප නොදන්නා සුන්දර වැසි වනාන්තරයක් වූ කන්නෙලිය ගැන කියන්නයි. ගෙවුණු මාසයේ එක් සොදුරු සැන්දෑවක සහෝදර නිලධාරීන් සමුහයත් සමගින් අපි රුහුණු පුරවරයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය ආසන්නයට ලගාවුනෙමු. ඒ අපගේ වාර්ෂික සුහද හමුව මෙවර කන්නෙලිය ආසන්නයේ පැවැත්වීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබුණු නිසා. සැබවින්ම මෙහිදී වනාන්තරයක සිරි නැරබීමට අවස්ථාවක් ලැබේයැයි අපි නොසිතුවෙමු. අපගේ මුලික අරමුණ වුයේ වාර්ෂිකව පැවැත්වෙන සුහද හමුවට සහභාගිවීම සදහා නවාතැන වූ කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් ගමනාන්තයට ලගාවීමයි. එසේවුවත්, සුහද හමුවට පසුවදා හෝරා කිහිපයක් කන්නෙලිය වන රක්ෂිතයේ ගතකිරීමේ අවස්ථාව අපට අහම්බෙන්  උදාවුනා.

ඔබත් පහතරට වැසි වනාන්තරයක සිරි නැරබීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අප විදි සුන්දරත්වය විදගැනීමට මේ තොරතුරු යම් පිටුවහලක් වේවි.

සුපිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි ගල්ගොඩකන්ද දොළ.
මෙවැනි කුඩාදිය පහරවල් රාශියක් එකතුවී සෑදෙන
නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ ගිංගගේ හා
වලවේ ගගේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශ බව පැවසේ.
  
කන්නෙලිය වනාන්තරය ගාල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා තිබේ. ගාල්ල නගරයේ සිට නම් කිලෝමීටර් හතලිහක පමණ දුරක්.

ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණලංකා අධ්වේගී මාර්ගයෙන් ගමන්කොට ගාල්ල දෙසට වන්නට පිහිටි බද්දේගම පිවිසුමෙන් පිටවී නාගොඩ මාර්ගය ඔස්සේ උඩුගම නගරය හරහා කන්නෙලියට අප ගමන්ගත් මාර්ගය, කන්නෙලියට නොගිය ඔබට වඩාත් පහසු මගවන්නට පිළිවන්.

සුහදශීලී, ලෙන්ගතුබවින්, උපරිම විනෝදාස්වාදයක් ලබාදුන්
සුහද හමුව පැවැත්වූ අපගේ සොදුරු නවාතැන වූ
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්හි බාහිර පෙනුම.
වන සංරක්ෂිතයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයට ලගාවූ අපි පළමුවෙන්ම ඒ අසල පිහිටා ඇති කවුළුවෙන් ප්‍රවේශපත්‍ර ලබාගතිමු. එහෙත් මගපෙන්වන්නකුගේ සහාය නොමැතිවනම් වනමංපෙත තුලට ඇතුළුවීමට නොහැකියි.  අපගේ පෙරගමන්කරු නොහොත් මගපෙන්වන්නා ලෙස අප එකතු කරගත්තේ ඒ ප්‍රදේශයේම තරුණයෙකු වූ නුවන් සංජීවයි. පළමුව අපි ඔහු හා දොඩමලු වීමු. ඔහුගේ විස්තරයට අනුව මේ ප්‍රදේශයට කන්නෙලිය යනුවෙන් නම ඇතිවී ඇති ආකාරය විනෝදජනකයි. පුරාතනයේ මේ ප්‍රදේශය පාලනය කල ගම්මුලාදෑනියෙකු සිට  තිබේ. තරුණ ලියක් ඔහු හා විරසකවීම හේතුවෙන්, මෙම ප්‍රදේශයට පැමිණ නිරාහාරව දින කිහිපයක් ගත කර තිබේ. පසුව මෙය දැනගත් ගම්මුලාදෑනී තෙම නිරාහාරව සිටි මෙකී ලිය මුණ ගැසී තමන් රැගෙන ආ ආහාර අනුභව කරන ලෙසටම පෙරැත්ත කර සිටිහෙයින්, මෙකී ප්‍රදේශය කන්නලිය ලෙසට මුලින් හැදින්වී පසුව ව්‍යවහාරයේදී කන්නලිය යන්න කන්නෙලිය බවට පත්වූ බවටයි අදහස.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර . 
වනය තුලට ඇතුළුවී පටුමාවත ඔස්සේ ටිකදුරක් ඇවිද යනවිට නෙත ගැටෙන වියන් ස්තරය දිවිතීයකව ඇති වූ තුරුලතා වලින් නිර්මාණය වුවක්. ප්‍රාථමිකව පිහිටා තිබු මුල් වනාන්තරය දැව ලබාගැනීම සදහා ප්‍රයෝජනයට ගෙන ඇති අතර, අපට අද දක්නට ලැබෙන්නේ පසු කාලීනව වර්ධනය වූ ද්විතීයක වැසි වනාන්තර පද්ධතියක්. එවකට තිබු  දැවැන්ත වෘක්ෂයන් කපාඇති බවට සාක්ෂි සනාථ කරමින් ඉවත්කළගත නොහැකිව පරසරයටම දිරාපත් වන විශාල කදන් විටෙක අපට දැකගත හැකියි. එමෙන්ම, එකල මහා පරිමාණයෙන් කපා හෙලන ලද දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග අදටත් දැකගත හැකියි. ඇටඹ, බදුල්ල, කැකුණ, කීන, මඩොල්, හොර, ගල්වෙරළු වැනි තෙත් කලාපයට පමණක් ආවේනික වූ ශාක, ඇවිදයන ගමන්ම අපගේ මගපෙන්වන්නා වූ නුවන් සවිස්තරාත්මකව පැහැදිලි කරදුන්නේ අතින් පෙන්වමින්.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර .
ආවේනික උස් ශාක විශේෂ ගණනාවකින් පැහැදිලිවම ඉහලට නෙරා ඇති නෙරු ස්‌තරයත්, එයට පහලින් සිසිලස ලබාදෙන වියන් ස්‌තරයත්, යටින්ම වර්ධනය වී ඇති වැල් වර්ග, මීවන ශාක හා පෙදපාසි විශේෂත් මේ වනාන්තරයේ බහුලයි. වෙනිවැල්, කොතලහිඹුටු, ඉරමුසු, රසකිඳ, කොකුම්,සත්සඳ වැනි ඖෂධීය පැළෑටි වර්ග බොහොමයක් මෙහිදී දැකගත හැකි බව පැවසුවත්, අප ගමන්කළේ වනය තුලින් වැටී මාවතක නොව ගල්දමා තාර ඇතිරූ මාවතේ පමණක්ම බැවින් එයට ආසන්නව බහුලව වැඩී ඇති වෙනිවැල් ඖෂධීය පැළෑටියනම් හොදින් නිරීක්ෂණය කෙළෙමු. 

