Pages

Wednesday, August 21, 2013

ශ්‍රී ලංකාවේ මිනිරන් | Sri Lankan Graphite

මිනිරන් වාණිජමය වශයෙන් ප්ල්ම්බගෝ (Plumbago), බ්ලැක්ලෙඩ් (Black Lead) යනුවෙන් ද ව්‍යවහාරයේ දී භාවිතා වේ. නමුත් ඉංග්‍රීසියෙන් මිනිරන් හදුන්වනු ලබන්නේ ග්‍රැෆයිට් (Graphite) යන නමින්. 1749 සැප්තෑම්බර් 25  දින උපත ලද ජර්මන් ජාතික භූවිද්‍යාවරයෙකු වූ ඒබ්‍රහම් ගොට්ලොබ් වර්නර් (Abraham Gottlob Werner) නැමැත්තා විසින් 1790 දී සිදුකරන ලද ඛනිජ වර්ගීකරණයේදී මිනිරන් වලට ග්‍රැෆයිට් (Graphite) යන නාමය මුලින්ම හදුන්වාදෙන ලද බව සැලකේ. ජර්මන් භූගෝල ශාස්ත්‍රයේ පියා ලෙසින් ජර්මනියේ විරුදාවලිය ලත් මොහු විසින් ඛනිජමය පාෂාණ ක්‍රමානුකූලව හදුනාගැනීමේ හා කාණ්ඩ කිරීමේ ක්‍රමවේදයක් මුලින්ම හදුන්වාදී ඇති අතර, ඔහු විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද අත්පොත ඛණිජ පාෂාණ පිළිබදව ලියා පලකරනලද මුල්ම මුද්‍රණය ලෙසද සැලකේ.  

කඩා පිරිසිදු කරන ලද මිනිරන් 
ග්‍රැෆයිට් නොහොත් "මිනිරන්" යනු ස්වභාවික වශයෙන් පෘථිවියේ පිහිටා තිබෙන ස්ඵටිකරූපී කාබන් වර්ග තුනෙන් එකක්. සෙසු ස්ඵටිකරූපී කාබන් වර්ග දෙක වන්නේ, ගල්අගුරු හා දියමන්තියි. මිනිරන්, දියමන්ති හා ගල් අගුරු යන ස්ඵටිකරූපී කාබන් වර්ග තුනේම රසායනික සංයුතිය එක සමාන වුවත්, භෞතික ගුණාංග අතින් මේවා එකිනෙකින් බෙහෙවින් වෙනස් වේ. මෙයට හේතුව ඒවායේ එකිනෙකට වෙනස් පරමාණුක ව්‍යුවහයේ ඇති වෙනස්කම් වේ.


මිනිරන්, යම් යම් සුලු අපද්‍රව්‍යයන් හැරුණු කොට සම්පූර්නයෙන්ම කාබන් මූලද්‍රව්‍යයෙන් සැදි ඇති ඛනිජ ද්‍රව්‍යයකි. සම්මත තත්ව යටතේ වඩාත්ම ස්ථායි කාබනික සංයෝගය ලෙස සැළකෙන්නේද මිනිරන් වේ. මෙකී මිනිරන් ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. එය පහත පරිදි වේ. 

1. කුට්ටි හෝ පතුරු මිනිරන් (Lump graphite/Vein graphite)
2. පියලි මිනිරන් (Crystalline flake graphite)
3. අස්ඵටික මිනිරන් (Amorphous graphite) 

කුට්ටි හෝ පතුරු මිනිරන් (Lump graphite/Vein graphite) 
පියලි මිනිරන් (Crystalline flake graphite) 
අස්ඵටික මිනිරන් (Amorphous graphite) 

මින් ශ්‍රී ලංකාවේ හමුවන්නේ පළමු වර්ගය වන කුට්ටි හෝ පතුරු මිනිරන් වන අතර, මෙම වර්ගයද ස්ඵටිකරූපී හා අස්ඵටිකරූපී ලෙසට වර්ග කළහැකිය. මිනිරන් සමග ස්වාභාවිකව හමුවන වෙනත් ඛනිජ වර්ග වලට උදාහරණ ලෙස ක්වාට්ස් (තිරුවාන), කැල්සයයිට්, මයිකා (තලාතු මිනිරන්), පයිරයිට්, යකඩ ඔක්සයිඩ්, සිලිකේට යන ඛනිජ වර්ග හැදින්විය හැක. 

