Pages

Friday, January 1, 2016

අපි ගිය අම්බුළුවාව ..

නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන මධ්‍යයේ පිහිටි වී බිස්සක හැඩය ගන්නා
ස්වේත වර්ණ ස්ථුපය, සර්පිලාකාර පඩි පෙළකින් සමන්විතයි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගත් ආකර්ශනීය කදු ශිකරයක පිහිටා ඇති අම්බුළුවාව, ගම්පොළ නගරයට පැමිණෙන ලොකු කුඩා සැමගේ සිත්සතන්වල  සන්ධිස්ථානීය සලකුනක් සටහන් කෙරේ. මහනුවර දළදා මාළිගාව, ගාල්ල පෞරාණික බලකොටුව, නොඑසේනම් කටුනායක ගුවන්තොටුපල වැනි එකී ප්‍රදේශයනට පමණක් නාමික වූ සන්ධිස්ථානයක් වේ නම්, ඒ හා සමානවම ගම්පොළ නගරයට එය අම්බුළුවාව වේ. ගම්පොළ නගරයේ තැනින් තැන ගමන්ගනිද්දීත්, අවට ගම්මාන වලට දිවෙන මංමාවතක සැරිසරද්දීත් පැහැදිලිව දර්ශනය වන අම්බුළුවාව ශිකරය දිනපතා දකින ගම්පොළවාසී පදිංචිකරුවන්ට නොදැනෙන තරමටම තමන්ගේ දෛනික ජීවිතයේ එක් සංකේතාත්මක කොටසක් වුවත් අපට නම් දුටුපමණින් මෙය ආකර්ෂණීය නිර්මාණයක්. 

අම්බුළුවාව ජීව විවිධත්වයෙන් සපිරි සංකීර්ණයක්  මෙන්ම
සර්ව ආගමික මධ්‍යස්ථානයක් ද වේ.  
ඈතින් පෙනෙන ගම්පොළ නගරය සහ අවට පෙදෙස
හරිත පැහැයෙන් දිදුලන දර්ශනය චමත්කාරජනක වේ.
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ගම්පොළ නගරය ඉතාම කෙටි කලක් රට පාලනය කල සිව්වන බුවනෙකබාහු රජතුමා විසින් ප්‍රථම වරට අගනුවර කරගන්නා ලද බව ඉතිහාසයේ සදහන්. පසුව වසර ගණනාවක් රටේ රාජධානිය ලෙසට ගම්පොළ අගනුවර කරගත්තේ ගම්පොළ රාජධානියේ අවසන් රජු බව සැලකෙන පස්වන බුවනෙකබාහු රජතුමායි. සතුරු ආක්‍රමණයන් හේතුවෙන් පසුකාලීනව කන්ද උඩරටට රාජධානින් සංක්‍රමණය වීම හේතු කොට ගෙන ක්‍රමයෙන් ගම්පොළ නගරය පරිහානියට පත්වුවත්, වර්තමානයේ එයට හිමිවී තිබෙන්නේ එතිහාසික සුවිශේෂී බවක්. කාපට් ඇතිරූ මංමාවත්, යටිතල පහසුකම් වලින් සපිරි නගරයත්, මැදින් දිවෙන මහවැලි නදී තීරයත්, උඩරට මැණිකේ දුම්රිය ගමන් මාර්ගයත්, පාරිසරික විවිධත්වයත් හා සමාජ සම්මිශ්‍රනයත් නිසා අද ගම්පොළ නගරය මනා ලෙස විචිත්‍රවත් වී තිබේ.

සුපැහැදිලි කාලගුණයකින් හෙබි විවේකී සති අන්තයක, මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැදපුදාගත් අප ගම්පොළ, දොළොස්බාගේ නගරය හරහා තුන්බාගේ, බුලත්කොහුපිටිය වෙත ගමන් කිරීමට අදහස් කල බැවින් ගම්පොළ නගරය හරහා ගමන් කිරීම අත්‍යාවශය වූ සාධකයක් වුණා. ගම්පොළ නගරය පසු කරගෙන යමින් සිටි අප නෙත් එක්වරම ගැටුනේ ඈතින් විරාජමානව දර්ශනය වන අම්බුළුවාව ස්තුපයයි. ඉතින් කෙසේ නම් මෙම සුන්දර ස්ථානය මගහැර යම් ද? 

උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර,
බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථාන
මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ 
නිරතුරු වන්දනාමානයට පාත්‍රවේ. 
අප මෙන්ම සංචාරයට කැමති ඔබටත් අම්බුළුවාව කන්දට ළඟාවිය හැකි ආකාර කිහිපයක් තිබේ. කොළඹ - මහනුවර මාර්ගයෙන් නම් මාවනැල්ලෙන් හෙම්මාතගමට පැමිණ හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගිය විට මෙම කන්දට ප‍්‍රවේශ වන ප්‍රධාන මාර්ගය හමුවේ. දුම්රියෙන් පැමිණයොත් දුම්රියපල මාර්ගෙයන් පිවිස නිදහස් මාවත ඔස්සේ ගමන් කිරීමෙන් හෝ නගර මාධ්‍යයෙන් ගමන් කිරීමෙන් වුවද ලගාවිය හැකියි. සුන්දර අම්බුළුවාව කදු ශිකරය දක්වාම වාහනයකින් ගමන් කල හැකි අතර, මේ සදහා ප්‍රධාන පිවිසුම් දොරටුවේදී අවසර පතක් ලබා ගතයුතුයි. 

උයනේ පිහිටි හින්දු කෝවිල
ක්‍රමයෙන් ආනත වූ මාර්ගයක් ඔස්සේ ඉහලට ගමන් ගනිද්දී අවට ප්‍රදේශය පුරා පවත්නා හරිත පැහැ තුරුගොමු කර්කශ නගරයේ සැරිසැරූ අපගේ විඩාබර දෙනෙත් ක්‍ෂණයකින් සන්සිදුවනවා. සැබැවින්ම ගත දවටා හමන වේගවත් සිසිල් සුළං ධාරා ඔස්සේ සිත පුබුදුවාලමින් අප මේ ගමන්ගන්නේ ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් තුලටයි. ගමනාන්තය වූ කදු මුදුනට ලගාවත්ම පරිශ්‍රය ඉදිරිපිට පිහිටුවා ඇති දැන්වීම් ඵලකය, මෙම ස්ථානය ජෛව විවිධත්ව සංකීර්ණ හා සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් හදුන්වාදී තිබේ. සර්ව ආගමික මධ්‍යස්ථානයක් බවට සාක්ෂි දනවමින් එය සනිටුහන් වන ප්‍රවිෂ්ට දොරටුව අභියස සතර ආගම් වල ආගමික සංකේතයන් ද පිහිටුවා තිබේ. 

