Pages

Saturday, October 4, 2014

මලයාසියානු සංචාරය 2014 | Tour of Malaysia 2014

ශ්‍රී ලංකාවට අවේණික වූ දේශගුණික රටාවන්ගෙන් සමන්විත, සංචාරක කර්මාන්තය අතින් වඩාත් සුප්‍රසිද්ධ, අග්නිදිග ආසියානු කලාපීය රටක් ඔබ අසා ඇතිනම් නිරන්තරයෙන්ම ඔබගේ මතකයට නැගෙන්නේ මලයාසියාව. මලයාසියාව - මෙවර අපගේ වාර්ෂික විනෝද චාරිකාවේ සන්ධිස්තානය වුනා. යම්දිනෙක පවුලේ සැවොමත් සමගින් දවසක දෙකක නිවාඩුවකට විදේශගත වන්නට ඔබත් අදහස් කරගෙන ඇත්නම්, මලයාසියාව එයට උචිතම තෝතැන්නක් වේවි. ඒනිසාම මලයාසියාවේදී අප විදි සුන්දරත්වය සොදුරු නවාතැනේදී ඔබ හා සැකෙවින් බෙදා ගැනීමට අප අදහස් කළා.

මලයාසියාව පිහිටලා තිබෙන්නේ වියට්නාමයට පහලින් පිහිටි දකුණු චීන මුහුදට මායිම්ව, උතුරින් තායිලන්තයෙන්ද, දකුණින් සිංගප්පුරුවෙන්ද, ඉන්දුනීසියාව, බෲනායි රටවලට මායිම්වද සමකයට ආසන්නයෙන්.
Entrance to Batu Caves with the Murugan Statue
හින්දු භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක් වූ
භාටු කේව් අභියස පිහිටි මුරුගන් දේව ප්‍රතිමාව 
Inside View of Indoor Theme Park in Malaysia
කේබල් කාර් මතින් කදු මුදුනට ලගාවූ පසු හමුවන උද්‍යානය
(Internet Photo)
අපේ චාරිකාව දින හතරක්. එයාර් ඒසියා ගුවන් සේවාවෙන් කටුනායක සිට මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොලට අප ලගාවන විට එරට වේලාවෙන් රාත්‍රී නවයට පමණ වූ බැවින් ප්‍රථම දිනය ගතකලේ විවේකීවයි. දෙවන දිනය එනම්, පසුදා උදෑසනම අපගේ පළමු නැරබුම් මධ්‍යස්ථානය වුයේ  භාටු කේව්. හුණුගලින් සැදුණු කදු සමුහයක පිහිටා ඇති ගුහාවලින් යුක්ත මේ ස්ථානය හින්දු භක්තිකයන්ගේ උතුම් පූජනීය ස්ථානයක්. ක්වාලාලාම්පූර් නගරයේ සිට උතුරු දෙසට කිලෝමීටර් 12ක් පමණ දුරකින් වූ ගොම්බැක් දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයකි භාටු කේව්.  සෞම්‍ය කාලගුනයකින් සමන්විත වටපිටාවක් ඇති මෙම ස්ථානයේ පැයක් දෙකක් ගත කිරීමෙන් ඉනික්බිතව, නිවර්තන තෙත් වනපියස් මතින් සුන්දර කදු සිකරය වෙත දිවෙන කේබල් කාර් සංචාරයත්, මධ්‍යයේ පිහිටි එළිමහන් තේමා උද්‍යානයත් අපගේ අමරණීය සිහිවටනයන් වුණා. අපගේ සංචාරය සංවිධානය කල සංචාරක ආයතනය මගින් අප වෙත ලබාදුන් මගපෙන්වන්නාගේ ලෙන්ගතු සහායනම් මෙහිදී මතක් නොකරම බැහැ. ඔහුගේ සරල සවිස්තරාත්මක පැහැදිලිකිරීම් මගේ පවුලේ පුංචිම සාමාජිකයාට පවා වැටහෙන තරමට ඔහු තම රට ගැනත්, නැරබුම් ස්ථාන ගැනත් මොනවට පහදා දුන්නා.