සහෝදර විධායක නිලධාරීන්ගේ එකමුතුවෙන් පැවති
වාර්ෂික සුහද හමුව.
කන්නෙලිය වනයේ සැරිසැරූ අපට හමුවූ ස්ථාන අතරින් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට නිමවා ඇති විඩානිවාගත හැකි ගිමන්හල්, ස්වභාවිකව නිර්මාණයවී පිහිටා ඇති උමන් මාර්ගය, ගල්ගොඩකන්ද  දොළ, ස්වභාවික දැව වලින් පමණක්ම නිමවා ඇති දැවමය ලෑලි පාලම, සුන්දර අනගිමල ඇල්ල හා යෝධ පුස්වැල සුවිශේෂී වේ.

බද්දේගම පිටවුමෙන් පිටවී
නාගොඩ දෙසට හැරෙන මාවත අභියස .. අපේ කස්ටිය ..... 
සුන්දර හෝරා කිහිපයක් සිහිල් වනපියසෙක ගත කිරීමේ අවස්ථාව ලද අපි අපගේ චාරිකාව නිමකොට නැවතත් ගමනාරම්භ කල ස්ථානය කරා නැවත ලගාවීමු. පිවිසුම් මාර්ගය අසල පිහිටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ තොරතුරු වල හා දැන්වීම් පුවරුවේ සදහන් පරිදි, 1934 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර පසුව, එනම් 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබේ. යුනෙස්කෝ ආයතනය විසින් මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වර්ෂයේදී කන්නෙලිය වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට සෞන්දර්ය නැරඹීම සහ වන විද්‍යා පර්යේෂණ සිදුකිරිම සඳහා පමණක්ම වෙන්කර තිබේ.

අපේ කස්ටිය .....
බද්දේගම අධිවේගී මාර්ග පිටවුම  නාගොඩ හන්දිය අසලදී  ...
පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරයක ස්වභාව සෞන්දර්ය නැරඹීමට හා ඉන් වින්දනයක් ලබාගැනීමට කැමති ඔබට කන්නෙලිය වනාන්තරය ඉතාමත් සුදුසු ස්ථානයක් වනවා නොඅනුමානයි. මෙවන් සුන්දර පරිසර සුරැකීමසුන්දරත්වයට ලැදි ඔබ අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින්, පියසටහන් පමණක් ඉතිරි කොට මතකය පමණක් රැගෙන අපි අපගේ නවාතැනට ලගාවීමු.

අපේ කස්ටිය .....
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්  ඉදිරිපිට ..
අතොරක් නැතිව නැගුනු මැඩියන්ගේ නදින් හා සියොතුන්ගේ සුමියුරු නදින් මත්වුනු නන්නිකිත දොළේ දියපහර අසල පරිසරය විදිමින්, විනෝදයෙන් ගතකල මොහොතක දියනෑම පසෙකලා අවට සංචාරය කිරීමේ අදහස ක්‍රියාවට නංවමින් අප හා එක්වුණු ජයන්ත ප්‍රියරත්න මහතාටත්, ප්‍රවේශපත්‍ර මිලදී ගනිමින් මුල්‍ය පරිත්‍යාගය සිදුකල කිත්සිරි මුහන්දිරම් මහතාටත්, වනය තුල  සංචාරයේදී අපට මගපෙන්වමින් අත්දැකීම් බහුල දැනුමින් අපව පෝෂණය කරමින් කන්නෙලිය රක්ෂිතය තම ජීවය කරගත් නුවන් සංජීව සොහොයුරාටත්, ඒකාකාරීතත්වය බිදලමින් ස්වභාව සෞන්දර්යයෙන් මත්කොට සොදුරු නවාතැනක සුහද හමුව පැවැත්වීමට අදහස් කල විධායක නිලධාරීන්ගේ සංගමයටත් මෙහිදී සැබැවින්ම ස්තුතිවන්ත වෙමු.










Monday, September 30, 2013

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය | Lankathilaka Viharaya, Kandy

අතීත කලාකරුවන්ගේ නිර්මාණාත්මක කැඩපත විදහා දක්වන ගඩලාදෙණිය රජමහා විහාරයෙන් සමුගත් අපගේ මීලග අදහස ගම්පොළ රාජධානි යුගයේදී ගොඩනගන ලද ගෘහ නිර්මාණ ශිල්පයෙන් හා අලංකාර ලක්ෂණයන්ගෙන් අගතැන්පත් අනිත් විහාරයවූ ලංකාතිලකය නැරඹීමයි. සුන්දර වටපිටාවකින් හෙබි ලංකාතිලක විහාරය පිහිටා ඇත්තේ උඩුනුවර හියරාපිටිය නම්වූ ග්‍රාමයකයි.

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන  හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයත් යැයි සැළකෙන මෙම විහාරස්ථානය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරවන ලද්දකී. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි. 

ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූපොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණදී එය සංඝයාවහන්සේට පූජා කරන ලදී. 

මෙම විහාරස්ථානයේ නැගෙනහිර පසටවන්නට බුද්ධප්‍රතිමා සහිත පිළිම ගෙය පිහිටා ඇති අතර, බටහිරට වන්නට දේවාලය පිහිටුවා තිබේ. ගල්තලාව පාමුල විහාරගෙය පැත්තට වන්නට සංඝාවාස ආදි ගොඩනැගිලි පිහිටා ඇත. මෙයට අමතරව වෙහෙර, බෝධිය, බණමඩුව හා දෙවියන්ට ආහාර පිසීමට පැවති මුලුතැන්ගෙයි ගොඩනැගිලිද විහාරභූමියේ පිහිටා තිබේ. 

බුද්ධප්‍රතිමා වහන්සේ

බුද්ධප්‍රතිමා සහිත ප්‍රධාන විහාරගෙය හා යාබදව පිහිටා ඇති දේවාලය  

ප්‍රධාන විහාරගෙයට යාබදව පිහිටා ඇති
වෙහෙර, බෝධීන් වහන්සේ හා දේවාලය 

විවේකී සති අන්තයේ පිය පුතු ඇතුළු සැම ලංකාතිලක විහාරය
වන්දනාමාන කරගැනීමෙන් පසු ප්‍රධාන විහාරගෙය අභියස  

Thursday, September 26, 2013

ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය | Gadaladeniya Ancient Temple

තවත් එක් විවේකී දිනයක අපේ සූදානම ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ සොදුරුතමවුත්, පූජනීයවූත් බෞද්ධ ස්ථානයක් නැරබීමට යාමටයි. ඒ පුරාවිද්‍යාඥයින්ගේ මෙන්ම සුවහසක් කලාකාමී හදවත් ආමන්ත්‍රනය කල, බෞද්ධයන්ගේ  ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය ගඩලාදෙණිය රජමහා විහාරය නැරඹීමටයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට වන්නට හමුවන පිළිමතලාව නම් වූ නගරයෙන් හැරී දවුලුගල මාර්ගයේ ටික දුරක් යන විට  පූජනීය ගඩලාදෙණිය රජමහා විහාරය අපට හමුවේ.  