ඇතුළුවූ විට නිර්මාණය කර ඇති විවුර්ත ශ්‍රවනාගාරක්, ශ්‍රවනාගාරය තුලින් අහස උසට විහිදෙන ස්තුපයත්, ඊට ප්‍රතිවිරුද්ධ උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර, බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථානත් අපට දකින්නට පුළුවන්. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක අංකුරයක් මගින් රෝපණය කරන ලද්දේයයි සැලකෙන හරිත පැහැයෙන් දිදුලන අභිමානවත් බෝධීන් වහන්සේත් යාබදව පිහිටි බුද්ධ මන්දිරයත් වන්දනාමාන කරගැනීම මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ සුලභ දසුනක්.

ඈතින් සුන්දරව ගලා බස්නා මහවැලි ගංගාව, අවිවේකී ගම්පොළ නගරය හා අවට විරාජමානව පිහිටා තිබෙන්නා වූ කදු වළල්ල මොහොතකට සිත සමාධි ගතව, සුන්දරව නිදහසේ නැරබිය හැකි නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළවරක පිහිටා තිබේ.

නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන, මධ්‍යයේ පිහිටි වීබිස්සක හැඩය ගන්නා ස්වේත වර්ණ ස්තුපය, සර්පිලාකාර පඩි පෙලකින් සමන්විතයි. සර්පිලාකාරාව පිහිටා ඇති පඩි පෙළ ආරම්භයේ සිටම ක්‍රමයෙන් විහිදෙන අතර, එය ස්තුපය වටා ඉහලට නිමවා තිබෙන්නේ අවට සුන්දරත්වය පිරික්සමින් ගමන් කිරීමටයි. මේ සදහා ඉඩකඩ සලසමින් එක්එක් මට්ටම් වලදී ඉදිරියට නෙරා ගිය මෙන්ම ඇතුලට වන්නට පිහිටි කුටියක හැඩය ගන්නා කුඩා නැරබීම් කවුළු වලින් සමන්විතයි.

පසෙකින් විරාජමානව පිහිටා තිබෙන්නාවූ කදු වළල්ල
මොහොතකට සිත සමාධිගතව සුන්දරව නිදහසේ නැරබිය හැකි
නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළෙවරක පිහිටා තිබේ. 
අපේ කණ්ඩායමත් අවට සිරි නරබමින් ඉහලට නැගගත් අතර, මැදට වන්නට පිහිටි නැරබුම් කුටිය විඩා නිවන ස්ථානයක් බවට පත්කර ගත්තා. මෙම ස්ථානය බොහෝ සංචාරකයන් විදාහරින ස්ථානයක් බැවින් ඉඩකඩ සරිලන පරිදි නිමවා තිබීම විශේෂත්වයක්. අවට කදු, මංමාවත් සියල්ල මෙහිදී පැහැදිලිව නැරබිය හැකි අතර, කාලගුණය හිතකර පැහැදිලි දිනකදීනම් එක් අන්තයකින් කොලබ වරාය දක්වා ම නැරබිය හැකි බව පැවසෙනවා. සැබැවින්ම මෙම ස්ථානයේ සිට අවට බලද්දී පසෙකින් සුන්දරව ගලා බස්නා මහවැලි ගග, විටෙක හූ හඩ නංවමින් ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය, සිතට අමතක නොවන දර්ශනයන් වේ.   

සර්පිලාකාර පඩි පෙළ දිගේ ක්‍රමයෙන් ඉහලට නගිද්දී මා සමග සිටි බොහෝ දෙනෙක්ගේ සිත් සලිත වී ඇති හෙයින්දෝ මගේ සිතත් ඉන් ඔබ්බට යාමට සිත් නොදිනි. අවාසනාවකට ස්තුපයේ ඉහලම තැනට ලගාවීමට මා වාසනාවන්ත නොවුනත්, මා දුටු ආශ්චර්යමත් දර්ශනය මා ක්ලාන්ත නොකල බව නම් පුදුමය. සැබැවින්ම ස්වභාවධර්මයේ සුන්දරත්වයට ලැදි අප සිත් පිරී තිබුනේ සුන්දරත්වය අත්විදීමම බැවින් සුන්දරත්වයෙන් සපිරි මෙකී භූමියට සමුදී සියළු  සුන්දර දේ සිත්හි රදවා ගනිමින් නැවතත් අපි අපගේ ගමනාන්තය බලා ගමන් කිරීම ආරම්භ කළෙමු. 


අම්බුළුවාව ගැන විචිත්‍රවත් වූ මෙම වීඩියෝව
යුටියුබ් ජාලයේ Go Places Sri Lanka චැනලයෙන් උපුටා ගත්තකි.



Thursday, September 24, 2015

රාගෙදර මිනිරන් පතල

මිනිරන් කන්ද පාමුල ගම            රාගෙදර
එමරන් ගෙනියන්ඩ කැපුවේ         මහපාර
වතුරෙන් සැප හොදයි කුබුකේ ලිදේ වතුර
ගණරන් රුවයි මිනිරන් කද         රාගෙදර

මේ මැල්සිරිපුර ප්‍රදේශයට අනන්‍ය වූ එකම මිනිරන් පතල වශයෙන් හැදින්වෙන රාගෙදර මිනිරන් පතල සම්බන්ධයෙන් නිර්මාණය වුණු අදටත් ජනතාව අතර ප්‍රකට පතල් කවියකි. මිනිරන් නිෂ්පාදන කටයුතු සාර්ථකව කෙරුණු අතීතයේ පතල්කරුවන් විසින් ගැයුණු මෙවැනි පතල් කවි අදටත් මැල්සිරිපුර ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇති.  රාගෙදර මිනිරන් පතල සහිත භූමි ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මැල්සිරිපුර නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකිනි. ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ සිට ගතහොත් වාහනයකින් පැමිණෙන්නේ නම් මෙයට ලගාවීමට ගතවන්නේ පැය තුනක පමණ ගමන් කාලයකි. 

