Pages

Tuesday, December 11, 2012

ගිරා මලිත්තා



ප්‍රචලිත නාමය: ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot)
විද්‍යාත්මක නාමය: Loriculus beryllinus


ශ්‍රී ලංකාවට ආවේණික මෙම පක්ෂියා පහතරට තෙත් කලාපයේ වගාබිම් වල, කුඩා වනරොදවල හා ගෙවතු බිම් ආශ්‍රිතව සුලභව දැකිය හැකිය. ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ දැකිය හැකි වුවත්, විශේෂයෙන්ම පොල් කර්මාන්තය බහුලව ඇති ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකිය. පොල් ඉඩම් ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි වීමට ප්‍රධානම හේතුව වන්නේ පොල් ගස්වලින් රා පෙරන කාලයේදී තෙලිජ්ජ බීමට දක්වන කැමැත්තයි. ඒ නිසාම ගිරා මලිත්තා "පොල් ගිරවා" නමින් ද හදුන්වයි.   

වේගයෙන් පියෑඹීමට අපූරු හැකියාවක් ඇති මෙම පක්ෂියාගේ නාදය තියුණුය. රංචු වශයෙන් බහුලව දැකිය නොහැකි, තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් නිසංසල තුරු මුදුන් වල දැකිය හැකි, රතු පැහැති හිස මුදුනකින් හා කුඩා වලිග කොටසකින් යුතු මෙම අලංකාර පක්ෂියාගේ වක් වූ හොටය රතු පැහැතිය.

ඉදුණු පළතුරු, මල්පැණි හා කුඩා ධාන්‍ය වර්ග ආහාරයට ගනී. හොදින් වැඩුණු කුරුල්ලෙකු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගින් යුතු වේ. කුරුල්ලා හා කිරිල්ලිය පෙනුමෙන් එක සමාන වුවත් කිරිල්ලියට වඩා කුරුල්ලා වර්ණවත් බැවින් වැඩිය. බොහෝ විට තුරු මුදුනක පිහිටි ගස් බෙනයක් බිත්තර දැමීම සදහා තෝරා ගනු ලබයි. වරෙකට බිත්තර 2-3 ප්‍රමාණයක් දමනු ලබනු බවද සැළකේ. 

ගිරා මලිත්තාගේ ස්වාභාවික වාසස්ථානයන් වූ වනාන්තර හෙළිපෙහෙළි කිරීමත්, සීඝ්‍රයෙන් සිදුවන නාගරිකකරණයත්, පොල් වගාවේ සීග්‍ර විනාශයත්, මෙම අලංකාර පක්ෂියාගේ ජීවන පැවැත්මට අහිතකරව බලපාන ප්‍රධාන හේතුවක් වේ. එබැවින් ශ්‍රී ලංකාවට ආවේණික (ඒකදේශික ) පක්ෂියෙකු වූ ගිරාමලිත්තා නොහොත් පොල් ගිරවා වදවී යාමට නොදී, ඌ ජීවත්වන සුන්දර පරිසරය රැකගැනීම එයට ආදරය කරන අප සැමගේ යුතුකම වේ. 

No comments:

Post a Comment