එමෙන්ම මිනිරන් බහුලව හමුවන්නේ විපරීත පාෂාණයන් අතර බව සැළකේ. විපරීත පාෂාණ යනු ඉතා ඉහළ උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ පොලොව මතුපිට වූ පාෂාණ ස්ථරයේ චලනයන්ට හසුවීමෙන් නිර්මාණය වූ නව පාෂාණ වර්ගයකි. වඩාත් සාරවත් මිනිරන් ඉල්ලම් ඉතා අධික ලෙස විපරීතයනට භාජනයවූ පාෂාණ අතර හෝ තුල හටගනී. එවැනි අධික විපරීත තත්වයනට භාජනයවූ පාෂාණයන් වලට උදාහරණ  වනුයේ ග්නයිසිස්, ශිස්ට් හා හුණුගල් වේ. ඉතා සාරවත් මිනිරන් ඉල්ලම් මේ පාෂාණ අතර පිහිටනු ඇති බවට සැලකේ.

ශ්‍රී ලංකාවේ පිහිටන මෙකී සාරවත් ඉල්ලම් මිනිරන්, මිහිතුල ඛනිජයක් වශයෙන් බොහෝවිට දක්නට ලැබේ. වඩාත් ගුණාත්මක උසස් තත්වයෙන් යුතු ඉල්ලම් මිනිරන් කැණීම් සිදුකරනු ලබන එක් පෞද්ගලික ආයතනයක්  ලෙසට  කෑගල්ල දිස්ත්‍රික්කයේ, අරුග්ගම්මන ග්‍රාමයේ පිහිටා ඇති බෝගල මිනිරන් පතල හැදින්විය හැකිය. මෙයට අමතරව රාජ්‍ය ආයතනයක් වූ කහටගහ මිනිරන් පතලත්, පෞද්ගලික හිමිකරුවකු සතුවූ රාගෙදර මිනිරන් පතලත් ස්වභාවික මිනිරන් කැණීම් සිදු කෙරෙන අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානයන් බවට සැළකේ. විපරීත පාෂාණයන් තුළ ස්වභාවිකව පිහිටා ඇති මිනිරන් කැණීම්  තුළින්, ස්වභාවික මිනිරන් නිෂ්පාදනය සිදු කෙරෙන අතර, කෘතීමවද මිනිරන් නිෂ්පාදනය කල හැකිය. කෘතීමව මිනිරන් නිෂ්පාදනය සිදුකරනුයේ පෙට්‍රෝලියම් සහ කෝක් අගුරු විදුලි ඌස්මකයක දහනය කිරීමෙනි. මිනිරන් වලින් විවිධාකාර වූ ප්‍රයෝජන ගත හැකි නිසා කාර්මික ඛනිජ අතරින් මිනිරන් වලට විශාල ඉල්ලුමක් පවතී. එහෙත් ස්වාභාවිකව හමුවන මිනිරන් හා කෘතීම මිනිරන් අතර පවතින පැහැදිලි වෙනස්කම් නිසා මේ දෙක අතර සමාන තරගකාරීත්වයක් නොපවතී. කෘතීම අන්දමින් සාදන මිනිරන් වර්ග වල ඒවායේ නිෂ්පාදන පිරිවැය වැඩි නිසා අඩු ඉල්ලුමක් ද,  ස්වභාවික මිනිරන් ඉල්ලම් වලින් හෝ නිධි වලින් අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් ගුණාත්මක තත්වයෙන් නිපදවන නිසාත් එය කාර්මික කටයුතු වලදී වඩාත් ගුණාත්මකව යොදාගත හැකි නිසාත් ස්වභාවික මිනිරන් සදහා වැඩි ඉල්ලුමක් ද පවතී.

Saturday, August 17, 2013

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය | History of Graphite Industry in Sri Lanka