පළමුවෙන්ම විහාරගෙයට ඇතුලුවී බුදුපුදසුන මත අප රැගෙන ආ මල් තබා එකත්පසව හිදගැනීමෙන් අනතුරුව, පන්සිල් අනුමෝදන් කිරීම සිදුකරනු ලබන්නේ ගඩලාදෙණිය විහාරවාසී හිමිනමක් විසිනුයි. උන් වහන්සේගේ ධර්මදේශනයට අනුව මෙම ස්ථානයට ගඩලාදෙණිය යන නම ලැබී ඇති ආකාර දෙකකි. ඉන් එක් මතයක් නම් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නැමැති ස්ථානයෙන් මෙම විහාරය ඉදිකිරීම සදහා අවශ්‍ය ගල්කඩාගෙන ආ බැවින් මුලින්ම කඩලාදෙනිය නමින් හැදින්වී පසුව ව්‍යවහාරයේදී කඩලාදෙනිය යන්න ගඩලාදෙණිය නමින් භාවිතයට ගැනීමයි. එමෙන්ම තවත් මතයක් වී ඇත්තේ විහාරගෙට අවශ්‍ය ගල පිහිටි දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ බැවින් ගඩොල ආදෙණිය පසුව ගඩොලාදෙණිය හා භාවිතයේදී ගඩලාදෙණිය නම්වී යැයිද සැළකේ.

පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙන
ගඩලාදෙණිය රජමහාවිහාරයේ ඇති විහාරගෙය
ගඩලාදෙණිය රජමහා විහාරයට ඇතුලුවන ද්වාරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති දැන්වීම් පුවරුවේ සදහන් වන අන්දමට මෙය ගම්පොළ යුගයේ ඉදිකරන ලද්දකි. නිකාය සංග්‍රහයට අනුව සද්ධර්මතිලක නමින් හදුන්වා ඇති මෙම විහාරය 4වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේ දකුණු ඉන්දීය විජය නගර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ක්‍රි.ව. 1344 දී ගොඩනංවන ලද විහාරස්ථානයකි. මෙහි ඇති විහාරගෙය පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙන අතර ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව නිමවූ ශෛලමය ඉදිකිරීමකි. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවද දැකිය හැකි බවට එහි සදහන්.  පසුකාලීනව එනම් ක්‍රි.ව. 1412-1467 රජ පැමිණි ඩස වන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණයන් සහිතව හුණු පිරියම් කිරීමක්ද සිදුකර ඇතිබැව් පැවසේ. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පවරා තිබේ.

ශෛලමය උස් අඩිතාලමක් මත ගොඩ නංවා ඇති
විජයෝත්පාය චෛත්‍ය රාජයාණන් වහන්සේ
බුවනෙකබාහු රජු රාජ්‍ය පාලනය කරන සමයේ රාජානුග්‍රහය ඇතිව ධර්මකීර්ති නම් වූ හිමිනමක් විසින් වැඩිදියුණු කොට නිමකල හෙයින්ද ශ්‍රී සද්ධර්මයට තිලකයක් බදු වු මෙම විහාරස්ථානය අද ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය නමින් හැදින්වේ. ගම්පොළ රාජධානි යුගයේදී ගොඩනගන ලද විහාර අතරින් අදටත් අපට දක්නට ලැබෙන්නේ ගඩලාදෙනිය හා ලංකාතිලකය පමණක් වන අතර මේවා ඉදිකිරිමේදී දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආභාෂය හා සම්මිශ්‍රණය නොමදව ලැබී තිබේ.


විහාරගෙයට ඇතුලුවන ස්ථානයේ ඇති මෙය
ශෛලමය ත්‍රිත්ව කුළුණ නමින්ද හැදින්වේ. 
ඉහත ඡායාරූපයෙන් දක්නට ලැබෙන්නේ ප්‍රධාන විහාරගෙයට ඇතුලුවන ස්ථානයේ ඇති අති විශිෂ්ට කලා නිර්මාණයක් වන දැවැන්ත ගල්කණු දෙකෙන් එකක සමීප සේයා රුවක්. ශෛලමය නිර්මාණයක් වන මෙහි ප්‍රධාන කුළුණටම සම්බන්ධ වන්නට තනා ඇති තවත් කුඩා කුළුණු දෙකක් දක්නට ලැබේ. එනිසා මෙය ශෛලමය ත්‍රිත්ව කුළුණ නමින්ද හැදින්වේ.

මෙවන් උසස් කලාත්මක වටිනාකමකින් සමන්විත මේ පුණ්‍යභූමියේ දක්නට ලැබෙන ශිලාලේඛණ මගින් අපට උරුමවුණු සාඩම්බර ඉතිහාසයක කරුණු විදහාදක්වයි. මෙවන් වටිනා ඓතිහාසික තොරතුරු සම්භාරයක් සවිස්තරාත්මකව අප වෙත පහදාදුන් විහාරවාසී හිමියන්ට අපගේ හර්‍දයාංගම කෘතඥතාවය පුදකරමින්, ප්‍රෞඩ ජාතියක උසස් කලා නිර්මාණයන් අදටත්, මතුපරපුරටත් උරුම කරදීම නරඹන අප සැමගේ යුතුකමක් පමණක් නොව වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින් මේ පුණ්‍ය භූමියෙන් අපි සමුගත්තෙමු.

Wednesday, August 21, 2013

ශ්‍රී ලංකාවේ මිනිරන් | Sri Lankan Graphite

මිනිරන් වාණිජමය වශයෙන් ප්ල්ම්බගෝ (Plumbago), බ්ලැක්ලෙඩ් (Black Lead) යනුවෙන් ද ව්‍යවහාරයේ දී භාවිතා වේ. නමුත් ඉංග්‍රීසියෙන් මිනිරන් හදුන්වනු ලබන්නේ ග්‍රැෆයිට් (Graphite) යන නමින්. 1749 සැප්තෑම්බර් 25  දින උපත ලද ජර්මන් ජාතික භූවිද්‍යාවරයෙකු වූ ඒබ්‍රහම් ගොට්ලොබ් වර්නර් (Abraham Gottlob Werner) නැමැත්තා විසින් 1790 දී සිදුකරන ලද ඛනිජ වර්ගීකරණයේදී මිනිරන් වලට ග්‍රැෆයිට් (Graphite) යන නාමය මුලින්ම හදුන්වාදෙන ලද බව සැලකේ. ජර්මන් භූගෝල ශාස්ත්‍රයේ පියා ලෙසින් ජර්මනියේ විරුදාවලිය ලත් මොහු විසින් ඛනිජමය පාෂාණ ක්‍රමානුකූලව හදුනාගැනීමේ හා කාණ්ඩ කිරීමේ ක්‍රමවේදයක් මුලින්ම හදුන්වාදී ඇති අතර, ඔහු විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද අත්පොත ඛණිජ පාෂාණ පිළිබදව ලියා පලකරනලද මුල්ම මුද්‍රණය ලෙසද සැලකේ.  