The First World Hotel  in Malaysia 
වැඩිම කාමර ගණනකින් සමන්විත ලොව පළමු හෝටලය 
සැබවින්ම, ස්වභාවික පරිසරයත්, නවීන තාක්ෂණයත් එකිනෙක සම්මිශ්‍රණය කරමින් සංචාරක සුන්දරත්වයක් වර්ධනය කරගැනීමෙහිලා මලයාසියාව ගෙන ඇති පියවරයන් සියැසින් දැකගත හැකිවීම වාසනාවක්. වසර ගණනාවක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුව 1957 දී නිදහස ලබා ඇති මලයාසියාව, නිදහස ලබාගන්නාවිට දරිද්‍රතාවයේ හා විරැකියාවේ හිනිපෙත්තක සිටි රටක් බව සදහන්. පසුව ක්‍රමයෙන් රට තුල යටිතල පහසුකම් දියුණු කිරීම තුලින්, විදේශ ආයෝජකයන් රට තුලට ගෙන්වා ගනිමින්, අද පවත්නා සංවර්ධනයේ මාවත විවර කර දී ඇත්තේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා විසින් බවයි  එරට සංචාරක මග පෙන්වන්නාගේ අදහස. ඉතා සියුම් තාක්ෂණික මෙවලමක සිට තමන්ටම අනන්‍ය වූ proton මෝටර් රථ නිපදවීම් දක්වාම මලයාසියාව ආර්ථික අතින් අද සංවර්ධිත වී ඇති බැව් සංචාරක මගපෙන්වන්නා අප හා පැවසුවේ මග දෙපස ගමන්ගන්නා ප්‍රෝටෝන් මාදිලියේ මෝටර් රථ කිහිපයක් අපට පෙන්වමින් මහත් උද්දාමයකින්.

නිවර්තන තෙත් වනපියස් මතින්
සීතල කදුසිකරය වෙත දිවෙන කේබල් කාර් සංචාරය
ක්වාලාලම්පුර් නගරය අගනගරය කරගත් මලයාසියාවේ ලක්ෂ 30ක් පමණ වූ සමස්ත ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන්. මෙයට අමතරව චීනයෙන් සංක්‍රමණයවී ජීවත්වන බෞද්ධ භක්තිකයොත්, ඉන්දියාවෙන් සංක්‍රමණය වී ඇති හින්දු භක්තිකයොත් සමස්ත ජනගහනයේ සැලකියයුතු කොටස්කරුවෝ වෙති. මේ අතර ශ්‍රී ලාංකිකයෝද සිටිති. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රභූ පුද්ගලයන් අද මලයාසියානු සමාජයේ ඉහල නිලතල පවා හොබවනු බැව් අසන්නට ලැබීම සංචාරක අපට සැබවින්ම සතුටට කරුණක් වුනා.

තෙවන දිනය තුලදී මැලේසියානු නගර සංචාරයත්, පාරම්පරික රාජකීය මන්දිරය හා විරු ස්මාරකය නැරබීමටත්, පවුලේ සැමට වෙනස් අත්දැකීමක් ලබාගැනීමේ අරමුණු කරගත් චොකලට් කර්මාන්ත ශාලාව නැරබීමත්, මලයාසියාවේ අභිමානයසේ ගුවන්කුස සිසාරා හැඩවුණු නිවුන් කුලුණු යුගලය නැරබීමත්, මින් මැදුර සංචාරයත් අප සිදු කල සංචාරක ස්ථාන අතර සිත්බැද ගත්තා. සැදෑ භාගයේ සාප්පු සවාරිය මේ සෑම අංගයකටම වඩා විනෝදකාමී මෙන්ම වඩා වියදම්කාරී අංගයක් වුනා.