ඛනිජ සම්පත් යනු මිනිස් සංවර්ධනය හා ඉතා කිට්ටුවෙන් බැදී පවතින ස්වාභාවික සම්පත් විශේෂයකි. ඇමරිකානු පතල් කාර්යාංශය මගින් කරනු ලැබ ඇති වර්ගීකරණයකට අනුව ලොව ඇති ආර්ථික ඵලදායි ඛනිජ සම්පත්, ශක්තිය සපයන ඛනිජ, යකඩ හා යකඩ මිශ්‍ර ලෝහමය ඛනිජ, යකඩ නොවන ලෝහමය ඛනිජ හා ලෝහමය නොවන ඛනිජ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.  ශ්‍රී ලංකාව පිළිබද තත්වය සළකන විට ඛනිජ ඉන්ධන හෝ ආර්ථික මට්ටමේ ලෝහමය ඛනිජ සංචිත කිසිවක් රට තුළ මෙතෙක් සොයාගෙන නොමැත. එසේ වුවද, ලෝහමය නොවන ඛනිජ සම්පත් වලින් රට කිසියම් වූ ප්‍රමාණයකට පොහොසත්ය. මිනිරන්, මැණික්, ඛනිජවැලි, පිගන් මැටි, හුණුගල් හා පොස්පේට් දේශීය ලෝහමය නොවන ඛනිජ වලට නිදසුන්වේ. මේ සියලු ඛනිජ සම්පත් වලට සාපේක්ෂව මිනිරන් නිධි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැවති අතර, එය අතීතයේ පටන්ම බහුලව මිනිස් ශ්‍රමය යොදාගනිමින් පවත්වා ගෙන යන්නාවූ කර්මාන්තයකි. දේශීය මිනිරන් වල ඇති  අධික කාබන් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන්  සුප්‍රසිද්ධ බැවින්ද, ඒ සදහා අධික මිළක් ගෙවනු ලැබූ හෙයින්ද අනෙකුත් දේශීය ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත අභිබවමින් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ක්‍රමයෙන් රටතුල ස්ථාපිත විය.

මිනිරන් කර්මාන්තයේ විකසනය

පුරා විද්‍යාත්මක සාධක වලට අනුව ප්‍රාග් ඉතිහාසික යුගයේදී (එනම් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ ) ගිණිකොනදිග යුරෝපයේ මැටි බදුන් අලංකාර කිරීම සදහා ස්වභාවික මිනිරන් භාවිතයට යොදාගෙන ඇති බවට තොරතුරු සොයාගෙන ඇත.   එසේම ක්‍රිස්තු වර්ෂ 1565 පෙර ආසන්න වසරකදී බ්‍රිතාන්‍යයේ බැටලු එඩේරුන් පිරිසක් විසින් මිනිරන් ඉල්ලමක් සොයාගෙන ඇති අතර, එයින් කඩාගත් මිනිරන් කැබලි එරට ස්වදේශිකයන් විසින් බැටලුවන් සළකුණු කිරීම සදහා භාවිතයට ගත් බැව්ද කියැවේ.  සාක්ෂරතාවය පහළ මට්ටමක තිබූ පුරාතනයේදී  ජීවත්වූ ජනයා මිනිරන් වලවූ සුවිශේෂී දිළිසෙන ස්වභාවයත්, ලිහිසි ගතියත් නිසා එය වටිනා ලෝහයක් ලෙසින් වරදවා වටහාගැන්මට පවා යෙදී තිබේ.

මෙසේ ස්වභාවික හමුවූ මිනිරන් කෝව සෑදීමට, අච්චු ඇතුළත ආලේපනයට වඩාත් සුදුසුයැයි සොයාගැනීමත් සමග එය කාර්මික අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට ගැනී ඇත්තේ වර්ෂ 1533 ත් 1603 ත් අතර කාලයකදීය. කාලතුවක්කු උණ්ඩ සැදීමට ගන්නා අච්චු ඇතුළත ආලේපනය සදහා මිනිරන් සුදුසුවීම හේතුවෙන් එය බ්‍රිතාන්‍යය හමුදාවන්ගේ ආයුධ නිෂ්පාදන ක්‍රියවලියට දායක කරගැනීමට සියලු මිනිරන් පතල් රජය යටතට ගෙන නිෂ්පාදන ක්‍රියාවලියන් සිදු කර ඇතිබවට සදහන්ය. 

මධ්‍යතන යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයත්, විද්‍යා හා තාක්ෂණ ක්සේත්‍රයේ ඇතිවූ සීග්‍ර දියුණුවත්, පළමු හා දෙවන ලෝක සංග්‍රාමත් හේතුවෙන් නොයෙකුත් කාර්මික යෙදවුම් සදහා මිනිරන් අමුද්‍රව්‍යයක් ලෙසට භාවිතා කිරීම වඩවඩාත් ප්‍රචලිත වූ හෙයින්, බ්‍රිතාන්‍යය යටත්විජිත රටක්වූ ශ්‍රීලංකාවේ මිනිරන් සදහා ඇති ඉල්ලුමද ක්‍රමයෙන් වැඩිවන්නට විය. බටහිර රටවල සිදුවූ සීග්‍ර කාර්මික වර්ධනය හේතුකොටගෙන මිනිරන් වලින් ලබාගතහැකි වෙනත් ප්‍රයෝජන සම්බන්ධයෙන් අත් හදා බැලීම්වලටත් මග පෑදුණි. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති ලංකාව ඒවනවිට කාර්මිකකරණය පැවති බටහිර රටවල මිනිරන් සදහාවූ ඉල්ලුම පවත්නා සැණකින් ප්‍රයෝජනයට ගතහැකි වෙළදසබදතාවයක් ගොඩනගාගෙන තිබූ හෙයින් ශ්‍රීලංකාවේ මිනිරන් කර්මාන්තයේ පුනර්ජීවනයක් සිදුවී තිබේ.