ශ්‍රී ලංකාවේ මිනිරන් වලට සුප්‍රසිද්ධ දොඩන්ගස්ලන්ද සහ මදුරාගොඩ මිනිරන් පතල් ආශ්‍රිතව මෙම මිනිරන් පතල පිහිටා තිබෙන නිසා, පොලොව අභ්‍යන්තරයෙන් දිවෙන මිනිරන් ඉල්ලම් මැල්සිරිපුර දක්වාම විහිදී තිබෙන බවට රාගෙදර පතල කදිම නිදසුනක්. කෙටියෙන්ම කිවහොත් දැනට රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන පතලක් වන කහටගහ පතලේ සිට දල වශයෙන් මෙකී රාගෙදර පතලට ඇත්තේ කිලෝමීටර් 8 ක පමණ දුර ප්‍රමාණයකි. 

දහනව වන සියවස මුල් භාගයේදී ගොඩ පතල්වලින් මිනිරන් ලබා ගත්තද, ශ්‍රී ලාංකීය ඉල්ලම් මිනිරන් සදහා පැවති අධික ඉල්ලුම හේතුකොට ගෙන ගැබුරු පතල් කැණීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. ඒ අනුව මදුරාගොඩ, දොඩම්ගස්ලන්ද සහ රාගෙදර පතල් වල මිහිතුල ගැබුරට පතල් කැණීමට කොතලාවල සහ මැල් මහත්වරු එකල පෙලබී ඇත. ඔවුන්ගේ ඒ නිර්භය මුල්වීම නිසා ඇරබි මෙම පතල් සමුහය අදටද ක්‍රියාත්මකව පවතී. 

නිර්ණය කරන ලද "කාබන් 99" සහිත ලොව ඉහලම ප්‍රමිතියෙන් යුත් මිනිරන් මෙම පතල්වලින් ලැබුනද ඒවායෙහි අගය, වටිනාකම දන්නේ අප නොව ඒවා මිලදී ගන්නා විදේශීකයන්ය. මේවායින් අප දන්නා පරිදි පැන්සල් නිෂ්පාදනය සදහා පමණක් නොව අභ්‍යවකාශ යානයේ සිට වර්තමානයේ බහුලව භාවිතයට ගැනෙනා එක්ස්රේ පිටපත් සදහා ද, එසේම ජංගම දුරකථන, පරිගණක තිර නිර්මාණය සදහා ද මෙම මිනිරන් විශේෂ යොදා ගන්නා බව පැවසේ. ඒ අනුව අප රටේ සම්පතක් වන මේ මිනිරන් වල අගය මොනවට දැයි මනාව පැහැදිලි වේ. 

කුමන හේතුවක් මත හෝ 1960 පමණ කාලයේදී වැසී ගිය රාගෙදර පතල 1975 වසරේදී එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජය විසින් ඉඩම් පවරා ගැනීමේදී රජයට පවරාගනු ලැබ තිබේ. ඉන්පසුව රජයේ මැදිහත්වීමෙන් විවිධ ව්‍යවසායකයන් හරහා මෙම කර්මාන්තය නගා සිටුවීමට උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවීය. රාගෙදර පතල ආරම්භයේ සිට එනම් 1974 සිට 1985 දක්වා වූ කාලය තුලදී මෙම පතල තුල සඵල වාර්ෂික මිනිරන් නිෂ්පාදනය වසරකට ටොන් 18000 ක් පමණ වූ බවද පැවසේ. කෙසේ නමුත් 2010 වසරේදී පමණ විදේශීය සමාගමක් සමග ඒකාබද්ධ ශ්‍රීලාංකීය සමාගමක් සිය නවීන තාක්ෂණයද සමගින් සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක කොට මෙහි මිනිරන් නිෂ්පාදනය යලි ඇරබීමට සමත් වී ඇති බවට ප්‍රකටයි.

රාගෙදර පතල හේතුවෙන් මැල්සිරිපුර ජන ජීවිතය ආලෝකමත් වී ඇතැයි කිවහොත් නිවැරදිය. උදාහරණයක් ලෙස ගතහොත් රාගෙදර පතල අතීතයේ දී ආරම්භ කිරීමෙන් පසුව එම පතලේ නිෂ්පාදන ප්‍රවාහනය සදහා පත්ලෙන් ඉවත ලන ලද කළුගල් යොදා ඉදිකළ ශක්තිමත් පාරවල් අදට ද ප්‍රදේශයේ ජනතාවට සේවයක් සලසමින් සුන්දර අතීතයක මතකයක් නැවුම් කරවයි. 


රාගෙදර මිනිරන් පතලේ ක්‍රියාකාරිත්වය දැක්වෙන මෙම වීඩියෝව YouTube ජාලයෙනි.


පසු සටහන:
ඉරිදා ලංකාදීප පුවත්පතේ පුෂ්පකුමාර ජයරත්න නම් ලේඛකයා විසින් ලියා පලකරන ලද විශේෂාංගමය ලිපියක් ඇසුරින් සකස් කරන ලද්දකි.

Friday, April 24, 2015

හෙළ සිරිතට විනෝදය එක්කරන

බක් මහේ ජනක්‍රීඩා 

ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන් දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී සිදුකෙරේ.   

පංච දැමීම - මුහුදු බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල් කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන් සහභාගි වන අතර, දෙපිලකට බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.  

ඔළිද කෙළිය - ගැමි කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද කෙළිය" නමින් ප්‍රසිද්ධයි. 

වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින් ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය.  ඉලක්කය හරි ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.  

කැට ගැසීම - කැටගැසීමේ ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක් යොදා ගැනේ. බිත්තියකට හෝ යම් අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.

චක්ගුඩු පැනීම
රබන් ගැසීම 

බනිස් කෑමේ තරගය - දෙකෙළවර රිටි දෙකක බදින ලද ලණුවක සමාන දුරින් බනිස් ගෙඩි කිහිපයක් එල්ලා තබනු ලබයි. තරගකරුවන්ගේ දෙඅත් ගැට ගසන අතරතරගකරුවන් යම් දුරක සිට දිවගොස් කිසිවකුගේ කිසිදු උපකාරයක් නොමැතිවඅන්අය අභිබවා තමා තෝරාගත් බනිසයක් පළමුවෙන්ම කා අවසන් කිරීම ජයග්‍රාහකයා වීමට සුදුසුකමකි. බොහෝවිට මෙහිදී තරගකරුවන් යොදා ගැනීමේදී වයස් සීමාවන් සැලකිල්ලට ගනු ලබයි.

