Pages

Thursday, December 19, 2013

පහතරට තෙත් කලාපයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනය | Kanneliya Forest Reserve

කන්නෙලිය මංපෙතට පිවිසෙන පිවිසුම් මාර්ගය
ආරම්භයේ හමුවන ප්‍රධාන නානතොටුපල සෑදී ඇත්තේ
කන්නෙලිය වනය තුලින් ගලන නන්නිකිත ඇලෙනි. 
අප දන්නා පරිදි ලංකාවට ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින්, අතිබහුතරයක්‌ම වාර්තා වන්නේ තෙත් කලාපයේ පිහිටි වැසි වනාන්තරවලින්. ජෛව විවිධත්වයෙන් අනූනවූ මෙකී ස්වභාවික වැසි වනාන්තර ගැන කතා කිරීමේදී, අපේ මතකයට නිරතුරුවම නැගෙන්නේ, මධ්‍යම කදුකරයේ නිරිත දිග පැත්තට වන්නට පිහිටා ඇති හේක්ටයාර එකලොස්දහස් දෙසිය පනහක පමණ භුමිභාගයකින් යුතු ජාතික වනෝද්‍යානයක් වූ සිංහරාජ වනාන්තරයයි. යුනෙස්කෝ සංවිධානය විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කොට ඇති සිංහරාජ වනාන්තරය හැරුණු කොට තවත් ඒහා සමානම ජෛව විවිධත්වයන්ගෙන්  අනුනවූ තෙත්බිම් සමුහයක් මේ සුන්දර ලංකාදීපයේ තිබේ. මේ සමුහය අතරින් කන්නෙලිය වන රක්ෂිතයට හිමිවන්නේත් සුවිශේෂී ස්ථානයක්. 
ලෑලිපාලම පසුකරමින් ඉදිරියට යනවිට දැකියහැකි
කළුගල් අතරින් ගලාබස්නා දැකුම්කළු අනගිමල ඇල්ල.  

දියඅල්ලේ අසිරිය විදීමෙන් පසු ප්‍රධාන මංපෙතට පිවිස
ටිකදුරක් යනවිට හමුවන යෝධ පුස්වැල
අක්කරයක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇතිබව පැවසේ.
මෙවන් සටහනකින් ලිපිය ආරම්භකිරීමට සිත්වූයේ ඔබ අප නොදන්නා සුන්දර වැසි වනාන්තරයක් වූ කන්නෙලිය ගැන කියන්නයි. ගෙවුණු මාසයේ එක් සොදුරු සැන්දෑවක සහෝදර නිලධාරීන් සමුහයත් සමගින් අපි රුහුණු පුරවරයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය ආසන්නයට ලගාවුනෙමු. ඒ අපගේ වාර්ෂික සුහද හමුව මෙවර කන්නෙලිය ආසන්නයේ පැවැත්වීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබුණු නිසා. සැබවින්ම මෙහිදී වනාන්තරයක සිරි නැරබීමට අවස්ථාවක් ලැබේයැයි අපි නොසිතුවෙමු. අපගේ මුලික අරමුණ වුයේ වාර්ෂිකව පැවැත්වෙන සුහද හමුවට සහභාගිවීම සදහා නවාතැන වූ කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් ගමනාන්තයට ලගාවීමයි. එසේවුවත්, සුහද හමුවට පසුවදා හෝරා කිහිපයක් කන්නෙලිය වන රක්ෂිතයේ ගතකිරීමේ අවස්ථාව අපට අහම්බෙන්  උදාවුනා.

ඔබත් පහතරට වැසි වනාන්තරයක සිරි නැරබීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අප විදි සුන්දරත්වය විදගැනීමට මේ තොරතුරු යම් පිටුවහලක් වේවි.

සුපිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි ගල්ගොඩකන්ද දොළ.
මෙවැනි කුඩාදිය පහරවල් රාශියක් එකතුවී සෑදෙන
නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ ගිංගගේ හා
වලවේ ගගේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශ බව පැවසේ.
  
කන්නෙලිය වනාන්තරය ගාල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා තිබේ. ගාල්ල නගරයේ සිට නම් කිලෝමීටර් හතලිහක පමණ දුරක්.

ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණලංකා අධ්වේගී මාර්ගයෙන් ගමන්කොට ගාල්ල දෙසට වන්නට පිහිටි බද්දේගම පිවිසුමෙන් පිටවී නාගොඩ මාර්ගය ඔස්සේ උඩුගම නගරය හරහා කන්නෙලියට අප ගමන්ගත් මාර්ගය, කන්නෙලියට නොගිය ඔබට වඩාත් පහසු මගවන්නට පිළිවන්.