KL Twin Tower in Malaysia
ගුවන්කුස සිසාරා හැඩවුණු නිවුන් කුළුණු යුගලය
වඩාත් වෙනස් අත්දැකීම් විදගනු රිසි අප සෑම දිනකම දිවා ආහාරය හා රාත්‍රී ආහාරය ලබාගත්තේ වීදිය දිගේ ඇවිද යද්දී හමුවුණු අවන්හලකින්. මලයාසියානු තරුණ තරුණියන්, චීන ජාතික තරුණ තරුණියන් මෙන්ම විදේශීය සංචාරකයන් ගෙන් බොහොමයක් සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළදසැල් පිරී තිබෙන ආකාරයත්, මෙහිදී නිරීක්ෂණය කල හැකි වුණා. මගතොටදී දැකිය හැකි දේශීය අවන්හල් අතර, චීන ක්‍රමයට සකස්කරනු ලබන ආහාරවේල් සහිත චීන අවන්හල් හා සාම්ප්‍රදායික ඉන්දියානු ආහාරවලින් සමන්විත ඉන්දියානු අවන්හල් බහුලයි. කිසිදු බාධාවකින් තොරව තම තමන්ගේ රුචිකත්වයට සරිලන අයුරින් නිදහසේ තමන් කැමති ආහාරවේලක රස බැලීමට, මගතොට දොඩමලුව රිසිසේ විනෝදයෙන් වීදි ඔස්සේ ගමන් කිරීමට අපට මෙහිදී  අවස්ථාව උදාවුනා.

මලයාසියානු භුමියේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීමෙහිලා ගෙන ඇති පියවරයන් මතකයට නැගෙද්දී, ස්වභාවධර්මය හා බැදී එයට හානියක් නොවන අයුරින්, තමන්ගේ දේශීය සම්පත් භාවිතයට ගෙනඇති ආකර්ෂණීයත්වය සසදා බලද්දී සැබවින්ම අප රටතුලත් එලෙසින් ස්ථාපනය කරගත හැකිවේ නම් යන හැගීම අප සිත්සතන් තුළ පහල්වුවා. එය එසේ කළහැකි වේ නම් නිදහස, සුහදත්වය, මිත්‍රශීලීත්වය හා සංචාරකයන්ට දක්වන ආගන්තුක සත්කාරත්වය පිරිපුන් අපේ රටේ අපේ සංචාරක කර්මාන්තය වර්ධනයෙහිලාත් බෙහෙවින්ම උදව්වක් වන බවට නම් විශ්වාසයි.

සෑම සුන්දර හමුවීමකම සමුගැනීම සනිටුහන් කරමින් සීමිත දිනකිහිපයක් මලයාසියාවේ ගතකල සංචාරයේ නිමාව පවුලේ සැමටම අලුත් අත්දැකීමක් වුණා. දුක, සතුට, විරහව තනිකඩ ජීවිතයේ කොටස්කරුවන් වුවත්, විවාහක ජීවිතයේ දිවිය වඩාත් අර්ථවත් වන්නේ හුදෙකලාව පසෙකලා පවුලේ සැවොමත් සමගින් අත්විදින්නා වූ මෙවන් සතුටක් පමණමයි. එවන් අමරණීය මතකයන් සදා සිත්හි රදවා ගනිමින් මෙවර මලයාසියාවේ ගත කල සිව්දින චාරිකාව නිමා කරමින්, පසුදා උදෑසනම අපි අපගේ උපන් දේශය බලා පියාසර කලා. සංචාරය සංවිධානය කල S.T International Marketing - Pvt Ltd සංචාරක ආයතනයටත්, මෙවන් සංචාරයක් සදහා ඉඩකඩ සලසාදෙමින් විධිමත්ව සංවිධානය කොට ගමන් ආරම්භයේ සිටම අවසානය දක්වාම සහයෝගය දැක්වූ අපගේ සේවා ආයතනයටත් අපගේ හර්දයාංගම ස්තුතිය !

සහභාගී වූ අපේ පිරිසේ සිතුවම් පිටපත:
https://www.facebook.com/st.international.marketing/photos