Pages

Thursday, September 24, 2015

රාගෙදර මිනිරන් පතල

මිනිරන් කන්ද පාමුල ගම            රාගෙදර
එමරන් ගෙනියන්ඩ කැපුවේ         මහපාර
වතුරෙන් සැප හොදයි කුබුකේ ලිදේ වතුර
ගණරන් රුවයි මිනිරන් කද         රාගෙදර

මේ මැල්සිරිපුර ප්‍රදේශයට අනන්‍ය වූ එකම මිනිරන් පතල වශයෙන් හැදින්වෙන රාගෙදර මිනිරන් පතල සම්බන්ධයෙන් නිර්මාණය වුණු අදටත් ජනතාව අතර ප්‍රකට පතල් කවියකි. මිනිරන් නිෂ්පාදන කටයුතු සාර්ථකව කෙරුණු අතීතයේ පතල්කරුවන් විසින් ගැයුණු මෙවැනි පතල් කවි අදටත් මැල්සිරිපුර ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇති.  රාගෙදර මිනිරන් පතල සහිත භූමි ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මැල්සිරිපුර නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකිනි. ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ සිට ගතහොත් වාහනයකින් පැමිණෙන්නේ නම් මෙයට ලගාවීමට ගතවන්නේ පැය තුනක පමණ ගමන් කාලයකි. 

ශ්‍රී ලංකාවේ මිනිරන් වලට සුප්‍රසිද්ධ දොඩන්ගස්ලන්ද සහ මදුරාගොඩ මිනිරන් පතල් ආශ්‍රිතව මෙම මිනිරන් පතල පිහිටා තිබෙන නිසා, පොලොව අභ්‍යන්තරයෙන් දිවෙන මිනිරන් ඉල්ලම් මැල්සිරිපුර දක්වාම විහිදී තිබෙන බවට රාගෙදර පතල කදිම නිදසුනක්. කෙටියෙන්ම කිවහොත් දැනට රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන පතලක් වන කහටගහ පතලේ සිට දල වශයෙන් මෙකී රාගෙදර පතලට ඇත්තේ කිලෝමීටර් 8 ක පමණ දුර ප්‍රමාණයකි. 

දහනව වන සියවස මුල් භාගයේදී ගොඩ පතල්වලින් මිනිරන් ලබා ගත්තද, ශ්‍රී ලාංකීය ඉල්ලම් මිනිරන් සදහා පැවති අධික ඉල්ලුම හේතුකොට ගෙන ගැබුරු පතල් කැණීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. ඒ අනුව මදුරාගොඩ, දොඩම්ගස්ලන්ද සහ රාගෙදර පතල් වල මිහිතුල ගැබුරට පතල් කැණීමට කොතලාවල සහ මැල් මහත්වරු එකල පෙලබී ඇත. ඔවුන්ගේ ඒ නිර්භය මුල්වීම නිසා ඇරබි මෙම පතල් සමුහය අදටද ක්‍රියාත්මකව පවතී. 

නිර්ණය කරන ලද "කාබන් 99" සහිත ලොව ඉහලම ප්‍රමිතියෙන් යුත් මිනිරන් මෙම පතල්වලින් ලැබුනද ඒවායෙහි අගය, වටිනාකම දන්නේ අප නොව ඒවා මිලදී ගන්නා විදේශීකයන්ය. මේවායින් අප දන්නා පරිදි පැන්සල් නිෂ්පාදනය සදහා පමණක් නොව අභ්‍යවකාශ යානයේ සිට වර්තමානයේ බහුලව භාවිතයට ගැනෙනා එක්ස්රේ පිටපත් සදහා ද, එසේම ජංගම දුරකථන, පරිගණක තිර නිර්මාණය සදහා ද මෙම මිනිරන් විශේෂ යොදා ගන්නා බව පැවසේ. ඒ අනුව අප රටේ සම්පතක් වන මේ මිනිරන් වල අගය මොනවට දැයි මනාව පැහැදිලි වේ. 