කොට්ට පොර ගැසීම - කොට්ට පොරයට බිම සිට අඩි හයක් පමණ උසකින් හරස් පොල්ලක් බැද ගනී. එය "දණ්ඩියම" ලෙසින් හැදින්වෙන අතර මේ සදහා සවිමත් පුවක් ගසක් භාවිතයට ගැනීම පාරම්පරික සිරිතකි. තරගකරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා දණ්ඩියම මත කකුල් පහලට දමා ඉදගන්නේ අත දිගු කර පහර දිය හැකි තරම් සමීපවයි. පහර දෙන්නේ පුළුන් පිරවූ කොට්ටයකිනි. ඒ සදහා තරගකරුවන් තමන්ට හුරු අත භාවිතා කල හැකි අතරඅනෙක් අත පිටුපසට කර බැද ගතයුතු වෙයි. ඒ අතින් ඇල්ලීම තහංචිය. ප්‍රතිවාදියා මුහුණට පමණක් පහර දිය යුතු අතරඑසේ මුහුණට පහර දෙන විට සිරුරත් මනසත් සමබරව තබාගත හැකි නම් ජයග්‍රාහකයාට දණ්ඩියම මත නොවැටී සිටිය හැකිය. හෙළයේ මහා මංගල්‍යය යෙදෙන බක් මහේ සිදුකෙරෙන තවත් එක් පාරම්පරික ජන ක්‍රීඩාවක් වූ කොට්ට පොර ගැසීම අංගම්පොර සටන් කලාවෙන් දායාදය වුනු ජන ක්‍රීඩාවක් ලෙස සැලකේ.

කණා ඇල්ලීම - මේ ක්‍රීඩාව සදහා බොහෝ විට ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් දෙගොල්ලම සහභාගී වන අතර, ගෙමිදුලක් හෝ බාධක වලින් තොර ඉඩපහසුකම් ඇති බිමක් තෝරා ගැනීම සිදු කෙරෙයි. තෝරාගත් බිමේ රවුමක් අද ගනියි. තරගකරුවන් නිශ්චිතව සංඛ්‍යාවක් නොමැති වුවත් වැඩි වන තරමට විනෝදය වැඩිය. පළමුව එක් අයෙක් කණා ලෙස තෝරා ගනියි. මේ සදහා ඔහුගේ/ඇයගේ දෑස රෙදි කඩකින් නොපෙනෙන ලෙසට බැදගතයුතු වෙයි.  කණා රවුම මැදට යොමු කරන අතර, තරගයේදී ඔහු රවුම් තුල වටේට දුවමින් පිරිස අල්ලයි. කණා රවුමෙන් පිටතට යෑමක් සිදුවුවහොත් නැවත ඇතුලට කැදවා ගෙන එන්නේද තරගකරුවන් විසින්මය. කනා ඇල්ලීම නැතහොත් රවුමෙන් තරගකරුවන් පිටට ගියේනම් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස කනා ඇල්ලීමෙන් ඉවත් වේ. අවසානයට ඉතිරිවන්නේ ජයග්‍රාහකයායි.

ගස් කට්ටි පැනීම - මේ සදහා ගස් කොළන් සහිත එළිමහන් ස්ථානයක් තෝරා ගැනේ. තරගකරුවන් පස් දෙනෙකු පමණ බොහෝ විටදී ක්‍රීඩා කරන බැවින් අවම වශයෙන් එකිනිකෙට ආසන්නව පිහිටි ගස් කිහිපයක් හෝ ඉනි හතරක් තෝරා ගනියි. මෙහිදී ගස් හතරට තරගකරුවන් හතර දෙනෙකුද මැද සිට ගස් රකින්නා වශයෙන් පස් දෙනෙකුටද එකවර ක්‍රීඩා කල හැකිය. ගස් හතර හිමි තරගකරුවන් තමනට කැමති ලෙසට එක් ගසකින් තවත් ගසකට මාරු විය යුතු වේ. ඒ ලැබෙන අවසරයෙන් ගස් රකින්නා වහා දිව ගොස් ගසක් අල්ලා ගනියි. එවිට ගසක් අහිමිවූ තරගකරු ගස් රකින්නා ලෙස මැදසිට නැවත ක්‍රීඩා කිරීම පටන් ගත යුතු වෙයි. ගස් කට්ටි පනින විට එකම ගසක පමණට වඩා රැදී සිටීම තහංචිය. එසේ වුවහොත් එම තරගකරුට එම ගස අහිමි වනවා පමණක් නොව ගස් රකින්නා ලෙසින් ක්‍රීඩා කල යුතු වෙයි. 




Saturday, January 3, 2015

සමාජය නව මගකට යොමු කරන යහපත් පවුල් බැදීම

පවුලක් යනු සමාජයක පවත්නා වූ කුඩාම ඒකකයයි. එය පුළුල් සංකීර්ණ සමාජයක ආරම්භක ඒකකය ලෙසින්ද හැදින්විය හැකියි. දෙතැනක වෙන්ව ජීවත්වූ පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර, විවාහයෙන් පසුව එකිනෙකා බන්ධනයෙන් බැදී ස්වාමියා හා බිරිද ලෙසත්, පසුව ඔවුනට දාව උපත ලබන්නාවූ දරුවන් සැවොමත්, තමනට ආවේනික වූ හෝ තම මව්පිය පරම්පරාවෙන් පැවත එන පරිද්දෙන් වූ හෝ හුරුපුරුදු සිරිත්විරිත් තත්වයන් එකිනෙකාට පවත්වා ගනිමින්, එකිනෙකා සබදතා ගොඩනගා ගනිමින්, ඔවුනට ආවේනික වූ පොදු පැවැත්මක් නිර්මාණය කර ගැනීම පවුලකින් ප්‍රධාන වශයෙන්ම සිදුවේ. 