දහනව වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිට 1870 ගණන්වල මුල කොටස දක්වාවූ කාලය සුලු අපනයන කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ස්ථාපිත වූ අවධියක් ලෙසට සදහන් කළ හැකිය. මෙම කාලයේදී මිනිරන් කර්මාන්තයේ වර්ධනයට හේතුවූ මූලික සාධකය වුයේ අධික කාබන් ප්‍රමාණය අතින් සුප්‍රසිද්ධ ශ්‍රීලංකාවේ ඉල්ලම් මිනිරන් සදහාවූ ඉල්ලුම වැඩිවෙමින් පැවතීමයි.

1869 සිට 1918 දක්වා වූ කාලය තුල ශ්‍රීලංකාවේ මිනිරන් වලවල් හා පතල් 3000 ක් පමණ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය පුරාම තැනින් තැන ඇතිවී ඇත. යාන්ත්‍රික උපකරණ යොදාගත් පතල් (මෝල් පතල්) හා මිනිස් ශ්‍රමයෙන් වැඩකල පැරණි ක්‍රමයේ වලවල් හා පතල් (දබරේ පතල්) මේ අතර වේ.


කෙසේ නමුත් ශ්‍රීලංකාව තුල විශාල පතල් කිහිපයක දියුණුව ඇතිවී ඇත්තේ ඒවායේ කලින් කලට සිදුවූ ආර්ථික උස්පහත් වීම්වලට මුහුණ දෙමිනි. වර්ෂ 1930 දී ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පතල් විශාල ගණනක් වැසීයාමට හේතුවී ඇති අතර, තවත් කිහිපයක නිෂ්පාදනය මුලුමනින්ම නැවතී ඇත. දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් ඇතිවූ ඉල්ලුම සැපිරීමට අවශ‍ය නිෂ්පාදනයන් ලබදිය යුතුව තිබූ හෙයින් නැවතත් 1940 දී පමණ ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය  පුනර්ජීවනයක් ලබන ලදී. කෙසේ වෙතත් මේ සියලු උස් පහත්වීම් වලට නොසැලී මුහුණ දෙමින් ශ්‍රී ලංකා මිනිරන් වලට වූ සීමිත වෙළදපොළ ස්ථාවරව පවත්වාගෙන යමින් පැවැත්ම තහවුරු කරගැනීමට සමත්වූයේ බෝගල, කහටගහ හා කොළොන්ගහ පතල් පමණකි.  වර්තමානයේ මිනිරන් සදහා පවතින්නාවූ මෙකී සීමිත වෙළදපොල ස්ථාවරව, සාර්ථකව පවත්වාගෙන යාමේ කටයුත්ත නියැලී සිටිනු ලබන්නේ බෝගල පතල පමණකි.

ශ්‍රීලංකාවේ පාෂාණ ස්ථරයන්ගේ පිහිටීම හා
වර්තමානයේ සක්‍රීයව පවතින මිනිරන් පතල් පිහිටි ස්ථාන දැක්වෙන සිතියම
(සිතියම උපුටාගැනීම - අන්තර්ජාලයෙනි)

පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.