කුමන හේතුවක් මත හෝ 1960 පමණ කාලයේදී වැසී ගිය රාගෙදර පතල 1975 වසරේදී එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජය විසින් ඉඩම් පවරා ගැනීමේදී රජයට පවරාගනු ලැබ තිබේ. ඉන්පසුව රජයේ මැදිහත්වීමෙන් විවිධ ව්‍යවසායකයන් හරහා මෙම කර්මාන්තය නගා සිටුවීමට උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවීය. රාගෙදර පතල ආරම්භයේ සිට එනම් 1974 සිට 1985 දක්වා වූ කාලය තුලදී මෙම පතල තුල සඵල වාර්ෂික මිනිරන් නිෂ්පාදනය වසරකට ටොන් 18000 ක් පමණ වූ බවද පැවසේ. කෙසේ නමුත් 2010 වසරේදී පමණ විදේශීය සමාගමක් සමග ඒකාබද්ධ ශ්‍රීලාංකීය සමාගමක් සිය නවීන තාක්ෂණයද සමගින් සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක කොට මෙහි මිනිරන් නිෂ්පාදනය යලි ඇරබීමට සමත් වී ඇති බවට ප්‍රකටයි.

රාගෙදර පතල හේතුවෙන් මැල්සිරිපුර ජන ජීවිතය ආලෝකමත් වී ඇතැයි කිවහොත් නිවැරදිය. උදාහරණයක් ලෙස ගතහොත් රාගෙදර පතල අතීතයේ දී ආරම්භ කිරීමෙන් පසුව එම පතලේ නිෂ්පාදන ප්‍රවාහනය සදහා පත්ලෙන් ඉවත ලන ලද කළුගල් යොදා ඉදිකළ ශක්තිමත් පාරවල් අදට ද ප්‍රදේශයේ ජනතාවට සේවයක් සලසමින් සුන්දර අතීතයක මතකයක් නැවුම් කරවයි. 


රාගෙදර මිනිරන් පතලේ ක්‍රියාකාරිත්වය දැක්වෙන මෙම වීඩියෝව YouTube ජාලයෙනි.


පසු සටහන:
ඉරිදා ලංකාදීප පුවත්පතේ පුෂ්පකුමාර ජයරත්න නම් ලේඛකයා විසින් ලියා පලකරන ලද විශේෂාංගමය ලිපියක් ඇසුරින් සකස් කරන ලද්දකි.

Friday, April 24, 2015

හෙළ සිරිතට විනෝදය එක්කරන

බක් මහේ ජනක්‍රීඩා 

ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන් දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී සිදුකෙරේ.   

පංච දැමීම - මුහුදු බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල් කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන් සහභාගි වන අතර, දෙපිලකට බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.  

ඔළිද කෙළිය - ගැමි කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද කෙළිය" නමින් ප්‍රසිද්ධයි. 

වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින් ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය.  ඉලක්කය හරි ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.  

කැට ගැසීම - කැටගැසීමේ ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක් යොදා ගැනේ. බිත්තියකට හෝ යම් අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.

චක්ගුඩු පැනීම
රබන් ගැසීම 

බනිස් කෑමේ තරගය - දෙකෙළවර රිටි දෙකක බදින ලද ලණුවක සමාන දුරින් බනිස් ගෙඩි කිහිපයක් එල්ලා තබනු ලබයි. තරගකරුවන්ගේ දෙඅත් ගැට ගසන අතරතරගකරුවන් යම් දුරක සිට දිවගොස් කිසිවකුගේ කිසිදු උපකාරයක් නොමැතිවඅන්අය අභිබවා තමා තෝරාගත් බනිසයක් පළමුවෙන්ම කා අවසන් කිරීම ජයග්‍රාහකයා වීමට සුදුසුකමකි. බොහෝවිට මෙහිදී තරගකරුවන් යොදා ගැනීමේදී වයස් සීමාවන් සැලකිල්ලට ගනු ලබයි.

කොට්ට පොර ගැසීම - කොට්ට පොරයට බිම සිට අඩි හයක් පමණ උසකින් හරස් පොල්ලක් බැද ගනී. එය "දණ්ඩියම" ලෙසින් හැදින්වෙන අතර මේ සදහා සවිමත් පුවක් ගසක් භාවිතයට ගැනීම පාරම්පරික සිරිතකි. තරගකරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා දණ්ඩියම මත කකුල් පහලට දමා ඉදගන්නේ අත දිගු කර පහර දිය හැකි තරම් සමීපවයි. පහර දෙන්නේ පුළුන් පිරවූ කොට්ටයකිනි. ඒ සදහා තරගකරුවන් තමන්ට හුරු අත භාවිතා කල හැකි අතරඅනෙක් අත පිටුපසට කර බැද ගතයුතු වෙයි. ඒ අතින් ඇල්ලීම තහංචිය. ප්‍රතිවාදියා මුහුණට පමණක් පහර දිය යුතු අතරඑසේ මුහුණට පහර දෙන විට සිරුරත් මනසත් සමබරව තබාගත හැකි නම් ජයග්‍රාහකයාට දණ්ඩියම මත නොවැටී සිටිය හැකිය. හෙළයේ මහා මංගල්‍යය යෙදෙන බක් මහේ සිදුකෙරෙන තවත් එක් පාරම්පරික ජන ක්‍රීඩාවක් වූ කොට්ට පොර ගැසීම අංගම්පොර සටන් කලාවෙන් දායාදය වුනු ජන ක්‍රීඩාවක් ලෙස සැලකේ.