සුහදශීලී, ලෙන්ගතුබවින්, උපරිම විනෝදාස්වාදයක් ලබාදුන්
සුහද හමුව පැවැත්වූ අපගේ සොදුරු නවාතැන වූ
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්හි බාහිර පෙනුම.
වන සංරක්ෂිතයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයට ලගාවූ අපි පළමුවෙන්ම ඒ අසල පිහිටා ඇති කවුළුවෙන් ප්‍රවේශපත්‍ර ලබාගතිමු. එහෙත් මගපෙන්වන්නකුගේ සහාය නොමැතිවනම් වනමංපෙත තුලට ඇතුළුවීමට නොහැකියි.  අපගේ පෙරගමන්කරු නොහොත් මගපෙන්වන්නා ලෙස අප එකතු කරගත්තේ ඒ ප්‍රදේශයේම තරුණයෙකු වූ නුවන් සංජීවයි. පළමුව අපි ඔහු හා දොඩමලු වීමු. ඔහුගේ විස්තරයට අනුව මේ ප්‍රදේශයට කන්නෙලිය යනුවෙන් නම ඇතිවී ඇති ආකාරය විනෝදජනකයි. පුරාතනයේ මේ ප්‍රදේශය පාලනය කල ගම්මුලාදෑනියෙකු සිට  තිබේ. තරුණ ලියක් ඔහු හා විරසකවීම හේතුවෙන්, මෙම ප්‍රදේශයට පැමිණ නිරාහාරව දින කිහිපයක් ගත කර තිබේ. පසුව මෙය දැනගත් ගම්මුලාදෑනී තෙම නිරාහාරව සිටි මෙකී ලිය මුණ ගැසී තමන් රැගෙන ආ ආහාර අනුභව කරන ලෙසටම පෙරැත්ත කර සිටිහෙයින්, මෙකී ප්‍රදේශය කන්නලිය ලෙසට මුලින් හැදින්වී පසුව ව්‍යවහාරයේදී කන්නලිය යන්න කන්නෙලිය බවට පත්වූ බවටයි අදහස.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර . 
වනය තුලට ඇතුළුවී පටුමාවත ඔස්සේ ටිකදුරක් ඇවිද යනවිට නෙත ගැටෙන වියන් ස්තරය දිවිතීයකව ඇති වූ තුරුලතා වලින් නිර්මාණය වුවක්. ප්‍රාථමිකව පිහිටා තිබු මුල් වනාන්තරය දැව ලබාගැනීම සදහා ප්‍රයෝජනයට ගෙන ඇති අතර, අපට අද දක්නට ලැබෙන්නේ පසු කාලීනව වර්ධනය වූ ද්විතීයක වැසි වනාන්තර පද්ධතියක්. එවකට තිබු  දැවැන්ත වෘක්ෂයන් කපාඇති බවට සාක්ෂි සනාථ කරමින් ඉවත්කළගත නොහැකිව පරසරයටම දිරාපත් වන විශාල කදන් විටෙක අපට දැකගත හැකියි. එමෙන්ම, එකල මහා පරිමාණයෙන් කපා හෙලන ලද දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග අදටත් දැකගත හැකියි. ඇටඹ, බදුල්ල, කැකුණ, කීන, මඩොල්, හොර, ගල්වෙරළු වැනි තෙත් කලාපයට පමණක් ආවේනික වූ ශාක, ඇවිදයන ගමන්ම අපගේ මගපෙන්වන්නා වූ නුවන් සවිස්තරාත්මකව පැහැදිලි කරදුන්නේ අතින් පෙන්වමින්.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර .
ආවේනික උස් ශාක විශේෂ ගණනාවකින් පැහැදිලිවම ඉහලට නෙරා ඇති නෙරු ස්‌තරයත්, එයට පහලින් සිසිලස ලබාදෙන වියන් ස්‌තරයත්, යටින්ම වර්ධනය වී ඇති වැල් වර්ග, මීවන ශාක හා පෙදපාසි විශේෂත් මේ වනාන්තරයේ බහුලයි. වෙනිවැල්, කොතලහිඹුටු, ඉරමුසු, රසකිඳ, කොකුම්,සත්සඳ වැනි ඖෂධීය පැළෑටි වර්ග බොහොමයක් මෙහිදී දැකගත හැකි බව පැවසුවත්, අප ගමන්කළේ වනය තුලින් වැටී මාවතක නොව ගල්දමා තාර ඇතිරූ මාවතේ පමණක්ම බැවින් එයට ආසන්නව බහුලව වැඩී ඇති වෙනිවැල් ඖෂධීය පැළෑටියනම් හොදින් නිරීක්ෂණය කෙළෙමු. 