කඩා පිරිසිදු කරන ලද මිනිරන් 
ග්‍රැෆයිට් නොහොත් "මිනිරන්" යනු ස්වභාවික වශයෙන් පෘථිවියේ පිහිටා තිබෙන ස්ඵටිකරූපී කාබන් වර්ග තුනෙන් එකක්. සෙසු ස්ඵටිකරූපී කාබන් වර්ග දෙක වන්නේ, ගල්අගුරු හා දියමන්තියි. මිනිරන්, දියමන්ති හා ගල් අගුරු යන ස්ඵටිකරූපී කාබන් වර්ග තුනේම රසායනික සංයුතිය එක සමාන වුවත්, භෞතික ගුණාංග අතින් මේවා එකිනෙකින් බෙහෙවින් වෙනස් වේ. මෙයට හේතුව ඒවායේ එකිනෙකට වෙනස් පරමාණුක ව්‍යුවහයේ ඇති වෙනස්කම් වේ.


මිනිරන්, යම් යම් සුලු අපද්‍රව්‍යයන් හැරුණු කොට සම්පූර්නයෙන්ම කාබන් මූලද්‍රව්‍යයෙන් සැදි ඇති ඛනිජ ද්‍රව්‍යයකි. සම්මත තත්ව යටතේ වඩාත්ම ස්ථායි කාබනික සංයෝගය ලෙස සැළකෙන්නේද මිනිරන් වේ. මෙකී මිනිරන් ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. එය පහත පරිදි වේ. 

1. කුට්ටි හෝ පතුරු මිනිරන් (Lump graphite/Vein graphite)
2. පියලි මිනිරන් (Crystalline flake graphite)
3. අස්ඵටික මිනිරන් (Amorphous graphite) 

කුට්ටි හෝ පතුරු මිනිරන් (Lump graphite/Vein graphite) 
පියලි මිනිරන් (Crystalline flake graphite) 
අස්ඵටික මිනිරන් (Amorphous graphite) 

මින් ශ්‍රී ලංකාවේ හමුවන්නේ පළමු වර්ගය වන කුට්ටි හෝ පතුරු මිනිරන් වන අතර, මෙම වර්ගයද ස්ඵටිකරූපී හා අස්ඵටිකරූපී ලෙසට වර්ග කළහැකිය. මිනිරන් සමග ස්වාභාවිකව හමුවන වෙනත් ඛනිජ වර්ග වලට උදාහරණ ලෙස ක්වාට්ස් (තිරුවාන), කැල්සයයිට්, මයිකා (තලාතු මිනිරන්), පයිරයිට්, යකඩ ඔක්සයිඩ්, සිලිකේට යන ඛනිජ වර්ග හැදින්විය හැක. 

එමෙන්ම මිනිරන් බහුලව හමුවන්නේ විපරීත පාෂාණයන් අතර බව සැළකේ. විපරීත පාෂාණ යනු ඉතා ඉහළ උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ පොලොව මතුපිට වූ පාෂාණ ස්ථරයේ චලනයන්ට හසුවීමෙන් නිර්මාණය වූ නව පාෂාණ වර්ගයකි. වඩාත් සාරවත් මිනිරන් ඉල්ලම් ඉතා අධික ලෙස විපරීතයනට භාජනයවූ පාෂාණ අතර හෝ තුල හටගනී. එවැනි අධික විපරීත තත්වයනට භාජනයවූ පාෂාණයන් වලට උදාහරණ  වනුයේ ග්නයිසිස්, ශිස්ට් හා හුණුගල් වේ. ඉතා සාරවත් මිනිරන් ඉල්ලම් මේ පාෂාණ අතර පිහිටනු ඇති බවට සැලකේ.

ශ්‍රී ලංකාවේ පිහිටන මෙකී සාරවත් ඉල්ලම් මිනිරන්, මිහිතුල ඛනිජයක් වශයෙන් බොහෝවිට දක්නට ලැබේ. වඩාත් ගුණාත්මක උසස් තත්වයෙන් යුතු ඉල්ලම් මිනිරන් කැණීම් සිදුකරනු ලබන එක් පෞද්ගලික ආයතනයක්  ලෙසට  කෑගල්ල දිස්ත්‍රික්කයේ, අරුග්ගම්මන ග්‍රාමයේ පිහිටා ඇති බෝගල මිනිරන් පතල හැදින්විය හැකිය. මෙයට අමතරව රාජ්‍ය ආයතනයක් වූ කහටගහ මිනිරන් පතලත්, පෞද්ගලික හිමිකරුවකු සතුවූ රාගෙදර මිනිරන් පතලත් ස්වභාවික මිනිරන් කැණීම් සිදු කෙරෙන අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානයන් බවට සැළකේ. විපරීත පාෂාණයන් තුළ ස්වභාවිකව පිහිටා ඇති මිනිරන් කැණීම්  තුළින්, ස්වභාවික මිනිරන් නිෂ්පාදනය සිදු කෙරෙන අතර, කෘතීමවද මිනිරන් නිෂ්පාදනය කල හැකිය. කෘතීමව මිනිරන් නිෂ්පාදනය සිදුකරනුයේ පෙට්‍රෝලියම් සහ කෝක් අගුරු විදුලි ඌස්මකයක දහනය කිරීමෙනි. මිනිරන් වලින් විවිධාකාර වූ ප්‍රයෝජන ගත හැකි නිසා කාර්මික ඛනිජ අතරින් මිනිරන් වලට විශාල ඉල්ලුමක් පවතී. එහෙත් ස්වාභාවිකව හමුවන මිනිරන් හා කෘතීම මිනිරන් අතර පවතින පැහැදිලි වෙනස්කම් නිසා මේ දෙක අතර සමාන තරගකාරීත්වයක් නොපවතී. කෘතීම අන්දමින් සාදන මිනිරන් වර්ග වල ඒවායේ නිෂ්පාදන පිරිවැය වැඩි නිසා අඩු ඉල්ලුමක් ද,  ස්වභාවික මිනිරන් ඉල්ලම් වලින් හෝ නිධි වලින් අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් ගුණාත්මක තත්වයෙන් නිපදවන නිසාත් එය කාර්මික කටයුතු වලදී වඩාත් ගුණාත්මකව යොදාගත හැකි නිසාත් ස්වභාවික මිනිරන් සදහා වැඩි ඉල්ලුමක් ද පවතී.

Saturday, August 17, 2013

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය | History of Graphite Industry in Sri Lanka

ඛනිජ සම්පත් යනු මිනිස් සංවර්ධනය හා ඉතා කිට්ටුවෙන් බැදී පවතින ස්වාභාවික සම්පත් විශේෂයකි. ඇමරිකානු පතල් කාර්යාංශය මගින් කරනු ලැබ ඇති වර්ගීකරණයකට අනුව ලොව ඇති ආර්ථික ඵලදායි ඛනිජ සම්පත්, ශක්තිය සපයන ඛනිජ, යකඩ හා යකඩ මිශ්‍ර ලෝහමය ඛනිජ, යකඩ නොවන ලෝහමය ඛනිජ හා ලෝහමය නොවන ඛනිජ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.  ශ්‍රී ලංකාව පිළිබද තත්වය සළකන විට ඛනිජ ඉන්ධන හෝ ආර්ථික මට්ටමේ ලෝහමය ඛනිජ සංචිත කිසිවක් රට තුළ මෙතෙක් සොයාගෙන නොමැත. එසේ වුවද, ලෝහමය නොවන ඛනිජ සම්පත් වලින් රට කිසියම් වූ ප්‍රමාණයකට පොහොසත්ය. මිනිරන්, මැණික්, ඛනිජවැලි, පිගන් මැටි, හුණුගල් හා පොස්පේට් දේශීය ලෝහමය නොවන ඛනිජ වලට නිදසුන්වේ. මේ සියලු ඛනිජ සම්පත් වලට සාපේක්ෂව මිනිරන් නිධි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැවති අතර, එය අතීතයේ පටන්ම බහුලව මිනිස් ශ්‍රමය යොදාගනිමින් පවත්වා ගෙන යන්නාවූ කර්මාන්තයකි. දේශීය මිනිරන් වල ඇති  අධික කාබන් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන්  සුප්‍රසිද්ධ බැවින්ද, ඒ සදහා අධික මිළක් ගෙවනු ලැබූ හෙයින්ද අනෙකුත් දේශීය ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත අභිබවමින් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ක්‍රමයෙන් රටතුල ස්ථාපිත විය.

