Pages

Thursday, December 6, 2012

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I

නුතන සිංහල ජන සංගීතයේ මුලාරම්භය සේ සැලකිය හැකි ජන කවි ඈත අතීතයේ පටන්ම සිංහල ජනයා අතර ප්‍රචලිත වෙමින් පාරම්පරිකව පැවතගෙන එන්නකි. මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ ජන කවි සදහා පැහැදිලි නිර්මාණකරුවෙකු නොමැති වීමත්, එයටම ආවේණික වූ රිද්මයක් පැවතීමත්ය. එදා එකිනෙකා තමතමනට උරුම වූ රැකියාවල නිරත වෙද්දී අත්විදීමට සිදුවුණු කටුක අත්දැකීම්, සෙනෙහෙබර හැගුම් අව්‍යාජව, නිර්භයව ප්‍රකාශ වූ මාධ්‍යයක් ලෙස සිංහල ජනකවිය අර්ථ දැක්විය හැකිය.

එවන් වූ අතීතයක් හිමි අපේ ජනකවි අතර පතල් කවි වලට හිමිවන්නේත් සුවිශේෂී  ස්ථානයක්. එදා මිනිරන් ඉල්ලමක් සොයා ජීවත්වන්නට මහපොළවත් සමග කටුක සටනක යෙදුනු පතල්කරුවා ස්වකීය ජීවන වෘත්තියේ තමන් අත්විදි පාලුව, තනිකම, කටුකබව හා බිය දුරුකර ගැනීම උදෙසා ගැයූ කවි අතීතයේ පටන් පතල්කරුවන් අතර කටින්කට ප්‍රචලිත වෙමින්, පැවත එමින් පතල් කවි ලෙසින් ප්‍රසිද්ධ විය. 

මතුපිටදී මෙන් හුස්ම ගැනීමට පහසු නොවූ, අඳුරු, උණුසුම් වතාශ්‍රයෙන් පිරි, යන්තම් හිස වදින නොවදින ප‍්‍රමාණයට කපා ගෙන ඇති ගල් දෝනාවක් දිගේ මිනිරන් කඩමින්, පොළොව මතුපිට සිට බඹ ගණනාවක් ගැඹුරු ඉසව්වක රැකියාවක් කරද්දී ඇතිවන දුක්බර හැගීම් පහත පතල් කවි තුළින් අපට මනාව පිළිබිඹු වේ.

දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ


පතලක සේවය කරන කම්කරුවෙක්
 (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට


වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
දබරෙ උඩින් දම්වැල වාසනාවන්
දුප්පත් අපට පතලේ වාසනාවන්

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
ඈත හිටන් කටහඬ පානුය අම්මේ

මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැගෙන
මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා


පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත කියවන්න මෙතැනින් ....


Saturday, November 24, 2012

හවසට හා රෑට පිපෙන මල්

ඇට්ටේරියා



මෙය රාත්‍රියට පිපෙන සුවදවත් මලකි. පදුරක් හෝ කුඩා ප්‍රමානයේ ගසක් ලෙස වැඩෙන ඇට්ටේරියා ශාකය ඔරේන්ජ් ජැස්මින් (Orange Jessamine) නමින් ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා (Murraya paniculata) මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි. ශාකයේ පත්‍ර හැඩයෙන් ඉලිප්සාකාර ස්වරූපයක් ගන්නා තද කොළ පැහැති කුඩා තනි පත්‍ර වන අතර, එය මතුපිට දිලිසෙන සුලුය. සුදු පැහැ පෙති පහකින් යුතු ඇට්ටේරියා මල් පොකුරක් ලෙස පිපේ. රාති‍්‍රයට පිපෙන මල් පසුදා සවස් වන තුරුම ප්‍රාණවත්ව, දසතම සුවඳ පතුරුවයි. මල් පිපෙන නියමිත කාලයක් නොමැති අතර, වැඩුනු ශාකයක මල් අවුරුද්ද පුරාවට පිපී තිබෙනු දැකිය හැකියි. දේශීය ශාකයක් වන ඇට්ටේරියා ශාකය පහතරට තෙත් කලාපයේ සුලභව දැකිය හැකිය.

හෙන්දිරික්කා



මෙය හවස හතරට පමණ පිපෙන මලකි. සුදු, කහ, රෝස, රතු, ලා දම්, තද දම්, තැබිලි හා පාට දෙකකින් මිශ්‍රිත තිත් වැටුනු ප්‍රභේද මෙහි දැක ගත හැකිය. වසර පුරාම මල් හටගනී. මල ගහට සම්බන්ධ වන්නේ දිගටි බටයක් වැනි කොටසකිනි. මල පුනීලාකාර හැඩයකින් යුතුය. ඉක්මනින් වැඩී මල් හටගන්නා මෙම ශාකයේ මල් ඉතා සෞම්ය සුවදකින් යුක්තය.

කුඩා පදුරු වශයෙන් වැඩෙන හෙන්දිරික්කා ශාකය බොහෝ රටවල් වල ෆොර් අ ක්ලොක් ෆ්ලවර්  (four o'clock flower) නමින් හැඳින්වේ. එයට හේතුව සේපාලිකා මල් සවස හතරට පමණ පිපී පසුවදා උදේ වන විටම පරවීයන නිසයි. මිරාබිලිස් ජලපා (Mirabilis jalapa) යනු මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි. 

