Pages

Friday, March 7, 2014

හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගන්නේ මෙහෙමයි | Ways to detect a Fake Facebook Account

අප ජීවත්වන සමාජය විවිධාකාර වූ අදහස් උදහස් සහිත පුද්ගලයන්ගෙන් සමන්විතයි. කාරුණික ගති පැවතුම් ඇති උගත්, බුද්ධිමත් පුද්ගලයන් මෙන්ම විෂමාකාරවූ ගතිපැවතුම් ඇති නුගත්, මිළ මුදල් පමණක් මතම යැපෙන පුද්ගලයන්ද නැතුවා නොවේ. විෂම ගති පැවතුම් ඇති පුද්ගලයින් කිහිප දෙනෙකු නිසා අප ජීවත්වන මේ සමාජය වේගයෙන් දුෂණය වෙමින් තිබේ. අපරාධ, දූෂණ ඉහළ යන්නේ එයින් ඇතිවන ප්‍රතිඵලයක් ලෙසටයි. එවන් සමාජයක හරි වැරැද්ද තෝරා බේරා ගෙන නිවැරැදිව නැඟී සිටින්නට නොහැකි නම් තරුණ පරම්පරාවට උරුමවන හෙට දිනය සුන්දර නොවේ. අනාගතය අභාග්‍යසම්පන්න නොකරගෙන වාසනාවන්ත කර ගැනීමට නම් අපට හරි වැරැද්ද තෝරා ගතහැකි නිවැරදි දැක්මක් තිබිය යුතුය. බුද්ධිය මෙහෙයවා කරන කියන දේ නිවැරදි ලෙසට භාවිතා කිරීමටත්, හදුනාගැනීමටත් හැකිනම්, භාවිතා කරන දියුණු තාක්ෂණික මෙවලම්, සමාජයේ ඇසුරු කරන මිතුරන් ගැන නිරන්තර අවබෝධයක් ඇති කරගත හැකි නම් සැබැවින්ම හෙට දිනය සුන්දරයි.   

ගමක තරුණ පිරිස් එක්වී පිහිටුවාගන්නා මිතුරු හවුලකදී නම් අප දන්නා යහළු යෙහෙළියන් සමුහයකගේ ඇසුර ප්‍රයෝගිකවම අපට විදගත හැකියි. එනමුත් අප සැබෑලෙසටම දැක නොමැති විශ්වයක හමුවී බැදෙන බැදීමක් කෙසේනම් අවබෝධ කරගන්නද? නිතැතින්ම අන්තර්ජාලයේ සැරිසරද්දී හමුවන සමාජ වෙබ් අඩවි පරිශීලනයෙදී අප බුද්ධිය මෙහෙයවා කටයුතු කල යුත්තේ එහෙයිනි. මේ බ්ලොග්සටහන ඒ පිළිබද පුළුල් කතිකාවතක් ගොඩනැගීම නොව මුහුනුපොතේ සාමාජිකත්වය ලබාගෙන ඇති ඔබ අප දන්නා තරමින් එයින් පරිස්සම්වීම සදහා, හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගන්නේ කෙලෙසටද යන්න ගැන පුංචි අවබෝධයක් ලබාගැනීමයි. 

ඔබ කොහෙත්ම නොදන්නා පුද්ගලයෙකු ඔබව හාස්‍යට ලක්කිරීමේ අරමුණින් හෝ කම්මැලි වේලාවට විනෝදය පිණිස හෝ යටිසිතින් ආදර සබදතාවයක් ගොඩනංවා ගැනීමේ අරමුණින් හෝ නොඑසේනම් තවකෙනෙකු ගැන ඇතිවන ද්වේෂයකින් හෝ මුහුනුපොතේ හොර ගිණුමක් සදා ගෙන තිබෙන්නට පුළුවන්. එහෙත් එහි ක්‍රියාකාරීත්වය හොදින් පරීක්ෂා කර බැලුවොත් බුද්ධිමත් ඔබට සත්‍ය අවබෝධ කරගැනීමට එතරම් අපහසු වන්නේ නැහැ. 