පවුල් ඒකකය තුල මෙසේ ඇතිවන්නාවූ ආවේනික සිරිත්විරිත් එකිනෙකාට පවත්වා ගනිමින් එකිනෙකා හා සබදතා ගොඩනගා ගැනීම පවුල් බැදීමක් ලෙසින්ද අර්ථ දැක්විය හැකියි. මේ පවුල් බැදීම් නොඑසේනම් පවුල තුල සිදුවන අන්තර් සබඳතා අපගේ ජීවිතය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය පවුලේ සාමාජිකයන් අතර හා පවුල තුල ඇතිවන තදබල බැදීමක් වේ. එය සදාකාලිකයි. පවුලේ සාමාජිකයන් අතර මෙසේ ඇති වන්නාවූ ආදරණීය සම්බන්ධතාවයන්, පියා සහ මව අතරත්, මව සහ දරුවන් අතරත්, පියා සහ දරුවන් අතරත් වගේම දරුවන් එකිනෙකා තුලත්  සතුට, වාසනාව හා සාර්ථකත්වය ගෙන එයි. 

දුකේදීත්, සැපේදීත් ආදරය, කරුණාව හා රැකවරණය සමගින් පවත්නා තත්වයන් එකට එක්ව එකිනෙකා හා සමව බෙදා ගෙන ජීවත් වීමට මෙකී පවුල් බැදීම ඉතා වැදගත් වනවා. එනිසයි කොතරම් දුප්පත් වුවත් පොහොසත් වුවත් පවුල් බැදීම් සැමදෙනාටම එක සමාන ලෙසින් වැදගත් වන්නේ. 

ආදරය හා සෙනෙහස ධනය මත යැපෙන්නක් නොවනවා සේම එය කිසිවිටෙකත් මිලමුදලට ලබාගත හැක්කක් නොවේ. දුප්පත් හෝ පොහොසත් හෝ වේවා ඕනෑම පවුලක් තුල ජීවත්වන සියලුම දරුවන් තම දෙමව්පියන්ගෙන් ආදරය, සෙනෙහස බලාපොරොත්තුවේ. කුමන සමාජ තත්වයක් හිමිවුවත් සියළුම දරුවන් තම විවිධ අවධීන් පසුකරමින් වැඩිහිටියන් දක්වා වර්ධනය වේ. ළදරුවෙක් නව යොවුන් වියටත්, පසුව වැඩිහිටි යෞවනයෙකු බවටත්. මෙසේ වර්ධනය වන ක්‍රියාවලිය තුළදී පවුල් බැදීම් ආරක්ෂා කර ගත යුතුමයි. 

නමුත් වේගයෙන් දියුණු වන නූතන ලෝකයේ පවුල් බැදීම් විචලනය වෙමින් (පා වෙමින්) පවතී. නූතන සමාජයේ බොහෝ දෙනා මුදල් කෙරෙහි පමණක්ම බොහෝ අවධානය යොමු කරති. මුදල් යනු සමාජයේ තත්ත්වය හා වැදගත්කමක් ලබාදෙන්නක් ලෙස අවබෝධ කරගෙන ඇති සෙයක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙසින්, මිනිසුන් එකිනෙකා තරගකාරී බවට පත් වී ඇත. ඔවුන්ට අන් අය ගැන සිතීමට වෙලාවක් නොමැත. පවුල් බැදීම් හෝ සබඳතා දුර්වලත්වයට පත් වී ඇත. එනිසාමයි අප සැවොම - තම පවුල් බැදීම් තවදුරටත් වර්ධනය කරගත් යුත්තේ. 

තම පවුල අතර බැදීම වර්ධනය කරගනිමින්, අප අපේ පවුල රැකබලා ගැනීමට ඉගෙන ගන්නා විට, අපේ සමාජය හා අපේ රට රැකබලා ගැනීමටත්, ඉන් ඔබ්බට ගිය යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමටත්, ඉගෙන ගත හැක්කේ එවිටයි. 


Saturday, October 4, 2014

මලයාසියානු සංචාරය 2014 | Tour of Malaysia 2014

ශ්‍රී ලංකාවට අවේණික වූ දේශගුණික රටාවන්ගෙන් සමන්විත, සංචාරක කර්මාන්තය අතින් වඩාත් සුප්‍රසිද්ධ, අග්නිදිග ආසියානු කලාපීය රටක් ඔබ අසා ඇතිනම් නිරන්තරයෙන්ම ඔබගේ මතකයට නැගෙන්නේ මලයාසියාව. මලයාසියාව - මෙවර අපගේ වාර්ෂික විනෝද චාරිකාවේ සන්ධිස්තානය වුනා. යම්දිනෙක පවුලේ සැවොමත් සමගින් දවසක දෙකක නිවාඩුවකට විදේශගත වන්නට ඔබත් අදහස් කරගෙන ඇත්නම්, මලයාසියාව එයට උචිතම තෝතැන්නක් වේවි. ඒනිසාම මලයාසියාවේදී අප විදි සුන්දරත්වය සොදුරු නවාතැනේදී ඔබ හා සැකෙවින් බෙදා ගැනීමට අප අදහස් කළා.

මලයාසියාව පිහිටලා තිබෙන්නේ වියට්නාමයට පහලින් පිහිටි දකුණු චීන මුහුදට මායිම්ව, උතුරින් තායිලන්තයෙන්ද, දකුණින් සිංගප්පුරුවෙන්ද, ඉන්දුනීසියාව, බෲනායි රටවලට මායිම්වද සමකයට ආසන්නයෙන්.
Entrance to Batu Caves with the Murugan Statue
හින්දු භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක් වූ
භාටු කේව් අභියස පිහිටි මුරුගන් දේව ප්‍රතිමාව 
Inside View of Indoor Theme Park in Malaysia
කේබල් කාර් මතින් කදු මුදුනට ලගාවූ පසු හමුවන උද්‍යානය
(Internet Photo)
අපේ චාරිකාව දින හතරක්. එයාර් ඒසියා ගුවන් සේවාවෙන් කටුනායක සිට මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොලට අප ලගාවන විට එරට වේලාවෙන් රාත්‍රී නවයට පමණ වූ බැවින් ප්‍රථම දිනය ගතකලේ විවේකීවයි. දෙවන දිනය එනම්, පසුදා උදෑසනම අපගේ පළමු නැරබුම් මධ්‍යස්ථානය වුයේ  භාටු කේව්. හුණුගලින් සැදුණු කදු සමුහයක පිහිටා ඇති ගුහාවලින් යුක්ත මේ ස්ථානය හින්දු භක්තිකයන්ගේ උතුම් පූජනීය ස්ථානයක්. ක්වාලාලාම්පූර් නගරයේ සිට උතුරු දෙසට කිලෝමීටර් 12ක් පමණ දුරකින් වූ ගොම්බැක් දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයකි භාටු කේව්.  සෞම්‍ය කාලගුනයකින් සමන්විත වටපිටාවක් ඇති මෙම ස්ථානයේ පැයක් දෙකක් ගත කිරීමෙන් ඉනික්බිතව, නිවර්තන තෙත් වනපියස් මතින් සුන්දර කදු සිකරය වෙත දිවෙන කේබල් කාර් සංචාරයත්, මධ්‍යයේ පිහිටි එළිමහන් තේමා උද්‍යානයත් අපගේ අමරණීය සිහිවටනයන් වුණා. අපගේ සංචාරය සංවිධානය කල සංචාරක ආයතනය මගින් අප වෙත ලබාදුන් මගපෙන්වන්නාගේ ලෙන්ගතු සහායනම් මෙහිදී මතක් නොකරම බැහැ. ඔහුගේ සරල සවිස්තරාත්මක පැහැදිලිකිරීම් මගේ පවුලේ පුංචිම සාමාජිකයාට පවා වැටහෙන තරමට ඔහු තම රට ගැනත්, නැරබුම් ස්ථාන ගැනත් මොනවට පහදා දුන්නා.