මිනිරන් කර්මාන්තයේ විකසනය

පුරා විද්‍යාත්මක සාධක වලට අනුව ප්‍රාග් ඉතිහාසික යුගයේදී (එනම් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ ) ගිණිකොනදිග යුරෝපයේ මැටි බදුන් අලංකාර කිරීම සදහා ස්වභාවික මිනිරන් භාවිතයට යොදාගෙන ඇති බවට තොරතුරු සොයාගෙන ඇත.   එසේම ක්‍රිස්තු වර්ෂ 1565 පෙර ආසන්න වසරකදී බ්‍රිතාන්‍යයේ බැටලු එඩේරුන් පිරිසක් විසින් මිනිරන් ඉල්ලමක් සොයාගෙන ඇති අතර, එයින් කඩාගත් මිනිරන් කැබලි එරට ස්වදේශිකයන් විසින් බැටලුවන් සළකුණු කිරීම සදහා භාවිතයට ගත් බැව්ද කියැවේ.  සාක්ෂරතාවය පහළ මට්ටමක තිබූ පුරාතනයේදී  ජීවත්වූ ජනයා මිනිරන් වලවූ සුවිශේෂී දිළිසෙන ස්වභාවයත්, ලිහිසි ගතියත් නිසා එය වටිනා ලෝහයක් ලෙසින් වරදවා වටහාගැන්මට පවා යෙදී තිබේ.

මෙසේ ස්වභාවික හමුවූ මිනිරන් කෝව සෑදීමට, අච්චු ඇතුළත ආලේපනයට වඩාත් සුදුසුයැයි සොයාගැනීමත් සමග එය කාර්මික අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට ගැනී ඇත්තේ වර්ෂ 1533 ත් 1603 ත් අතර කාලයකදීය. කාලතුවක්කු උණ්ඩ සැදීමට ගන්නා අච්චු ඇතුළත ආලේපනය සදහා මිනිරන් සුදුසුවීම හේතුවෙන් එය බ්‍රිතාන්‍යය හමුදාවන්ගේ ආයුධ නිෂ්පාදන ක්‍රියවලියට දායක කරගැනීමට සියලු මිනිරන් පතල් රජය යටතට ගෙන නිෂ්පාදන ක්‍රියාවලියන් සිදු කර ඇතිබවට සදහන්ය. 

මධ්‍යතන යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයත්, විද්‍යා හා තාක්ෂණ ක්සේත්‍රයේ ඇතිවූ සීග්‍ර දියුණුවත්, පළමු හා දෙවන ලෝක සංග්‍රාමත් හේතුවෙන් නොයෙකුත් කාර්මික යෙදවුම් සදහා මිනිරන් අමුද්‍රව්‍යයක් ලෙසට භාවිතා කිරීම වඩවඩාත් ප්‍රචලිත වූ හෙයින්, බ්‍රිතාන්‍යය යටත්විජිත රටක්වූ ශ්‍රීලංකාවේ මිනිරන් සදහා ඇති ඉල්ලුමද ක්‍රමයෙන් වැඩිවන්නට විය. බටහිර රටවල සිදුවූ සීග්‍ර කාර්මික වර්ධනය හේතුකොටගෙන මිනිරන් වලින් ලබාගතහැකි වෙනත් ප්‍රයෝජන සම්බන්ධයෙන් අත් හදා බැලීම්වලටත් මග පෑදුණි. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති ලංකාව ඒවනවිට කාර්මිකකරණය පැවති බටහිර රටවල මිනිරන් සදහාවූ ඉල්ලුම පවත්නා සැණකින් ප්‍රයෝජනයට ගතහැකි වෙළදසබදතාවයක් ගොඩනගාගෙන තිබූ හෙයින් ශ්‍රීලංකාවේ මිනිරන් කර්මාන්තයේ පුනර්ජීවනයක් සිදුවී තිබේ.

දහනව වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිට 1870 ගණන්වල මුල කොටස දක්වාවූ කාලය සුලු අපනයන කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ස්ථාපිත වූ අවධියක් ලෙසට සදහන් කළ හැකිය. මෙම කාලයේදී මිනිරන් කර්මාන්තයේ වර්ධනයට හේතුවූ මූලික සාධකය වුයේ අධික කාබන් ප්‍රමාණය අතින් සුප්‍රසිද්ධ ශ්‍රීලංකාවේ ඉල්ලම් මිනිරන් සදහාවූ ඉල්ලුම වැඩිවෙමින් පැවතීමයි.

1869 සිට 1918 දක්වා වූ කාලය තුල ශ්‍රීලංකාවේ මිනිරන් වලවල් හා පතල් 3000 ක් පමණ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය පුරාම තැනින් තැන ඇතිවී ඇත. යාන්ත්‍රික උපකරණ යොදාගත් පතල් (මෝල් පතල්) හා මිනිස් ශ්‍රමයෙන් වැඩකල පැරණි ක්‍රමයේ වලවල් හා පතල් (දබරේ පතල්) මේ අතර වේ.


කෙසේ නමුත් ශ්‍රීලංකාව තුල විශාල පතල් කිහිපයක දියුණුව ඇතිවී ඇත්තේ ඒවායේ කලින් කලට සිදුවූ ආර්ථික උස්පහත් වීම්වලට මුහුණ දෙමිනි. වර්ෂ 1930 දී ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පතල් විශාල ගණනක් වැසීයාමට හේතුවී ඇති අතර, තවත් කිහිපයක නිෂ්පාදනය මුලුමනින්ම නැවතී ඇත. දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් ඇතිවූ ඉල්ලුම සැපිරීමට අවශ‍ය නිෂ්පාදනයන් ලබදිය යුතුව තිබූ හෙයින් නැවතත් 1940 දී පමණ ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය  පුනර්ජීවනයක් ලබන ලදී. කෙසේ වෙතත් මේ සියලු උස් පහත්වීම් වලට නොසැලී මුහුණ දෙමින් ශ්‍රී ලංකා මිනිරන් වලට වූ සීමිත වෙළදපොළ ස්ථාවරව පවත්වාගෙන යමින් පැවැත්ම තහවුරු කරගැනීමට සමත්වූයේ බෝගල, කහටගහ හා කොළොන්ගහ පතල් පමණකි.  වර්තමානයේ මිනිරන් සදහා පවතින්නාවූ මෙකී සීමිත වෙළදපොල ස්ථාවරව, සාර්ථකව පවත්වාගෙන යාමේ කටයුත්ත නියැලී සිටිනු ලබන්නේ බෝගල පතල පමණකි.