කණා ඇල්ලීම - මේ ක්‍රීඩාව සදහා බොහෝ විට ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් දෙගොල්ලම සහභාගී වන අතර, ගෙමිදුලක් හෝ බාධක වලින් තොර ඉඩපහසුකම් ඇති බිමක් තෝරා ගැනීම සිදු කෙරෙයි. තෝරාගත් බිමේ රවුමක් අද ගනියි. තරගකරුවන් නිශ්චිතව සංඛ්‍යාවක් නොමැති වුවත් වැඩි වන තරමට විනෝදය වැඩිය. පළමුව එක් අයෙක් කණා ලෙස තෝරා ගනියි. මේ සදහා ඔහුගේ/ඇයගේ දෑස රෙදි කඩකින් නොපෙනෙන ලෙසට බැදගතයුතු වෙයි.  කණා රවුම මැදට යොමු කරන අතර, තරගයේදී ඔහු රවුම් තුල වටේට දුවමින් පිරිස අල්ලයි. කණා රවුමෙන් පිටතට යෑමක් සිදුවුවහොත් නැවත ඇතුලට කැදවා ගෙන එන්නේද තරගකරුවන් විසින්මය. කනා ඇල්ලීම නැතහොත් රවුමෙන් තරගකරුවන් පිටට ගියේනම් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස කනා ඇල්ලීමෙන් ඉවත් වේ. අවසානයට ඉතිරිවන්නේ ජයග්‍රාහකයායි.

ගස් කට්ටි පැනීම - මේ සදහා ගස් කොළන් සහිත එළිමහන් ස්ථානයක් තෝරා ගැනේ. තරගකරුවන් පස් දෙනෙකු පමණ බොහෝ විටදී ක්‍රීඩා කරන බැවින් අවම වශයෙන් එකිනිකෙට ආසන්නව පිහිටි ගස් කිහිපයක් හෝ ඉනි හතරක් තෝරා ගනියි. මෙහිදී ගස් හතරට තරගකරුවන් හතර දෙනෙකුද මැද සිට ගස් රකින්නා වශයෙන් පස් දෙනෙකුටද එකවර ක්‍රීඩා කල හැකිය. ගස් හතර හිමි තරගකරුවන් තමනට කැමති ලෙසට එක් ගසකින් තවත් ගසකට මාරු විය යුතු වේ. ඒ ලැබෙන අවසරයෙන් ගස් රකින්නා වහා දිව ගොස් ගසක් අල්ලා ගනියි. එවිට ගසක් අහිමිවූ තරගකරු ගස් රකින්නා ලෙස මැදසිට නැවත ක්‍රීඩා කිරීම පටන් ගත යුතු වෙයි. ගස් කට්ටි පනින විට එකම ගසක පමණට වඩා රැදී සිටීම තහංචිය. එසේ වුවහොත් එම තරගකරුට එම ගස අහිමි වනවා පමණක් නොව ගස් රකින්නා ලෙසින් ක්‍රීඩා කල යුතු වෙයි. 




Saturday, January 3, 2015

සමාජය නව මගකට යොමු කරන යහපත් පවුල් බැදීම

පවුලක් යනු සමාජයක පවත්නා වූ කුඩාම ඒකකයයි. එය පුළුල් සංකීර්ණ සමාජයක ආරම්භක ඒකකය ලෙසින්ද හැදින්විය හැකියි. දෙතැනක වෙන්ව ජීවත්වූ පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර, විවාහයෙන් පසුව එකිනෙකා බන්ධනයෙන් බැදී ස්වාමියා හා බිරිද ලෙසත්, පසුව ඔවුනට දාව උපත ලබන්නාවූ දරුවන් සැවොමත්, තමනට ආවේනික වූ හෝ තම මව්පිය පරම්පරාවෙන් පැවත එන පරිද්දෙන් වූ හෝ හුරුපුරුදු සිරිත්විරිත් තත්වයන් එකිනෙකාට පවත්වා ගනිමින්, එකිනෙකා සබදතා ගොඩනගා ගනිමින්, ඔවුනට ආවේනික වූ පොදු පැවැත්මක් නිර්මාණය කර ගැනීම පවුලකින් ප්‍රධාන වශයෙන්ම සිදුවේ. 