1.  පළමුවෙන්ම හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගැනීමේ වැදගත්කම වටහා ගත යුතුයි. 
ෆේස්බුක් ගිණුමකට ඔබ ඇතුලත් කරන දත්ත ඔබ නොදන්නා තවත් කෙනෙකු හා බෙදා ගැනීම හේතුවෙන් ඔබගැන සැලකිලිමත් වන, ඔබ පුද්ගලිකව නොහදුනන යහළුවාගෙන් ඔබගේ පුද්ගලික තොරතුරු වැරදි පුද්ගලයෙකු අතට පත්වන්නට පුළුවන්. එනිසා පළමුවෙන්ම අප අවබෝධකරගත යුතුයි අප පුද්ගලිකව නොදන්නා කිසිම යහළුවෙකු හෝ යෙහෙළියක හා සබදතා නොපැවැත්වීමටත් අපගේ පුද්ගලික තොරතුරු බෙදාහදා නොගැනීමටත්.    

2. ෆේස්බුක් ගිණුම සදහා යොදා ගෙන ඇති චායාරුපය පරීක්ෂා කර බැලීම. 
සම්පුර්ණ ෆේස්බුක් ගිණුමටම එහෙමත් නැතිනම් මුළු Profile එකටම ඇත්තේ එක් චායාරුපයක් පමණක් නම් ඔබ මදක් සිතාබැලුවොත් නරක නැහැ. එහෙමත් නැතිනම් Profile චායාරුපය  සදහා යොදාගෙන ඇත්තේ ඔබ මීට කලින් දකහුරුපුරුදු නිළියකගේ, නළුවෙකුගේ, නිවේදිකාවකගේ රුවක්ද, සංස්කරණය කරමින් වර්ණ ගන්වන ලද ඉතා සුපැහැදිලි වර්ණවත් සේයාරුවක්ද යන්න සිතා බලන්න. ඒ ඔහුගේ/ඇයගේ සැබෑ රුව නොවන්නට පුළුවන්. ඔබට පුළුවන් Profile චායාරුපය Copy කරගෙන Google සෙවුම් යන්ත්‍රය හරහා Images search කිරීමක් සිදු කරන්න. එමගින් ඔබට තක්සේරු කරගත හැකිවේවි මේ සේයාරුව සැබෑවටම ඔබගේ යහළුවාගේදැයි/යෙහෙලියගේදැයි කියා.   

3. ෆේස්බුක් ගිණුම සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම. 
ඔබ නොදන්නා එහෙත් ඔබගේ friends list එකේ යහළුවෙක් / යෙහෙළියක්  ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකුගේ Profile තොරතුරු කියවා බැලීමේදී තරුණ සේයාරුවක් සමග වයසට නොගැලපෙන, කිසිසේත් ලගාවිය නොහැකි ආකාරයේ රැකියාවක් සදහන් කර තිබේ නම්, එහෙමත් නැතිනම් තොරතුරු යාවත්කාලීන කිරීමේදී වයසට නොගැලපෙන, අධ්‍යාපනික මට්ටමට නොසරිලන තරම් වූ Status updates, Wall posts හෝ Comments කිරීමක් සිදුකෙරේ නම් මොහොතක් සිතා බැලුවොත් නරක නැහැ.  

විටෙක ඔහු/ඇය හදුනාගත නොහැකි ආයතනයක හෝ පාසලක නමක් සදහන් කර තිබෙනවා වන්නට පුළුවන්. රැකියාවක් කරන බවට සදහන් කර තිබුනත් ආයතනයේ නම සදහන් කර නොතිබෙන්නට පුළුවන්. එලෙස හදුන්වා ඇති ස්ථානයන්ගේ අක්ෂර වින්‍යාශය වැරදි වන්නටත් පුළුවන්. නැත්නම් එලෙස සදහන් කර ඇති ආකාරයේ සමාගමක් හෝ අධ්‍යාපන ආයතනයක් නොතිබෙන්නට පුළුවන්. ඔහු/ඇය ප්‍රධාන වශයෙන්ම කැමැත්තක් දක්වනුයේ පිරිමි/කාන්තා ඇසුරට බව හැගවෙන දේ සදහන්ව තිබෙන්නටත් පුළුවන්. එසේනම් මේ සලකුණු සියල්ලම මිථ්‍යාවක් වන්නට තිබෙන ඉඩකඩ බොහෝවිට වැඩියි. 

