Pages

Thursday, August 1, 2013

ඓතිහාසික අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරය | Isurumuniya : Ancient temple in historical City of Anuradhapura

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු අගනගරය වූ අනුරාධපුර නගරයේ රජකළ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-210) විසින් ගොඩ නංවන ලද, ඉතාමත් උසස් කලා නිර්මාණ රැසකින් සමන්විත ඉසුරුමුණි විහාරය සුන්දර පිහිටීමකින් හෙබි ඉතා මනරම් ප්‍රදේශයක පිහිටා තිබේ. ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනගිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතරින්, තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් පිහිටා ඇති ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.  
ඉසුරුමුණිය විහාරයේ පෞරාණික රූපරාමුවක්

වංශ කතාවල සඳහන් පරිදි ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා වැඩසිටි ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය පසුව ඉසුරුමුණිය නම් වූ බවත් පැවසේ. ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත් ප්‍රසිද්ධයි. පසුකාලීනව රජ පැමිණි කාශ‍යප  රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට, ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට මෙම විහාර පරිසරය "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කල බවද පොතපතේ සදහන් වේ. 

මා දුටු ඉසුරුමුණිය විහාරය
විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහි, ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතර, එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.
විහාර ගෙට ප්‍රවේශ වන ශෛලමය පිය ගැට පෙළ
ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

පිහිටි ගලෙහි කැටයම් කරන ලද "මිනිසා සහ අශ්ව හිස" පිළිරුව 
මෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. කලාත්මක කැටයමක් වූ ඉසුරුමුණියේ පෙම්යුවල කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටිනා ඉරියව්වක් නිරූපණය කරයි. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. 

ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන
ඉසුරුමුණියේ පෙම්යුවල

විවේකී සතිඅන්තයේ පවුලේ සැවොමත් සමගින් තෙත් කලාපයෙන් වියළි කලාපයට කෙරුණු අනුරපුර මේ සංචාරයේදී අටමස්ථානය ඇතුලු සෑම පූජනීය ස්ථානයක්ම නැරබීමට අවස්ථාවක් නොලැබුනත්, ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරය සිත්සේ නරබා වන්දනාමාන කරගැනීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් නම් අපේ සිත් තුල ඇත්තේ අපමණ ප්‍රීතියක්.ඒ සම්බන්ධයෙන් නිසි මගපෙන්වීමක් ලබාදෙමින්, එකී ස්ථානවල පෞරාණික වැදගත්කම වටහාදුන් බෝගල ආයතනයේ හිටපු නිලධාරී මහතෙකු වූ ඩබ්.පී. කුමාරසිංහ සහ එම මහතාගේ දයාබර මෑණියන් ඇතුලු පවුලේ සියලු දෙනාටම අපගේ හදපිරි සතුට මෙහිදී ප්‍රකාශ කර සිටින්නෙමු.

සැබැවින්ම ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරයට නුදුරෙන් මෑතකදී තනා ඇති දිය පොකුණ, ලෝක පූජිත ශෛලමය කලා නිර්මාණ, ඓතිහාසික බෝ සමිඳුන් සමගින් ඈතට දිස්වන ශ්වේතමය ස්ථූපය මෙන්ම ගල මුදුනට පියමං කළහැකි ශෛලමය පිය ගැට පෙළ අපේ මතකයේ සදා රැදේවි. සාඩම්බර අතීතයක මං සළකුණු සටහන් කෙරුණු මේ කලා නිර්මාණ අපට කියාපාන්නේ අපේ ජාතියේ උතුම්වූ ශ්‍රේෂ්ට බවයි.

චිත්‍රා සෝමපාල නම් වූ කලාකාරිණිය විසින් ගායනා කරන්නට යෙදුණු "ඉසුරුමුනියෙහි"නම් වූ ගීතය  තුළින් ගැයෙන්නේත් ඓතිහාසික ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම කැටයම් කළ අතීත කලාකරුවන් ගැන වර්ණනාවක්. මෙවන් උසස් නිර්මාණ වත්මන් පරපුරට දැකබලා ගැනීමට දායාද කිරීම සම්බන්ධයෙන් අතීත කලාකරුවනට ඔවුන් කළ සේවය වෙනුවෙන් අපගේ ණයගැතිබව ප්‍රධානය කෙරෙන ගමන්ම එය අපට ආඩම්බර වියහැකි කරුණක් බවටද ගීතයෙන් අර්ථවත් වේ. නව රිද්ම‍යට ගැයෙන මේ ගීතයෙන් ඔබේ සිතටත් එවන් හැගුමක් ජනිත නොවේදැයි ඔබම මොහොතක් සිතා බලන්න.

මා සිත්ගත් ඒගීතයට ඔබත් කැමතිනම් පහත සබැදියෙන් රසවිදිමින් මේ සොදුරු නවතැනේදී ගීතවත්ව සමීප වෙමු....

No comments:

Post a Comment