ශ්‍රීලංකාවේ පාෂාණ ස්ථරයන්ගේ පිහිටීම හා
වර්තමානයේ සක්‍රීයව පවතින මිනිරන් පතල් පිහිටි ස්ථාන දැක්වෙන සිතියම
(සිතියම උපුටාගැනීම - අන්තර්ජාලයෙනි)

පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.

සබැදි තවත් ලිපි:
1)    ශ්‍රී ලංකාවේ මිනිරන් | Sri Lankan Graphite
2)    බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines
3)    පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත

Thursday, August 1, 2013

ඓතිහාසික අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරය | Isurumuniya : Ancient temple in historical City of Anuradhapura

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු අගනගරය වූ අනුරාධපුර නගරයේ රජකළ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-210) විසින් ගොඩ නංවන ලද, ඉතාමත් උසස් කලා නිර්මාණ රැසකින් සමන්විත ඉසුරුමුණි විහාරය සුන්දර පිහිටීමකින් හෙබි ඉතා මනරම් ප්‍රදේශයක පිහිටා තිබේ. ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනගිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතරින්, තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් පිහිටා ඇති ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.  
ඉසුරුමුණිය විහාරයේ පෞරාණික රූපරාමුවක්

වංශ කතාවල සඳහන් පරිදි ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා වැඩසිටි ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය පසුව ඉසුරුමුණිය නම් වූ බවත් පැවසේ. ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත් ප්‍රසිද්ධයි. පසුකාලීනව රජ පැමිණි කාශ‍යප  රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට, ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට මෙම විහාර පරිසරය "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කල බවද පොතපතේ සදහන් වේ. 

මා දුටු ඉසුරුමුණිය විහාරය
විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහි, ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතර, එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.
විහාර ගෙට ප්‍රවේශ වන ශෛලමය පිය ගැට පෙළ
ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

පිහිටි ගලෙහි කැටයම් කරන ලද "මිනිසා සහ අශ්ව හිස" පිළිරුව 
මෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. කලාත්මක කැටයමක් වූ ඉසුරුමුණියේ පෙම්යුවල කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටිනා ඉරියව්වක් නිරූපණය කරයි. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. 

ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන
ඉසුරුමුණියේ පෙම්යුවල

විවේකී සතිඅන්තයේ පවුලේ සැවොමත් සමගින් තෙත් කලාපයෙන් වියළි කලාපයට කෙරුණු අනුරපුර මේ සංචාරයේදී අටමස්ථානය ඇතුලු සෑම පූජනීය ස්ථානයක්ම නැරබීමට අවස්ථාවක් නොලැබුනත්, ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරය සිත්සේ නරබා වන්දනාමාන කරගැනීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් නම් අපේ සිත් තුල ඇත්තේ අපමණ ප්‍රීතියක්.ඒ සම්බන්ධයෙන් නිසි මගපෙන්වීමක් ලබාදෙමින්, එකී ස්ථානවල පෞරාණික වැදගත්කම වටහාදුන් බෝගල ආයතනයේ හිටපු නිලධාරී මහතෙකු වූ ඩබ්.පී. කුමාරසිංහ සහ එම මහතාගේ දයාබර මෑණියන් ඇතුලු පවුලේ සියලු දෙනාටම අපගේ හදපිරි සතුට මෙහිදී ප්‍රකාශ කර සිටින්නෙමු.

සැබැවින්ම ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරයට නුදුරෙන් මෑතකදී තනා ඇති දිය පොකුණ, ලෝක පූජිත ශෛලමය කලා නිර්මාණ, ඓතිහාසික බෝ සමිඳුන් සමගින් ඈතට දිස්වන ශ්වේතමය ස්ථූපය මෙන්ම ගල මුදුනට පියමං කළහැකි ශෛලමය පිය ගැට පෙළ අපේ මතකයේ සදා රැදේවි. සාඩම්බර අතීතයක මං සළකුණු සටහන් කෙරුණු මේ කලා නිර්මාණ අපට කියාපාන්නේ අපේ ජාතියේ උතුම්වූ ශ්‍රේෂ්ට බවයි.

චිත්‍රා සෝමපාල නම් වූ කලාකාරිණිය විසින් ගායනා කරන්නට යෙදුණු "ඉසුරුමුනියෙහි"නම් වූ ගීතය  තුළින් ගැයෙන්නේත් ඓතිහාසික ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම කැටයම් කළ අතීත කලාකරුවන් ගැන වර්ණනාවක්. මෙවන් උසස් නිර්මාණ වත්මන් පරපුරට දැකබලා ගැනීමට දායාද කිරීම සම්බන්ධයෙන් අතීත කලාකරුවනට ඔවුන් කළ සේවය වෙනුවෙන් අපගේ ණයගැතිබව ප්‍රධානය කෙරෙන ගමන්ම එය අපට ආඩම්බර වියහැකි කරුණක් බවටද ගීතයෙන් අර්ථවත් වේ. නව රිද්ම‍යට ගැයෙන මේ ගීතයෙන් ඔබේ සිතටත් එවන් හැගුමක් ජනිත නොවේදැයි ඔබම මොහොතක් සිතා බලන්න.

මා සිත්ගත් ඒගීතයට ඔබත් කැමතිනම් පහත සබැදියෙන් රසවිදිමින් මේ සොදුරු නවතැනේදී ගීතවත්ව සමීප වෙමු....

Monday, July 1, 2013

ඩ්‍රොප්බොක්ස් වලට අභියෝගයක් වූ ගූගල් ඩ්‍රයිව් (Google Drive) Online දත්ත ගබඩාව | What is Google Drive?

අන්තර්ජාලයේ දත්ත සුරැකුම් මධයස්ථාන (Cloud Storage Centers) අතර පෙරමුණ ගත් ඩ්‍රොප්බොක්ස් (Dropbox), මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් (Microsofts' Skydrive) හා ඇපල් අයි කලවුඩ් (Apple's iCloud) ගොන්නට එකතුවූ තරගකාරී ගූගල් ඩ්‍රයිව් (Google Drive) කියන්නෙ තොරතුරු ගබඩා කරන්නත්, ඒ තොරතුරු වෙනත් සේවාවන් සමග සම්බන්ධ කරගන්නත් පුලුවන් අලුත් වෙබ් සේවාවකටයි.