The First World Hotel  in Malaysia 
වැඩිම කාමර ගණනකින් සමන්විත ලොව පළමු හෝටලය 
සැබවින්ම, ස්වභාවික පරිසරයත්, නවීන තාක්ෂණයත් එකිනෙක සම්මිශ්‍රණය කරමින් සංචාරක සුන්දරත්වයක් වර්ධනය කරගැනීමෙහිලා මලයාසියාව ගෙන ඇති පියවරයන් සියැසින් දැකගත හැකිවීම වාසනාවක්. වසර ගණනාවක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුව 1957 දී නිදහස ලබා ඇති මලයාසියාව, නිදහස ලබාගන්නාවිට දරිද්‍රතාවයේ හා විරැකියාවේ හිනිපෙත්තක සිටි රටක් බව සදහන්. පසුව ක්‍රමයෙන් රට තුල යටිතල පහසුකම් දියුණු කිරීම තුලින්, විදේශ ආයෝජකයන් රට තුලට ගෙන්වා ගනිමින්, අද පවත්නා සංවර්ධනයේ මාවත විවර කර දී ඇත්තේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා විසින් බවයි  එරට සංචාරක මග පෙන්වන්නාගේ අදහස. ඉතා සියුම් තාක්ෂණික මෙවලමක සිට තමන්ටම අනන්‍ය වූ proton මෝටර් රථ නිපදවීම් දක්වාම මලයාසියාව ආර්ථික අතින් අද සංවර්ධිත වී ඇති බැව් සංචාරක මගපෙන්වන්නා අප හා පැවසුවේ මග දෙපස ගමන්ගන්නා ප්‍රෝටෝන් මාදිලියේ මෝටර් රථ කිහිපයක් අපට පෙන්වමින් මහත් උද්දාමයකින්.

නිවර්තන තෙත් වනපියස් මතින්
සීතල කදුසිකරය වෙත දිවෙන කේබල් කාර් සංචාරය
ක්වාලාලම්පුර් නගරය අගනගරය කරගත් මලයාසියාවේ ලක්ෂ 30ක් පමණ වූ සමස්ත ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන්. මෙයට අමතරව චීනයෙන් සංක්‍රමණයවී ජීවත්වන බෞද්ධ භක්තිකයොත්, ඉන්දියාවෙන් සංක්‍රමණය වී ඇති හින්දු භක්තිකයොත් සමස්ත ජනගහනයේ සැලකියයුතු කොටස්කරුවෝ වෙති. මේ අතර ශ්‍රී ලාංකිකයෝද සිටිති. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රභූ පුද්ගලයන් අද මලයාසියානු සමාජයේ ඉහල නිලතල පවා හොබවනු බැව් අසන්නට ලැබීම සංචාරක අපට සැබවින්ම සතුටට කරුණක් වුනා.

තෙවන දිනය තුලදී මැලේසියානු නගර සංචාරයත්, පාරම්පරික රාජකීය මන්දිරය හා විරු ස්මාරකය නැරබීමටත්, පවුලේ සැමට වෙනස් අත්දැකීමක් ලබාගැනීමේ අරමුණු කරගත් චොකලට් කර්මාන්ත ශාලාව නැරබීමත්, මලයාසියාවේ අභිමානයසේ ගුවන්කුස සිසාරා හැඩවුණු නිවුන් කුලුණු යුගලය නැරබීමත්, මින් මැදුර සංචාරයත් අප සිදු කල සංචාරක ස්ථාන අතර සිත්බැද ගත්තා. සැදෑ භාගයේ සාප්පු සවාරිය මේ සෑම අංගයකටම වඩා විනෝදකාමී මෙන්ම වඩා වියදම්කාරී අංගයක් වුනා.

KL Twin Tower in Malaysia
ගුවන්කුස සිසාරා හැඩවුණු නිවුන් කුළුණු යුගලය
වඩාත් වෙනස් අත්දැකීම් විදගනු රිසි අප සෑම දිනකම දිවා ආහාරය හා රාත්‍රී ආහාරය ලබාගත්තේ වීදිය දිගේ ඇවිද යද්දී හමුවුණු අවන්හලකින්. මලයාසියානු තරුණ තරුණියන්, චීන ජාතික තරුණ තරුණියන් මෙන්ම විදේශීය සංචාරකයන් ගෙන් බොහොමයක් සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළදසැල් පිරී තිබෙන ආකාරයත්, මෙහිදී නිරීක්ෂණය කල හැකි වුණා. මගතොටදී දැකිය හැකි දේශීය අවන්හල් අතර, චීන ක්‍රමයට සකස්කරනු ලබන ආහාරවේල් සහිත චීන අවන්හල් හා සාම්ප්‍රදායික ඉන්දියානු ආහාරවලින් සමන්විත ඉන්දියානු අවන්හල් බහුලයි. කිසිදු බාධාවකින් තොරව තම තමන්ගේ රුචිකත්වයට සරිලන අයුරින් නිදහසේ තමන් කැමති ආහාරවේලක රස බැලීමට, මගතොට දොඩමලුව රිසිසේ විනෝදයෙන් වීදි ඔස්සේ ගමන් කිරීමට අපට මෙහිදී  අවස්ථාව උදාවුනා.