එමෙන්ම ඔහුගේ/ඇයගේ Profile එකේ සදහන් උපන්දිනය පරීක්ෂා කර බැලීමේදී එය බොහෝ විට 1/1/xxxx හෝ 31/12/xxxx වැනි පහසුවෙන් යතුරුලියනය කළහැකි දිනයකින් සමන්විත වෙනවා නම් ඒ ගැනත් මොහොතක් සිතා බැලුවොත් හොදයි. මක්නිසාද බොහොමයක් ව්‍යාජ ගිණුම් සදහා යොදාගනු ලබන දිනයන්ට මෙය ආවේණික ලක්ෂණයක් නිසා.

සමහරවිට ව්‍යාජ කාන්තා නමකින් පෙනී සිටිනා Profile එකක ඇයව දුරකථනයකින් සම්බන්ධ කරගත හැකි බව දැක්වෙන දුරකථන අංකයක් හෝ ලගාවිය හැකි ලිපිනයක් සදහන්ව තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සමාජශීලී නොවූ සංවර හිතක් ඇති, විනය ගරුක කාන්තාවක් තමා සම්බන්ධකර ගත හැකි ලිපිනයන් මෙසේ අන්තර්ජාලයට මුදා නොහරින බවට ඔබට විශ්වාසයි නේද?  එසේනම්, බොහෝවිට එයත් ව්‍යාජ ගිණුමක් වියහැකියි.

4.  ෆේස්බුක් ගිණුමට එකතුකරගෙන ඇති යහළු/යෙහෙළියන්ගේ ලැයිස්තුව පරික්ෂා කර බැලීම. 
ඔබ කෙදිනක හෝ ඔබගේ friends list එකේ යහළුවෙක් / යෙහෙළියක්  ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකුගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුව පරීක්ෂා කරබලා තිබේද? ඔහුට/ඇයට වැඩිපුරම  සිටිනුයේ විරුද්ධ ලිංගික මිතුරන් නම් (උදා. පිරිමි පුද්ගලයෙකුගේනම් friends list එකේ සිටිනුයේ කාන්තා යහළුවන් පමණක් නම්) දළ වශයෙන් අපට නිගමනයකට පැමිණිය හැකියි එකී Profile එක හසුරුවන්නේ හුදෙක් ඔහුගේ/ඇයගේ විනෝදාස්වාදය සදහා පමණක්ම බව.  

ඉහත කී කරුණු එකක් හෝ කිහිපයක් හෝ (Google මගින් ඔබට මෙයටත් වඩා සවිස්තර තොරතුරු සොයා ගත හැකියි.) එසේත් නැතිනම් දැනීමේ හැටියට සැකසහිත යැයි, අවිශ්වාස යැයි හැගෙන මනසට වේදනා ගෙනදෙන, යහළුවෙක් හෝ යෙහෙළියක් ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකු, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී ඔබට දක්නට ලැබේනම්, ඔහු හෝ ඇය ඔබගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට කාරුණික වන්න. එවිට ඔබට සතුටු වියහැකියි තවදුරටත් ඔබ කාගේවත් මෙවලමක් නොවන බවට.

අපගේ සිහිබුද්ධිය මෙහෙයවා කරන කියන දේ නිවැරදි ලෙසට භාවිතා කිරීම මගින්, දිනෙන් දින අපහමුවට එන දියුණු තාක්ෂණික මෙවලම් වල නිවැරදි භාවිතය ගැන නිරන්තර අවබෝධයක් ලබාගත හැකියි. එවිටයි අපට හැකිවන්නේ එයින් උපරිම ඵලප්‍රයෝජනයක් ලබාගැනීමට. එය අප සැමගේ යුතුකමක් මෙන්ම සමාජයීය වගකීමක් ද වේ. 

No comments:

Post a Comment