Google Drive is a cloud storage service...
ගූගල් ඩ්‍රයිව් කියන්නේ ඩ්‍රොප්බොක්ස් වගේම නොමිළේ ලබා දෙන Online දත්ත ගබඩාවක්. එය ජීමේල් ගිනුමක් හිමි ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට ලියාපදිංචි වී පහසුවෙන් ප්‍රවේශ වියහැකි, තැන්පත් කර ඇති දත්තයන් තවත් කෙනෙකු හා බෙදාගත හැකි අලුත් වෙබ් සේවාවක්. ඇපල් අයි කලවුඩ් වැනි සේවාවන් iOS භාවිතා කරන්නන්ට පමණක් වුවත්, ගූගල් ඩ්‍රයිව් ඕනෑම මෙහෙයුම් පද්ධතියකදී යොදා ගත හැකි අතරම, ඇපල් අයිපෑඩ්, අයිෆෝන් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට්ස් වල හා ජංගම දුරකථන වලද භවිතා කලහැකි වනවා.

It provides upto 5GB of free space to store your documents, photos, music, videos, etc.. in one place & sync with it your all mobile devises and your computer. 
Further it tracks your changes. So, if you make an edit to the document and hit Save, you can still look back at all your revisions from the past 30 days........ 
ගූගල් ඩ්‍රයිව් කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් (Google Docs) සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් ලෙසින් මුදාහැර ඇති අතර, එයට ඔබගේ ජී මේල් ගිනුම හරහා සම්බන්ධ විය හැකි වනවා. ඒ හැර මේ සදහා වූ විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවන අතරම, එක ලියාපදිංචි වීමක් හරහා ගුගල් සේවාවන් සියල්ල සමග එකවර වැඩ කල හැකි වනවා. ගූගල් ඩ්‍රයිව් මගින් නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙන අතර මෙය අපගේ දත්ත තැන්පතුවට ඉමහත් අස්වැසිල්ලක්. මාසික මුදලක් ගෙවීමෙන් මෙයට වඩා වැඩි ධාරිතාවයක ඉඩක් වෙන් කරගත හැකියි.


ගූගල් ඩ්‍රයිව් ගැන තවදුරටත් දැනගන්න මෙතැනින් .. 

සබැදි යොමුව:
ඩ්‍රොප්බොක්ස් (Dropbox) හෙවත් නොමිළේ ලැබෙන Online දත්ත ගබඩාව 
ගැන තොරතුරු දැනගන්න.

Friday, June 21, 2013

මහින්දාගමනයෙන් එළිය වුනු පොසොන් පොහොය දිනය | Poson Festival

පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුවන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද, පණ්ඩුක උපාසක මහතාද ලංකාවට වැඩම කර බුද්ධාගම ස්ථාපනය කිරීම හේතුවෙන් මෙරට ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් විශාල පෙරළියක් සිදු වූ බව සත්‍යයකි. යක්ෂ, භූත, ප්‍රේතයන් හට බියෙන් බිළිපූජා පවත්වමින්, අප්‍රාණික සුවිශල් ගස්, ගල් වලට වන්දනාමාන කල යුගයක සපැමිනි මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස නිර්මල බුදුදහම ලංකාදීපයෙහි ස්ථාපිත කෙරුණු  ඓතිහාසික සංධිස්ථානය සිහිකරනු වස් සෑම වසරකම පොසොන් පොහොය දින වත්පිළිවෙත් සිදුකරනු ලබයි.

මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජු මිහිදු මහ රහතන් වහන්සේගේ
විචාරයනට බදුන් වෙමින් ධර්මාවබෝධය ලබාගැනීම
(සිතුවම අන්තර්ජාලයෙනි)
අනුරාධපුරය අගනගරය කරගත් එකී යුගයේ රටපාලනය කල රජෙකුවූ තිස්ස රජ දවස මෙසේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස ලක්දිවට වැඩම කරන ලදී. මිහිදු හිමි ඉන්දියාවේ සිට මෙහි වැඩම කල අතර උන්වහන්සේ  ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙකි. අඹ වනය පුරා සැරිසරන මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජුට තමාගේ නම කියා අමතන හඩක් ඇසී එදෙස බැලූවිට දක්නට ලැබී ඇත්තේ මිහිදු හිමි ඇතුලු පිරිසයි. ප්‍රශ්න විචාරීම තුලින් රජුගේ බුද්ධිය තක්සේරු කරගත් මිහිදු හිමි, තිස්ස රජු ඇතුලු පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුනි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැළකේ. ධර්මාවබෝධය තුලින්  බුද්ධ ධර්මය කෙරෙහි සිත නැඹුරු කරගත් තිස්ස රජු ඇතුලු රාජකීයයන් බුද්ධාගම වැලඳගැනීමත් සමගම ගම් නියම්ගම් පුරා බුදුදහම ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් ජනතාව ඈත්කරවමින් සුමගට යොමු කරවීමට සමත් විය.

මෙසේ ධර්මය හොදින් වටහාගත් තිස‍්ස රජ දේවානම්පියතිස‍්ස නොහොත් දෙවනපෑතිස්ස නමින් නැවත රාජාභිෂේක ලද අතර, ඔහු විසින් මහමෙවුනා උයන පිළිසකර කොට රහතන් වහන්සේලාට පූජාකරන ලදී.  තමන් බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය වූ මිහින්තලය අවට ලෙන් විහාර පිළිසකර කර සඝසතු කල අතර, බුදුන්වහන්සේගේ ධාතූන් තැන්පත්කරමින් ථූපාරාම දාගැබ ද තනවන ලදී. 
දේවානම්පියතිස‍්ස රජු විසින් කරවන ලද ථූපාරාම දාගැබ
(පැරණි සේයාරුවක්)

දේවානම්පියතිස‍්ස රජු විසින් කරවන ලද ථූපාරාම දාගැබ
(මෑතකදී ගන්නාලද සේයාරුවක්)
දේවානම්පියතිස්ස රජු හා ධර්මාශෝක රජු අතර බැදි මිත්‍රත්වය හේතුවෙන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයක් තම දියණිය වන සංඝමිත්තා මෙහෙණිය සමගින් ලංකාවට රැගෙන එන ලදී. මහමෙවුනා උයනේ රෝපණය කරන ලද එය  වර්තමානයේ ඓතිහාසික ජය ශ්‍රීමහා බෝධිය නමින් හැදින්වේ. සංඝමිත්තා මෙහෙණියගේ සපැමිණීමත් සමගම මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදුවුණි. සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.

දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීමත් එයට රාජ අනුග්‍රහය ලැබීමත් සමගම දිවයින පුරා බුද්ධාගම ව්‍යාප්ත වුනු අතර, එහි අංගයක් වූ සංස්කෘතික හා කලා කර්මාන්තයන්ගේ විකසනයද සිදුවුනි. අහස්කුස සිසාරා සෑදුණු අහස සිඹින මහ දාගැබ්, ගංගා හරස්කරමින් සෑදුණු මහ සයුර පරදවන මහ වැව්, සිත සමාධිගත වන බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් පසළොස්වක පොහොය දින සිදුවූ මහින්දාගමනය නිසා උරුමවුනු ජීවමාන සාධකයන් වේ. 

Friday, May 10, 2013

සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය | Horton Plains National Park

වසන්තය නිමාවී ඇති මුත් තොරතෝංචියක් නැතිව ඇදහැලෙන සිරිපොද වැස්ස අප සිටි සීඝ්‍රගාමී දුම්රියේ කවුළු අතරින් අපට දර්ශනය වේ. තවත් එක් සුන්දර වූ හිමිදිරියක, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රියට ගොඩ නැගුනු අප මේ ගමන් කරන්නේ දෙස් විදෙස් කාගේත් සිත්වසග කල ශ්‍රීලංකාවේ පිහිටි අති සුන්දරම වූ භූමිභාගයක් නැරඹීමටයි.

පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ලෝකාන්තය උද්‍යාන පිවිසුමට
ගමන්කල යුතු දිශාව හා ගමන්කාලය දැක්වෙන පුවරුව. 
හෝර්ටන් තැන්නට ලගාවිය හැකි ගමන් ආකාර කිහිපයකි. මහා කදුසිසාරා සෑදුනු බිංගෙවල් තුලින් ඇදෙන දුම්රිය කවුලුවකින් ඈත පෙනෙන නිසංසල තේයායක සුන්දරත්වය විදිමින් යාහැකි දුම්රිය ගමන මින් වඩාත් රසවත්යැයි මට සිතේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන දුම්රියට ගොඩවී පට්ටිපොල දුම්රිය ස්ථානයට හෝ ඔහිය  දුම්රිය ස්ථානයට හෝ ගොස් එතැන් පටන් කිලෝමීටර් 14
ක පමණ දුරක් ගියවිට සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය හමුවේ. වාහනයකින් ගමන් ගන්නේ නම් නුවරඑළිය නගරයේ සිට ලගාවිය හැකිය. මෙයින් අප තෝරාගත්තේ දුම්රියෙන් පට්ටිපොල දුම්රිය ස්ථානයට ලගාවී එතැන් පටන් වාහනයකින් ගමන් කිරීමයි.

 නිමේෂයකින් මීදුම් සලුවෙන් වැසීයන සොදුරු තුරුලතා
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හෙක්ටෙයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 - 2,300 අතර උසකින් පිහිටා තිබේ. මේ හේතුකොටගෙන තුරුමුදුන් සහිත කදුසිඛරයන් නිරන්තර මිහිදුම් සලුවෙන් වැසී ඇති අතර, එය රටේ ප්‍රධාන ගංගා කිහිපයකටම ජලයෙන් පෝෂණය සපයන ගංගාධර ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා තුනට අවශ්‍ය ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් සදහා වූ ජලපෝෂණයද ලබාදේ.

තැන්නට ආවේණික සොදුරු තුරුලතා
සාමාන්‍යයෙන් වසරේ වැඩි කලක් වැසි ලැබෙන ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නට පොදුවේ ගත්කල ජනවාරි සිට මාර්තු දක්වා කාලය තරමක් වියළිබව පැවසේ. මැයි මස මුල සතියක් වූ මේකාලයේ, අප එහි ලගාවන විටත් වැස්සේ අඩුවක් නම් අපි නිරීක්ෂණය නොකළෙමු.  දසතම සිසිල් වූ පරිසරයක ගතට දැනෙන සිසිලස මදකට නිවාලමින් ක්ෂණයකින් හිරුඑළිය වැටෙ
න අවස්ථාද එමටයි. සාමාන්‍යයෙන් මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 - 13 ක පමණ අගයක් ගන්නා බව පැවසෙන අතර, එය රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා පමණවූ අගයකට පහත වැටෙන බවද පැවසේ.
හෝර්ටන් තැන්න ඔබ නිරීක්ෂණය කළහොත් ඔබට නැරඹිය හැකි සොදුරු ස්ථාන කිහිපයකි. හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි ලෝකාන්තය ඉන් ප්‍රධාන තැනක් ගන්න අතර, එයට කලින් හමුවන කුඩා ලෝකාන්තයත්, සුන්දර බෙලිහුල් ඔයේ පහස ලබන බේකර්ගේ ඇල්ලත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පාරාදීසයන් වේ.

හෝර්ටන් තැන්න උද්‍යානය ඇතුළත ගමන් මගේ
නැරඹිය යුතු තැන්වලට ඇති දුර පෙන්වන පුවරුව
ලෝකාන්තය
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 3520 ක් පමණ ගමන් කලවිට සුන්දර ලෝකාන්තය හමුවේ. අඩි 2850 ක් පමණ වූ ප්‍රපාතය පත්ලේ කෙළවරවූ බලංගොඩ නගරයද මීදුම නැතිවිටකදී පැහදිලිව දැකිය හැකිය. ලෝකාන්තයට පැමිනෙන සංචාරකයන්ගේ පහසුව සදහා සවිකර ඇති ඒ පිළිබද තොරතුරු ඇතුළත් දැන්වීම් පුවරුවේ සදහන්ව ඇති පරිදි ලෝකාන්තයට පැමිණෙන ඔබට එහි සිට අවට බැලූ විට මීටර් 870ක පමණ පහත බෑවුමද පැහැදිලි දිනක ඈතින් පිහිටි මුහුද ද දැකගත හැකිය. වහාම පහල බැලූවිට තේ වතු යායක් සහ වලවේ ගගට දිවෙන කුඩා දිය පහරක් වන කිරිකැටි ඔයද දැකගත හැකිය. සැබවින්ම නිමේෂයකින් මීදුමින් වැසීයන  සොදුරු තුරුලතා වලින් හෙබි සිසිල් සෞම්ය පරිසරයක් ඇති මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්බැද ගැනීමනම් පුදුමයක් නොවේ.
  
බේකර්ගේ ඇල්ල
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 4770 ක් පමණ ගමන් කලවිට හමුවන උසින් මීටර් 20 ක් පමණවූ මේ සොදුරු දියඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර් විසින් මුලින්ම සොයගත් ලෙසට සැලකෙන හෙයින් මෙය බේකර්ගේ ඇල්ල ලෙසට හැදින්වේ.

සර් සැමුවෙල් බේකර් සොයගත් බේකර්ගේ ඇල්ල පාමුල සිට

බේකර් ඇල්ල පාමුල සිට - වම්පසින් ඇදහැලෙන ඇල්ලේ කොටසක්

හෝර්ටන් තැන්නට ආවේණික වූ ඒක දේශික සත්ත්ව හා ශාක විශේෂ
මෙහි දක්නට ලැබෙන යෝධ මීවන හා මහරත්මල් ශාකයන් පරිසරයට වඩාත් සුන්දරත්වයක් එක් කරනු ලබයි. සුන්දර හෝර්ටන් තැන්නට අවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා තැන්නේ බහුලව දැකිය හැකි සත්වයෙකි.
රත්මලින් පිරි ඒකදේශික මහ රත්මල් ශාකය

මහරත්මල් පුෂ්පයක සමීප දසුනක්

ඒක දේශික ශාකයක් වූ බෝවිටියා ශාකයේ පුෂ්පයක්

යෝධ මීවන ශාකයක්

තැන්නට ආවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා

හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි
ලෝකාන්තය බලා යන අතරතුර ..
මීදුම් සලුවෙන් වැසුණු ලෝකාන්තය කෙළවරටම වන්නට
හිදගත් අප ...



ගමන් වෙහෙස අස්වසා ගනුවස් ගිමන් හරින
අපේ කණ්ඩායමේ කොටසක් ...