Pages

Saturday, December 29, 2012

පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත

පතල් ජීවිතයත් මුහුදු යාමත් එකයැයි පැරන්නෝ කියති. එහෙත් එය කොහෙත්ම සමකළ හැකියැයි සිතිය නොහේ. රැයක දවාලක වෙනස නොදැනෙන, පොලොව මට්ටමෙන් අඩි සිය ගණනක් යට සම්පත් සොයමින් දෝනා උමං මැද ගෙවන පතල් ජීවිතය සාගර ජලය මතුපිටේ ගෙවුනු මුහුදු රැකියාවට වඩානම් අතිශයින් කටුක වන්නට ඇති. එවන් ලොවක් තුල මුලු දවසම ගතකෙරූ එදා පතල්කරුවා තමාගේ සිතට දැනුනු වෙහෙස, මහන්සිය, කාන්සිය මගහරවා ගැනීම පිණිස තම සිතට නැගුණු සිතුවිලි කවි පද ලෙසින් පවසන්නට යෙදුණි. 

"ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට"


පතල් කර්මාන්තයක් ලෙස පටන්ගත් ඈත අතීතයේ, පතල් සේවයට පැමිණි බොහොමයක් කම්කරුවන් සංක්‍රමිකයන් බව පතල් කවි සියුම්ව අධ්‍යයනයේදී අපට හැගීයේ. "යන්නේ කවදාද මව්පිය දකින්නට" "එනම්, ඔවුනගේ දෙමාපිය නෑදෑ හිතමිතුරන් තමන් සේවයකල පතලට ආසන්නයේ පදිංචිකාරයන් නොවන බවක් පෙනේ. කෙසේනමුත්, කාලයගේ ඇවෑමෙන් සමහරක් පතල්කරුවන් අසළ ගම්දනව් වලින් ආවාහ විවාහ කරගෙන පැලපදියන් වී පතල ආසන්නයේම ගම්වැසියන් වන්නට ඇති.

අධ්‍යාපනික අංශයන් වුවත් නොදියුණුව පැවති යුගයක ජීවත් වන්න, මිළමුදල මතම පමණක් පිහිටා වැඩුනු මනසකින් තම හාම්පුතුන් වෙනුවෙන් දැඩිකැපකිරීමක් කල ඔවුන්ගේ සිත් පොහොසත්ය. ආර්ථික අපහසුතා තිබුණත්, විවේකී දිනට තම උපන්බිමට ගොස් තමා ඇතිදඩිකල මෑණියන් දැකීමට යන්නටවත් මානසික නිදහසක් හෝ ඉඩක් නොලද බව හැගවෙන පහත කවි එදා පතල්කරුවාගේ අසරණත්වය මොනොවට විදහාපායි.

"මහත්මයෝ දුප්පත්කම බලනවද
අතේ තියෙන පොඩි කරගැට පෙනෙනවද
පොතේ තියෙන පඩි ගණනත් පෙනෙනවද
ගමේ යන්ඩ ඕඩරයක් ලැබෙනවද"


එමෙන්ම එදා පතල්කරුවා ඕනෑම දෙයකට සූදානම්, බියක් නැති හැඩිදැඩි වූවෙකු බවත් විටෙකදී හැගී යයි. තමන් නිසි අධ්‍යාපනයක් නොලද නිසා හෝ, තමනට රිසිදේ නොලැබෙන නිසා හෝ, තමා කිසිවෙකුටත් කිසිවිටෙක දෙවෙනි වීමට සූදානම් නැතිබවක් මේ කවියෙන් පවසයි.

"බාස් අයියේ මට බැහැ වැඩ කරන්නට
දහස් ගණන් පඩි තිබුණත් පොතේ මට
පාස් උනේ නැහැ මම කිසිම වැඩකට
බාස් අයියේ මම යනවා හෙට ගමට"



ඇසට නොපෙනෙන ආධ්‍යාත්මික බලවේගයන් සම්බන්ධයෙන් එදා තිබුණේ සදාතනික වූ බැදීමක්.  කෙතරම් කටුක අමිහිරි වුවත්, තමා කරන රැකියාවේදී දේව රැකවරණය, දේව ආරක්ශාව නිතරම ප්‍රාර්ථනා කලබව සමහර කවි තුළින් ප්‍රකට වේ.

"මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මල් පැල පහන් ඇවිලෙන්නේ දෙවියන්ට
පොල්තෙල් පහන් ඇවිලෙන්නේ පෙල දිගට
බිත්ති දෙකට සවි කරලා මුක්කු වැට
සතරවරම් දෙවි පිහිටයි අපි සැමට"


ආදරයට සීමාමායිම්, කාලවකවානු, උස්පහත්කම් නොමැත. දිනපතා උදේ සවස පතල තුලට බසින පතල්කරුවා යනු තවත් පෘතග්ජන මිනිසෙක්. ගත කෙතරම් හැඩිදැඩි වුවත්, ඔහුගේ සිතට වුවද ආදරය, කරුණාව නොදැනුනා නොවේ. එවන් මොහොතකයි මෙවැනි කවියක් කියවෙන්නට ඇත්තේ. 

"ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා"


අපමණ මහන්සිවී තම හාම්පුතුන් වෙනුවෙන් දැඩිකැපකිරීමකින් සේවය කළ එදා පතල්කරුවා ප්‍රශ්ණ, අභියෝග හමුවේ නොසැළී, නොවෙනස්ව තම රාජකාරිය ඉතාම ඕනෑකමින් කැපකිරීමෙන් විනෝදයෙන් ඉටු කලආකාරය පතල් කවි අධ්‍යනයේදී අපගේ සිත්සතන් වලට දැනේ.


පෙර පළකල පතල් කවි කියවන්න මෙතැනින්:

1. පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I
2. පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) II

No comments:

Post a Comment