මලයාසියානු භුමියේ සංචාරක කර්මාන්තය ගොඩනැංවීමෙහිලා ගෙන ඇති පියවරයන් මතකයට නැගෙද්දී, ස්වභාවධර්මය හා බැදී එයට හානියක් නොවන අයුරින්, තමන්ගේ දේශීය සම්පත් භාවිතයට ගෙනඇති ආකර්ෂණීයත්වය සසදා බලද්දී සැබවින්ම අප රටතුලත් එලෙසින් ස්ථාපනය කරගත හැකිවේ නම් යන හැගීම අප සිත්සතන් තුළ පහල්වුවා. එය එසේ කළහැකි වේ නම් නිදහස, සුහදත්වය, මිත්‍රශීලීත්වය හා සංචාරකයන්ට දක්වන ආගන්තුක සත්කාරත්වය පිරිපුන් අපේ රටේ අපේ සංචාරක කර්මාන්තය වර්ධනයෙහිලාත් බෙහෙවින්ම උදව්වක් වන බවට නම් විශ්වාසයි.

සෑම සුන්දර හමුවීමකම සමුගැනීම සනිටුහන් කරමින් සීමිත දිනකිහිපයක් මලයාසියාවේ ගතකල සංචාරයේ නිමාව පවුලේ සැමටම අලුත් අත්දැකීමක් වුණා. දුක, සතුට, විරහව තනිකඩ ජීවිතයේ කොටස්කරුවන් වුවත්, විවාහක ජීවිතයේ දිවිය වඩාත් අර්ථවත් වන්නේ හුදෙකලාව පසෙකලා පවුලේ සැවොමත් සමගින් අත්විදින්නා වූ මෙවන් සතුටක් පමණමයි. එවන් අමරණීය මතකයන් සදා සිත්හි රදවා ගනිමින් මෙවර මලයාසියාවේ ගත කල සිව්දින චාරිකාව නිමා කරමින්, පසුදා උදෑසනම අපි අපගේ උපන් දේශය බලා පියාසර කලා. සංචාරය සංවිධානය කල S.T International Marketing - Pvt Ltd සංචාරක ආයතනයටත්, මෙවන් සංචාරයක් සදහා ඉඩකඩ සලසාදෙමින් විධිමත්ව සංවිධානය කොට ගමන් ආරම්භයේ සිටම අවසානය දක්වාම සහයෝගය දැක්වූ අපගේ සේවා ආයතනයටත් අපගේ හර්දයාංගම ස්තුතිය !

සහභාගී වූ අපේ පිරිසේ සිතුවම් පිටපත:
https://www.facebook.com/st.international.marketing/photos

Monday, September 22, 2014

පරිගණකය ක්‍රියාත්මක කල පසු Welcome Screen එකෙන් තොරව ස්වයංක්‍රීයව Logon වීමට සැළැස්වීම | How to disable Logon Username & Password entering screen in Windows XP

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් වල නව සංස්කරණයන් බිහිවුවත්, තමනට හුරුපුරුදු Windows XP මෙහෙයුම් පද්ධතිය තම පරිගණකයේ පිහිටුවා ගෙන සිටින සහෝදර සහෝදරියන්ට උපකාරීවන පහසු කෙටි මගක් ගැන සටහනකටයි අද සයිබර් අවකාශයේ ඉඩකඩ වෙන්වන්නේ. ඔබට අයත් ඔබගේ පුද්ගලික පරිගණකය භාවිතා කරන්නේ ඔබ පමණක් නම්, පරිගණකය ක්‍රියාත්මක කිරීමෙන් පසු රහස්‍ය පදය ඇතුලත් කිරීම සදහා තිරයේ දිස්වන Welcome Screen එක ඇත්තටම ඔබට වදයක් වෙන්නට ඇති. සමහරවිට එය ඔබගේ වටිනා කාලය අපතේ යැවීමක් වන්නත් පුලුවන්. අපතේ යන මේ කාලය ඉතුරු කරගැනීමටත්, වදයක් වෙන Welcome Screen එක නැති කරගැනීමටත් ඔබට අවශ්‍ය නම් ඔබ කලයුත්තේ:

පළමුවෙන්ම Control Panel -> User Accounts (Classic control panel view ලෙසට පෙනෙන සේ සකසා ගැනීම ඔබට තවත් පහසු වේවි) වලට ගොස් ඔබගේ Log on නම සහිත User Account එක තිබීමට හැර අනිත් User Account කිහිපය මකා  දැමීමයි. 


සැළකිය යුතුයි: 
ASP.NET Administrator User Account එකක් ඔබගේ පරිගණකයේ පිහිටවී තිබේනම්, එය මකා දැමීම හෝ අක්‍රීය කිරීම සිදුනොකිරීම වඩාත් හොදයි. මෙය ASP.NET Framework Install වීමේදී එහි ආරක්ෂාව සදහා නිර්මාණය වන සීමිත ගිණුමක් බැවින් මෙය මකා දැමීමෙන් ASP.NET Framework මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවියහැකියි. If you disable ASP.NET administrator User Account then your .NET application may not work correctly. 

ඉන් අනතුරුව "Change the way users log on or off" යන්න තෝරාගෙන "Use the Welcome Screen" යන්න ඉවත්කළ යුතුයි. එනම් ඊට ඉදිරිපස ඇති රවුම මත Click කිරීම මගින් Log on වීමේදී පැමිණෙන Welcome Screen එක පැමිණීම uncheck කරගතයුතුයි.  එය uncheck කරගන්නවාත් සමගම ඊට පහලින් ඇති “Use Fast User Switching” යන්නත් අක්‍රීය වනු ඇති. 


තෙවන පියවර වශයෙන් ඔබ කලයුත්තේ Start -> Run යන්න තෝරා පහත සදහන් වාක්‍ය කණ්ඩය ටයිප්කර Enter කිරීමයි. 

control userpasswords2

ඉන්පසු තිරයේ දිස්වන User Accounts Dialog Box එකේ “Users must enter a username and password to use this computer”  තෝරා ඉවත්කිරීම (Uncheck කිරීම)  සිදුකිරීමෙන් අනතුරුව OK කරන්න. අනතුරුව දිස්වන Automatically Log On තිරයේ, රහස්‍ය පදය තීරුවේ, ඔබගේ Log on User Account එකේ රහස්‍ය පදයක් තිබුණි නම් එම රහස්‍ය පදය යොදා තහවුරු කිරීමද, නොතිබුණිනම් හිස්ව තබා OK කිරීම සිදුකොට ඔබ සිදු කරන ලද වෙනස්කම් සනාථ කරන්න. 