සේපාලිකා



සුදු පැහැති පෙති හයකින් යුතු සේපාලිකා මලේ මැද තද තැබිලි පැහැති වන අතර, ගහට සම්බන්ද වන කෙටි නාලාකාර කොටසද තැබිලි පැහැයෙන් යුක්තය. සියලුම පිපුනු මල් පසුදා උදෑසනම නටුවෙන් ගිලිහී යයි.

මීටර් 10 ක් පමණ උසට පදුරක් ලෙසින් වැඩෙන සේපාලිකා ශාකය නයිට් ෆ්ලවරින්ග් ජස්මින් (Night-flowering Jasmine) නමින් ඉංග්‍රීසියෙන් හදුන්වනු ලබයි. විද්‍යාත්මක වර්ගීකරණයේදී සේපාලිකා ශාකය (Nyctanthes arbor-tristis) නමින් හැදින්වේ. මෙම ශාකයේ හටගන්නා මල් බෙහෙවින්ම සුවදවත් වන අතර, ඒවා පැළෑටියේ අතු අග, කෙළවර පොකුරක් ස්වරූපයෙන් දිස්වේ. එවන් එක් මල් කිනිත්තක පිපුනු සේපාලිකා මල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් දැකිය හැකිය. රාත්‍රියේ සුවද විහිදුවමින් සුපිපි සේපාලිකා මල් හිමිදිරියේම නටුවෙන් ගිලිහී බිමට වැටුනු පසුත් සුවද නොනැසී එලෙසින්ම පවතින අතර, එය හොදින් වැඩුණු ගසක නම් ගස මුල, බිම ඇතිරූ සුදු පැහැ පලසක් මෙන් දැකිය හැකිය. 

ඒ විතරක් නෙමේ සේපාලිකා මල කෙතරම් තරුණ හදවත් වලට ලෙන්ගතුද කියනවානම් මේ පිලිබද ලියවුනු කවි, ගී සංකල්පනා නැතුවාද නොවේ. පොතපත ඇසුරින් සැකසුණු මේ ලිපිය අවසානයේ, ඔබ ආසනම් මම කැමතියි එවන් ගීයක් ඔබේ මතකයට නංවන්නට. ඒ ජයසිරි අමරසේකර ශූරීන්ගේ සේපාලිකා මල ගැන ගැයුනු ගීතය. ඔබම අසා බලන්න.

සේපාලිකා මලයි - සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි - ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා - දෙව් දුවක ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ - සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි - ඒත් ඔබ නිසා...

මල් පිපෙන තුරු ලතා - මද සුළගේ නැවතුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ  - මට මතක් උනා
ඇසි පිය හෙලන්න මොහොතක්වත්  - මතක නැති වුනා..







Sunday, November 18, 2012

ලැප්ටොප් පරිගනකයක් මිළදී ගැනීමට පෙර සළකා බැලිය යුතු සරලම කාරණා හතරක්

ඔබගේ මිතුරෙකුට, පවුලේ සහෝදරියකට, එහෙමත් නැතිනම් රැකියාව කරන තැන මිතුරෙකුට Laptop පරිගනකයක් මිළදී ගන්න හිතාගෙන, මොකද්ද මම ගන්න ඕන? මම මොනවද කරන්න ඕන? නැත්නම් ලැප්ටොප් එකක් වෙනුවට ටැබ්ලට් එකක් ගත්තොත් හොදද? කියලා ප්‍රශ්න වැලක් දැම්මොත් ඒවාට පිළිතුරු සැපයීම එතරම් පහසු වෙන්නැහැ.  අවසානයේ ඔහු හෝ ඇය ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමටම තීරණය කලොත්,  සිතා බැලිය යුතු, හැමෝම හිතන්නැති සරළම කාරණා කිහිපයක් මෙන්න.

ඔබ මිළදී ගැනීමට බලාපොරොත්තු වන්නේ Laptop පරිගනකයක් නම්, එහි;

1) අවම වශයෙන් 4 GB RAM එකක් වත් තිබිය යුතු වීම

2) ඔබට දැරිය හැකිනම් පද්ධතියේ Hard Disk එක SSD ජාතියේ එකක් වීම
Solid-State-Drive එකක චලනය වන කොටස් නොමැති නිසා උපරීම දත්ත ප්‍රවේශන වේගය, අවම තාප උත්පාදනය, අවම විදුලිය භාවිතය හා සසදද්දි වියදම් කළ මුදල ඔබට පාඩුවක් නෙවෙයි කියලා තේරේවි.

3) පරිගනකයේ Processor හි ජාතිය හා වේගය
ඔබගේ බලාපොරොත්තුව heavy duty video editing හෝ පරිගනක ක්‍රීඩා භාවිතය නම් නවතම ක්‍රියාකාරී, වේගයෙන් වැඩි processor යක් ගැන සළකා බැලුවොත් හොදයි.

4) මිළදී ගැනීමට යන Laptop පරිගනකය, මිළදී ගැනීමට පෙර ඔබ විසින්ම පරීක්ෂා කර බැලීම
මෙමගින් ඔබ බලාපොරොත්තු වූ සියලුම උපාංගයන්ගෙන් ඔබගේ Laptop පරිගනකය  සමන්විතද යන්න සහ බාහිරින් සිදුවී ඇති යම් සීරීමක් හෝ වෙත්ද, එය එකී මොහෙතේදීම පරීක්ෂා කරගෙන, හොදම පරිගනකයක් මිළදී ගැනීමට ත් හැකියාව ලැබේ.