පවුල් ඒකකය තුල මෙසේ ඇතිවන්නාවූ ආවේනික සිරිත්විරිත් එකිනෙකාට පවත්වා ගනිමින් එකිනෙකා හා සබදතා ගොඩනගා ගැනීම පවුල් බැදීමක් ලෙසින්ද අර්ථ දැක්විය හැකියි. මේ පවුල් බැදීම් නොඑසේනම් පවුල තුල සිදුවන අන්තර් සබඳතා අපගේ ජීවිතය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය පවුලේ සාමාජිකයන් අතර හා පවුල තුල ඇතිවන තදබල බැදීමක් වේ. එය සදාකාලිකයි. පවුලේ සාමාජිකයන් අතර මෙසේ ඇති වන්නාවූ ආදරණීය සම්බන්ධතාවයන්, පියා සහ මව අතරත්, මව සහ දරුවන් අතරත්, පියා සහ දරුවන් අතරත් වගේම දරුවන් එකිනෙකා තුලත්  සතුට, වාසනාව හා සාර්ථකත්වය ගෙන එයි. 

දුකේදීත්, සැපේදීත් ආදරය, කරුණාව හා රැකවරණය සමගින් පවත්නා තත්වයන් එකට එක්ව එකිනෙකා හා සමව බෙදා ගෙන ජීවත් වීමට මෙකී පවුල් බැදීම ඉතා වැදගත් වනවා. එනිසයි කොතරම් දුප්පත් වුවත් පොහොසත් වුවත් පවුල් බැදීම් සැමදෙනාටම එක සමාන ලෙසින් වැදගත් වන්නේ. 

ආදරය හා සෙනෙහස ධනය මත යැපෙන්නක් නොවනවා සේම එය කිසිවිටෙකත් මිලමුදලට ලබාගත හැක්කක් නොවේ. දුප්පත් හෝ පොහොසත් හෝ වේවා ඕනෑම පවුලක් තුල ජීවත්වන සියලුම දරුවන් තම දෙමව්පියන්ගෙන් ආදරය, සෙනෙහස බලාපොරොත්තුවේ. කුමන සමාජ තත්වයක් හිමිවුවත් සියළුම දරුවන් තම විවිධ අවධීන් පසුකරමින් වැඩිහිටියන් දක්වා වර්ධනය වේ. ළදරුවෙක් නව යොවුන් වියටත්, පසුව වැඩිහිටි යෞවනයෙකු බවටත්. මෙසේ වර්ධනය වන ක්‍රියාවලිය තුළදී පවුල් බැදීම් ආරක්ෂා කර ගත යුතුමයි. 

නමුත් වේගයෙන් දියුණු වන නූතන ලෝකයේ පවුල් බැදීම් විචලනය වෙමින් (පා වෙමින්) පවතී. නූතන සමාජයේ බොහෝ දෙනා මුදල් කෙරෙහි පමණක්ම බොහෝ අවධානය යොමු කරති. මුදල් යනු සමාජයේ තත්ත්වය හා වැදගත්කමක් ලබාදෙන්නක් ලෙස අවබෝධ කරගෙන ඇති සෙයක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙසින්, මිනිසුන් එකිනෙකා තරගකාරී බවට පත් වී ඇත. ඔවුන්ට අන් අය ගැන සිතීමට වෙලාවක් නොමැත. පවුල් බැදීම් හෝ සබඳතා දුර්වලත්වයට පත් වී ඇත. එනිසාමයි අප සැවොම - තම පවුල් බැදීම් තවදුරටත් වර්ධනය කරගත් යුත්තේ. 

තම පවුල අතර බැදීම වර්ධනය කරගනිමින්, අප අපේ පවුල රැකබලා ගැනීමට ඉගෙන ගන්නා විට, අපේ සමාජය හා අපේ රට රැකබලා ගැනීමටත්, ඉන් ඔබ්බට ගිය යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමටත්, ඉගෙන ගත හැක්කේ එවිටයි.