Pages

Thursday, September 24, 2015

රාගෙදර මිනිරන් පතල

මිනිරන් කන්ද පාමුල ගම            රාගෙදර
එමරන් ගෙනියන්ඩ කැපුවේ         මහපාර
වතුරෙන් සැප හොදයි කුබුකේ ලිදේ වතුර
ගණරන් රුවයි මිනිරන් කද         රාගෙදර

මේ මැල්සිරිපුර ප්‍රදේශයට අනන්‍ය වූ එකම මිනිරන් පතල වශයෙන් හැදින්වෙන රාගෙදර මිනිරන් පතල සම්බන්ධයෙන් නිර්මාණය වුණු අදටත් ජනතාව අතර ප්‍රකට පතල් කවියකි. මිනිරන් නිෂ්පාදන කටයුතු සාර්ථකව කෙරුණු අතීතයේ පතල්කරුවන් විසින් ගැයුණු මෙවැනි පතල් කවි අදටත් මැල්සිරිපුර ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇති.  රාගෙදර මිනිරන් පතල සහිත භූමි ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මැල්සිරිපුර නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකිනි. ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ සිට ගතහොත් වාහනයකින් පැමිණෙන්නේ නම් මෙයට ලගාවීමට ගතවන්නේ පැය තුනක පමණ ගමන් කාලයකි. 

ශ්‍රී ලංකාවේ මිනිරන් වලට සුප්‍රසිද්ධ දොඩන්ගස්ලන්ද සහ මදුරාගොඩ මිනිරන් පතල් ආශ්‍රිතව මෙම මිනිරන් පතල පිහිටා තිබෙන නිසා, පොලොව අභ්‍යන්තරයෙන් දිවෙන මිනිරන් ඉල්ලම් මැල්සිරිපුර දක්වාම විහිදී තිබෙන බවට රාගෙදර පතල කදිම නිදසුනක්. කෙටියෙන්ම කිවහොත් දැනට රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන පතලක් වන කහටගහ පතලේ සිට දල වශයෙන් මෙකී රාගෙදර පතලට ඇත්තේ කිලෝමීටර් 8 ක පමණ දුර ප්‍රමාණයකි. 

දහනව වන සියවස මුල් භාගයේදී ගොඩ පතල්වලින් මිනිරන් ලබා ගත්තද, ශ්‍රී ලාංකීය ඉල්ලම් මිනිරන් සදහා පැවති අධික ඉල්ලුම හේතුකොට ගෙන ගැබුරු පතල් කැණීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. ඒ අනුව මදුරාගොඩ, දොඩම්ගස්ලන්ද සහ රාගෙදර පතල් වල මිහිතුල ගැබුරට පතල් කැණීමට කොතලාවල සහ මැල් මහත්වරු එකල පෙලබී ඇත. ඔවුන්ගේ ඒ නිර්භය මුල්වීම නිසා ඇරබි මෙම පතල් සමුහය අදටද ක්‍රියාත්මකව පවතී. 

නිර්ණය කරන ලද "කාබන් 99" සහිත ලොව ඉහලම ප්‍රමිතියෙන් යුත් මිනිරන් මෙම පතල්වලින් ලැබුනද ඒවායෙහි අගය, වටිනාකම දන්නේ අප නොව ඒවා මිලදී ගන්නා විදේශීකයන්ය. මේවායින් අප දන්නා පරිදි පැන්සල් නිෂ්පාදනය සදහා පමණක් නොව අභ්‍යවකාශ යානයේ සිට වර්තමානයේ බහුලව භාවිතයට ගැනෙනා එක්ස්රේ පිටපත් සදහා ද, එසේම ජංගම දුරකථන, පරිගණක තිර නිර්මාණය සදහා ද මෙම මිනිරන් විශේෂ යොදා ගන්නා බව පැවසේ. ඒ අනුව අප රටේ සම්පතක් වන මේ මිනිරන් වල අගය මොනවට දැයි මනාව පැහැදිලි වේ. 

කුමන හේතුවක් මත හෝ 1960 පමණ කාලයේදී වැසී ගිය රාගෙදර පතල 1975 වසරේදී එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජය විසින් ඉඩම් පවරා ගැනීමේදී රජයට පවරාගනු ලැබ තිබේ. ඉන්පසුව රජයේ මැදිහත්වීමෙන් විවිධ ව්‍යවසායකයන් හරහා මෙම කර්මාන්තය නගා සිටුවීමට උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවීය. රාගෙදර පතල ආරම්භයේ සිට එනම් 1974 සිට 1985 දක්වා වූ කාලය තුලදී මෙම පතල තුල සඵල වාර්ෂික මිනිරන් නිෂ්පාදනය වසරකට ටොන් 18000 ක් පමණ වූ බවද පැවසේ. කෙසේ නමුත් 2010 වසරේදී පමණ විදේශීය සමාගමක් සමග ඒකාබද්ධ ශ්‍රීලාංකීය සමාගමක් සිය නවීන තාක්ෂණයද සමගින් සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක කොට මෙහි මිනිරන් නිෂ්පාදනය යලි ඇරබීමට සමත් වී ඇති බවට ප්‍රකටයි.

රාගෙදර පතල හේතුවෙන් මැල්සිරිපුර ජන ජීවිතය ආලෝකමත් වී ඇතැයි කිවහොත් නිවැරදිය. උදාහරණයක් ලෙස ගතහොත් රාගෙදර පතල අතීතයේ දී ආරම්භ කිරීමෙන් පසුව එම පතලේ නිෂ්පාදන ප්‍රවාහනය සදහා පත්ලෙන් ඉවත ලන ලද කළුගල් යොදා ඉදිකළ ශක්තිමත් පාරවල් අදට ද ප්‍රදේශයේ ජනතාවට සේවයක් සලසමින් සුන්දර අතීතයක මතකයක් නැවුම් කරවයි. 


රාගෙදර මිනිරන් පතලේ ක්‍රියාකාරිත්වය දැක්වෙන මෙම වීඩියෝව YouTube ජාලයෙනි.


පසු සටහන:
ඉරිදා ලංකාදීප පුවත්පතේ පුෂ්පකුමාර ජයරත්න නම් ලේඛකයා විසින් ලියා පලකරන ලද විශේෂාංගමය ලිපියක් ඇසුරින් සකස් කරන ලද්දකි.