සබැදි තවත් ලිපි:
1)    ශ්‍රී ලංකාවේ මිනිරන් | Sri Lankan Graphite
2)    බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines
3)    පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත

Thursday, August 1, 2013

ඓතිහාසික අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරය | Isurumuniya : Ancient temple in historical City of Anuradhapura

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු අගනගරය වූ අනුරාධපුර නගරයේ රජකළ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-210) විසින් ගොඩ නංවන ලද, ඉතාමත් උසස් කලා නිර්මාණ රැසකින් සමන්විත ඉසුරුමුණි විහාරය සුන්දර පිහිටීමකින් හෙබි ඉතා මනරම් ප්‍රදේශයක පිහිටා තිබේ. ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනගිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතරින්, තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් පිහිටා ඇති ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.  
ඉසුරුමුණිය විහාරයේ පෞරාණික රූපරාමුවක්

වංශ කතාවල සඳහන් පරිදි ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා වැඩසිටි ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය පසුව ඉසුරුමුණිය නම් වූ බවත් පැවසේ. ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත් ප්‍රසිද්ධයි. පසුකාලීනව රජ පැමිණි කාශ‍යප  රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට, ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට මෙම විහාර පරිසරය "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කල බවද පොතපතේ සදහන් වේ. 

මා දුටු ඉසුරුමුණිය විහාරය
විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහි, ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතර, එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.
විහාර ගෙට ප්‍රවේශ වන ශෛලමය පිය ගැට පෙළ
ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

පිහිටි ගලෙහි කැටයම් කරන ලද "මිනිසා සහ අශ්ව හිස" පිළිරුව 
මෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. කලාත්මක කැටයමක් වූ ඉසුරුමුණියේ පෙම්යුවල කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටිනා ඉරියව්වක් නිරූපණය කරයි. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. 

ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන
ඉසුරුමුණියේ පෙම්යුවල

විවේකී සතිඅන්තයේ පවුලේ සැවොමත් සමගින් තෙත් කලාපයෙන් වියළි කලාපයට කෙරුණු අනුරපුර මේ සංචාරයේදී අටමස්ථානය ඇතුලු සෑම පූජනීය ස්ථානයක්ම නැරබීමට අවස්ථාවක් නොලැබුනත්, ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරය සිත්සේ නරබා වන්දනාමාන කරගැනීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් නම් අපේ සිත් තුල ඇත්තේ අපමණ ප්‍රීතියක්.ඒ සම්බන්ධයෙන් නිසි මගපෙන්වීමක් ලබාදෙමින්, එකී ස්ථානවල පෞරාණික වැදගත්කම වටහාදුන් බෝගල ආයතනයේ හිටපු නිලධාරී මහතෙකු වූ ඩබ්.පී. කුමාරසිංහ සහ එම මහතාගේ දයාබර මෑණියන් ඇතුලු පවුලේ සියලු දෙනාටම අපගේ හදපිරි සතුට මෙහිදී ප්‍රකාශ කර සිටින්නෙමු.

සැබැවින්ම ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරයට නුදුරෙන් මෑතකදී තනා ඇති දිය පොකුණ, ලෝක පූජිත ශෛලමය කලා නිර්මාණ, ඓතිහාසික බෝ සමිඳුන් සමගින් ඈතට දිස්වන ශ්වේතමය ස්ථූපය මෙන්ම ගල මුදුනට පියමං කළහැකි ශෛලමය පිය ගැට පෙළ අපේ මතකයේ සදා රැදේවි. සාඩම්බර අතීතයක මං සළකුණු සටහන් කෙරුණු මේ කලා නිර්මාණ අපට කියාපාන්නේ අපේ ජාතියේ උතුම්වූ ශ්‍රේෂ්ට බවයි.

චිත්‍රා සෝමපාල නම් වූ කලාකාරිණිය විසින් ගායනා කරන්නට යෙදුණු "ඉසුරුමුනියෙහි"නම් වූ ගීතය  තුළින් ගැයෙන්නේත් ඓතිහාසික ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම කැටයම් කළ අතීත කලාකරුවන් ගැන වර්ණනාවක්. මෙවන් උසස් නිර්මාණ වත්මන් පරපුරට දැකබලා ගැනීමට දායාද කිරීම සම්බන්ධයෙන් අතීත කලාකරුවනට ඔවුන් කළ සේවය වෙනුවෙන් අපගේ ණයගැතිබව ප්‍රධානය කෙරෙන ගමන්ම එය අපට ආඩම්බර වියහැකි කරුණක් බවටද ගීතයෙන් අර්ථවත් වේ. නව රිද්ම‍යට ගැයෙන මේ ගීතයෙන් ඔබේ සිතටත් එවන් හැගුමක් ජනිත නොවේදැයි ඔබම මොහොතක් සිතා බලන්න.

මා සිත්ගත් ඒගීතයට ඔබත් කැමතිනම් පහත සබැදියෙන් රසවිදිමින් මේ සොදුරු නවතැනේදී ගීතවත්ව සමීප වෙමු....