Pages

Friday, March 7, 2014

බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines

පැරණි වාර්තා අනුව බෝගල මිනිරන් පතල් කර්මාන්තය දහනව (19) වන සියවසේ මුල් භාගයේදී පමණ ඇරබී ඇත්තේ අරුක්ගම්මන ග්‍රාමයේ පිහිටි බෝගල කදුගැටයෙන් මතුවුනු මිනිරන් ඉල්ලමක් අනුව යමිනි. එනම් ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණ මෙහි ජීවත්වූ ගැමියන් තම පානීය ජල අවශ්‍යතා හා වැසිකිලි කටයුතු තනාගැනීම සදහා කටයුතු කරද්දී පොලොව අභ්‍යන්තරයෙන් දිස්නය සහිත ඛනිජ විශේෂයක් හමුවී ඇති අතර, ඒවා ප්‍රදේශයට පැමිණි වෙළෙන්දන් අතට යමින් පසුව මිනිරන් බවට නිශ්චය කරගැනීමත් සමගම මේ ප්‍රදේශයේ මිනිරන් කැනීම් කර්මාන්තය ආරම්භ වී ඇති බවට ප්‍රකටයි. එකල මේ ප්‍රදේශයට පැමිණි වෙළෙන්දන් විදේශීයයන් හා සම්බන්ධතා තිබු බැවින් මිනිරන් සදහා හොද ඉල්ලුමක් පැවති අතර, ඒහේතුවෙන් පතල් කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු විසින් කන්දේ තැනින් තැන කුඩා ආවාට (මිනිරන් සොයා හාරන ලද වලවල්) තනමින් මිනිරන් ඉල්ලම් සොයා කැණීම් කටයුතු පටන් ගෙන තිබේ. මෙය බෝගල පතල් කර්මාන්තයේ ආරම්භක යුගය ලෙසට සනිටුහන් වනවා. 

එසේ මිනිරන් සොයා කැනීම් කරන ලද වලවල් නොහොත් ආවාට මහා බෝගල, පුංචි බෝගල හා කරදවත්ත යන නම් වලින් එකල හඳුන්වන ලද අතර, මින් එක් පතලක හිමිකරුවා වූ කතෝනිස් බාස් හෙවත් ප්‍රනාන්දු නම් පතල් කම්කරුවා ක්‍රමයෙන් අනෙක් පතල් ආවාට සියල්ලම මිලට ගනිමින් බෝගල කන්දේ සියලුම පතල්වල තනිහිමිකරුවා බවට පත්විය. වර්ෂ 1847 දී බෝගල මිනිරන් පතල් රජයේ ලියාපදිංචි කරන්නට ඇති බවට සැලකිය හැකි සාධක තිබේ.

ආරම්භයේදී අනුගමනය කර ඇති කැනීම් ක්‍රමය සරල වශයෙන්ම ඉල්ලම හැකි පමණ පහසුවෙන් කඩා ගැනීමයි. තට්ටු සවි කිරීමක් හෝ නැවත පිරවීමක් සිදුවී නැති අතර ඉල්ලම කැනීමෙන් පසු මව් පාෂාණයේ ස්ථායිතාවය රදවා ගැනීම සදහා ඉල්ලම් කුට්ටි ඉතිරි කරමින් අවශ්‍යවූ විටෙක ලී මුක්කු තබමින් කැණීම් කටයුතු සිදු කෙරී ඇති බවට ප්‍රකටයි.

