අතීත කලාකරුවන්ගේ නිර්මාණාත්මක කැඩපත විදහා දක්වන ගඩලාදෙණිය රජමහා විහාරයෙන් සමුගත් අපගේ මීලග අදහස ගම්පොළ රාජධානි යුගයේදී ගොඩනගන ලද ගෘහ නිර්මාණ ශිල්පයෙන් හා අලංකාර ලක්ෂණයන්ගෙන් අගතැන්පත් අනිත් විහාරයවූ ලංකාතිලකය නැරඹීමයි. සුන්දර වටපිටාවකින් හෙබි ලංකාතිලක විහාරය පිහිටා ඇත්තේ උඩුනුවර හියරාපිටිය නම්වූ ග්‍රාමයකයි.
කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ.
ගම්පොළ යුගයට අයත් යැයි සැළකෙන මෙම විහාරස්ථානය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරවන ලද්දකී. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූපොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත. ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණදී එය සංඝයාවහන්සේට පූජා කරන ලදී.
මෙම විහාරස්ථානයේ නැගෙනහිර පසටවන්නට බුද්ධප්‍රතිමා සහිත පිළිම ගෙය පිහිටා ඇති අතර, බටහිරට වන්නට දේවාලය පිහිටුවා තිබේ. ගල්තලාව පාමුල විහාරගෙය පැත්තට වන්නට සංඝාවාස ආදි ගොඩනැගිලි පිහිටා ඇත. මෙයට අමතරව වෙහෙර, බෝධිය, බණමඩුව හා දෙවියන්ට ආහාර පිසීමට පැවති මුලුතැන්ගෙයි ගොඩනැගිලිද විහාරභූමියේ පිහිටා තිබේ.
බුද්ධප්‍රතිමා වහන්සේ |
බුද්ධප්‍රතිමා සහිත ප්‍රධාන විහාරගෙය හා යාබදව පිහිටා ඇති දේවාලය |
ප්‍රධාන විහාරගෙයට යාබදව පිහිටා ඇති වෙහෙර, බෝධීන් වහන්සේ හා දේවාලය |