සහෝදර විධායක නිලධාරීන්ගේ එකමුතුවෙන් පැවති
වාර්ෂික සුහද හමුව.
කන්නෙලිය වනයේ සැරිසැරූ අපට හමුවූ ස්ථාන අතරින් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට නිමවා ඇති විඩානිවාගත හැකි ගිමන්හල්, ස්වභාවිකව නිර්මාණයවී පිහිටා ඇති උමන් මාර්ගය, ගල්ගොඩකන්ද  දොළ, ස්වභාවික දැව වලින් පමණක්ම නිමවා ඇති දැවමය ලෑලි පාලම, සුන්දර අනගිමල ඇල්ල හා යෝධ පුස්වැල සුවිශේෂී වේ.

බද්දේගම පිටවුමෙන් පිටවී
නාගොඩ දෙසට හැරෙන මාවත අභියස .. අපේ කස්ටිය ..... 
සුන්දර හෝරා කිහිපයක් සිහිල් වනපියසෙක ගත කිරීමේ අවස්ථාව ලද අපි අපගේ චාරිකාව නිමකොට නැවතත් ගමනාරම්භ කල ස්ථානය කරා නැවත ලගාවීමු. පිවිසුම් මාර්ගය අසල පිහිටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ තොරතුරු වල හා දැන්වීම් පුවරුවේ සදහන් පරිදි, 1934 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර පසුව, එනම් 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබේ. යුනෙස්කෝ ආයතනය විසින් මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වර්ෂයේදී කන්නෙලිය වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට සෞන්දර්ය නැරඹීම සහ වන විද්‍යා පර්යේෂණ සිදුකිරිම සඳහා පමණක්ම වෙන්කර තිබේ.

අපේ කස්ටිය .....
බද්දේගම අධිවේගී මාර්ග පිටවුම  නාගොඩ හන්දිය අසලදී  ...
පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරයක ස්වභාව සෞන්දර්ය නැරඹීමට හා ඉන් වින්දනයක් ලබාගැනීමට කැමති ඔබට කන්නෙලිය වනාන්තරය ඉතාමත් සුදුසු ස්ථානයක් වනවා නොඅනුමානයි. මෙවන් සුන්දර පරිසර සුරැකීමසුන්දරත්වයට ලැදි ඔබ අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින්, පියසටහන් පමණක් ඉතිරි කොට මතකය පමණක් රැගෙන අපි අපගේ නවාතැනට ලගාවීමු.

අපේ කස්ටිය .....
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්  ඉදිරිපිට ..
අතොරක් නැතිව නැගුනු මැඩියන්ගේ නදින් හා සියොතුන්ගේ සුමියුරු නදින් මත්වුනු නන්නිකිත දොළේ දියපහර අසල පරිසරය විදිමින්, විනෝදයෙන් ගතකල මොහොතක දියනෑම පසෙකලා අවට සංචාරය කිරීමේ අදහස ක්‍රියාවට නංවමින් අප හා එක්වුණු ජයන්ත ප්‍රියරත්න මහතාටත්, ප්‍රවේශපත්‍ර මිලදී ගනිමින් මුල්‍ය පරිත්‍යාගය සිදුකල කිත්සිරි මුහන්දිරම් මහතාටත්, වනය තුල  සංචාරයේදී අපට මගපෙන්වමින් අත්දැකීම් බහුල දැනුමින් අපව පෝෂණය කරමින් කන්නෙලිය රක්ෂිතය තම ජීවය කරගත් නුවන් සංජීව සොහොයුරාටත්, ඒකාකාරීතත්වය බිදලමින් ස්වභාව සෞන්දර්යයෙන් මත්කොට සොදුරු නවාතැනක සුහද හමුව පැවැත්වීමට අදහස් කල විධායක නිලධාරීන්ගේ සංගමයටත් මෙහිදී සැබැවින්ම ස්තුතිවන්ත වෙමු.










1 comment:

  1. ekala maha parimana dawa jawarama nathara une kohomada kiyala umbe maga penwana eka kiwwe nadda

    ReplyDelete