ක්‍රමයෙන් මිනිරන් කර්මාන්තයේ මහා ධනවතෙකු බවට පත්වූ කතෝනිස් බාස් එවකට ධනවත්ම ශ්‍රී ලාංකිකයෙකුව සිටි බැව්ද කියවේ. ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු මහා බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු නැවත ශ්‍රීලංකාවට පැමිණෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් නම් කැණීම් විශාරදයෙකුද සමගයි. ඔහුගේ සේවය මිනිරන් කැනීම් කටයුතු සදහා ලබගෙන ඇති අතර, මෙය ශ්‍රී ලාංකිකයෙක් යටතේ බ්‍රිතාන්‍ය සුදු ජාතිකයෙකු සේවය කල පළමු අවස්ථාව ලෙසට ද  සැලකේ. බෝගල පතල් කර්මාන්තය අධ්‍යයනය කල ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් තවදුරටත් ගැබුරට මිනිරන් ඉල්ලම හැරීමේදී සිවිකිරීම් වලින් තොරව ආරක්ෂිතව කැනීම් කටයුතු සිදු කල නොහැකිබව වටහා ගෙන තිබේ. තම අධ්‍යයනයන් පාදක කරගනිමින් ඒවා බෝගල පතලට අනුගත කිරීමට වෙහෙසගත් ඔහු බෝගල පතල් සදහා තට්ටු කැපීම හා පිරවීමේ ක්‍රමවේදය හදුන්වාදී තිබෙන්නේ ඉන් අනතුරුවයි. ඔහුගේ මෙම හදුන්වාදීම නොවන්නට බෝගල පතල් කර්මාන්තය මෙයට වසර ගණනාවකට පෙර නවතින්නට පවා ඉඩ තිබිණි යැයි සැලකේ.

කෙසේ වෙතත් ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් හා ඉන්පසුව පැමිණි යුරෝපීය ජාතික කැනීම් විශේෂච්ච්යින්ගේ මග පෙන්වීම්ද ප්‍රනාන්දු පවුලේ නිසි කලමනාකාරීත්වයෙන්ද බෝගල පතල් කර්මාන්තය දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවට පත්විය. ලෝකය තුල පතල් කර්මාන්තයට නව අංග එක්වෙද්ද්දී එයට සමගාමීව බෝගල පතල්ද ක්‍රමක්‍රමයෙන් නවතාක්ෂණය සමග අත්වැල් බැද ගත්තේය. කටුව, මිටිය භාවිතයෙන් ගල් බෝර ගැසීම වෙනුවට දියමන්ති විදුම් යන්ත්‍ර භාවිතයද, අතින් ක්‍රියා කරවූ දබරය වෙනුවට විදුලි සෝපානයද, ඉටිපන්දම්, කුප්පි ලාම්පු වෙනුවට කාබයිඩ් ලාම්පුද පසුව විදුලි ලාම්පු භාවිතයට ද පැමිණියේය. 

වර්ෂ 1972 දී බෝගල පතල් රජයට පවරා ගැනුණු අතර, ඉන් පසු මෙය රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය වී තිබේ. රාජ්‍ය මිනිරන් සංස්ථාව පසුව රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව බවට පත්වූ අතර, වර්ෂ 2000 දී එවකට පැවති රජය මගින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුවහගත කිරීම යටතේ පුද්ගලික අංශයට පවරන ලදී. ඒ වනවිට බෝගල මිනිරන් සංස්ථාව පාඩු ලබන ආයතනයක්ව පැවති අතර, පසුව බෝගල පතල් ජර්මනියේ ග්‍රැෆිට් ක්රෝෆ්මුල් සමාගමේ අනුබද්ධ සමාගමක් බවට පත්විය. නවීන යන්ත්‍රෝපකරණ, නව කැනීම් ක්‍රම සහ විධි සමග නව කළමනාකාරීත්වයේ සංකල්ප හදුන්වා දෙමින්, සේවක ගැටළු විසදා ගනිමින් උපරීම සේවක සුරක්ෂිතතාවය, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරියට යන සමාගමක් ලෙස බෝගල ග්‍රැෆයිට් ලංකා ආයතනය අද පත්ව තිබේ.



පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.
මුලාශ්‍ර, දත්ත ප්‍රතිරූපණය හා උපුටා ගැනීම:
විවිධ පුවත්පත් වල කලින් කලට පලවූ විශේෂාංගමය හෝ තීරු ලිපි
විවිධ ලේඛකයන් විසින් රචිත කැණීම් ග්‍රන්ථ 
විවිධ නාලිකා මගින් කලින් කලට විකාශනය කෙරුණු පුවත්, විශේෂාංග හා වාර්තාමය වැඩසටහන්

No comments:

Post a Comment