අනතුරුව පරිගණකය Restart කරන්න. ඔබට හිසරදයක්ව තිබු විටෙක ඔබ කරදරකාරීයැයි සිතු Welcome Screen එකකින් තොරව ඉබේම ඔබගේ පුද්ගලික පරිගණකය තුලට Log on වීම සිදුවේවි. 

ඉතා සංකීර්ණ නොවූ මේ ක්‍රියාවලිය මගින් Password එක ටයිප් කිරීමකින් තොරව, පහසුවෙන් පරිගණකය තුලට ලොග් වීමට හැකියාව ලැබීම විටෙක ඔබට පහසුවක් නොවේදැයි ඔබම සිතා බලන්න. 

Thursday, August 7, 2014

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය | Wattarama Raja Maha Viharaya

හෙළයේ උසස් සංස්කෘතික හා කලා නිර්මාණයන්ගේ බිහිවීම ආරම්භ වුනේ මිහිදු හිමියන් ලක්දිවට වැඩම කොට, බුදුසසුන පිහිටුවීමෙන් පසුව ඇතිවූ, ආගමික පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙසටයි. එදා පටන් දහස් සංඛ්‍යාත ජනී ජනයා  මවිත කරවමින් වැව්, අමුණු, දාගැබ් හා විහාර සංකීර්ණ ගොඩනැගුණු අතර, ඒවා විරාජමානව අදටත් දකින්නට හැකිවී තිබෙන්නේ කලින් කලට බිහිවූ රජ දරුවන්ගේ ප්‍රතිසංස්කරන වලට පින්සිදු වන්නටයි. උපන් දේශයට, තමන්ගේ ජාතියට, ආදරයක්, ආඩම්බර හැගීමක් ඇති තරුණ පරම්පරාවක් බිහිකිරීමට නම් කුඩා කල පටන් විෂයක් ලෙසින් හදාරන සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂයයක් බවටම හැදෑරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, අපට උරුමකල සංස්කෘතික දායාදයන් වටහාදෙමින්, එකී එයිතිහාසික ස්ථානයන් පෙන්වාදෙමින්, අපේ මුතුන්මිත්තන්ගේ සාඩම්බර ඉතිහාසය ඔවුන්ගේ මනස තුල ගොඩ නංවාලිය යුතු වනවා. විවේකී මොහොතක විනෝදාංශයක් ලෙසටම නොව අධ්‍යාපනික සංචාරයක් ලෙසටද මෙම පුරාණ ආගමික ස්ථාන නැරබීම සදහා අප තෝරා ගතයුත්තේ ඒනිසාමයි. 

එවන් වූ ප්‍රෞඩ ඉතිහාසයක තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අතීතයෙන් අපට උරුමකල තවත් එක් පුණ්‍ය භුමියකි "වට්ටාරම". පොල්ගහවෙල නගරයේ සිට කෑගල්ල දෙසට වන්නට කිලෝමීටර හතරක පමණ දුරකින්ද, කෑගල්ල නගරයේ සිට පොල්ගහවෙල දෙසට වන්නට කිලෝමීටර් හතක පමණ දුරකින්ද පිහිටි ඉඹුල්ගස්දෙණිය නම් වූ ග්‍රාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා තිබේ. කෑගල්ලේ සිට පොල්ගහවෙල, කුරුණෑගල හෝ අනුරාධපුරය බලායන දහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ පුජනීයත්වයට බදුන්වුනු වට්ටාරම රජ මහාවිහාරය අභියස මොහොතක් හෝ සිත්පහන් කිරීමේ වාසනාව අපටත් පසුගිය දිනෙක උදාවුණා. එදින විවේකී දිනයක් නොවූ බැවින් සැලකියයුතු කාලයක් අපට මෙහි ගතකල හැකි නොවුවත්, සිහිවටනයක් පරිද්දෙන් හැමදාමත් වාගේ අදත් සොදුරු නවාතැනට තොරතුරු ටිකක් හොයාගත්තා.

පෙර දවස මෙවැනි ආරාම සමුහයක්
 වට්ටාරම පින්බිමේ තිබෙන්නට ඇති බැව් සදහන්.. 
ජනප්‍රවාදයේ සදහන් පරිදි ශ්‍රී ලංකාදීපයේ වැඩසිටි මලියදේව නම් වූ අවසාන මහරහතන් වහන්සේ වැඩ වාසය කොට ඇත්තේ මෙම විහාරස්ථානයේයි. එබැවින් වට්ටාරම රජ මහා විහාරස්ථානය "වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය" නමින් ද හදුන්වනවා. එමෙන්ම මෙම පුද බිමට අතීතයේ "වට්ටාරම" යන නාමය යෙදීමට තවත් හේතුවක් වී ඇත්තේ  මේ භුමියේ එවකට ආරාම සමූහයක් පැවති නිසාවෙන් බවද පැවසේ. 

පොත්පත්වල සදහන් වන අන්දමට මලියදේව හිමියන් පිළිබඳව ජනප්‍රවාදයේ බොහෝ අදහස් තිබේ. දඹදිව එක්තරා අන්ධ යුවලකට ලැබුණු දරුවකු මහණ වීමෙන් පසුව ඉතාමත් සිල්වත්ව බවුන් දම් වඩමින් කාලය ගතකොට තිබේ. ඉන් පැහැදුණු ගුරු භික්‍ෂූන් වහන්සේ රන් පිළිමයක් හා බණ පොත් රාශියක් ත්‍යාග වශයෙන් මේ හිමිනමට ලබාදී තිබේ. ගුරු හිමියන් අපවත් වූ පසු මලියදේව හිමි නමින් රහත් භාවයට පත් වී අප මාතෘ භූමියට වැඩම කොට අත්තේ මෙකී හිමිනමයි. ගුරුහිමියන්ගේ අපවත්වීමෙන් පසු ලක්දිවට සපැමිණි මලියදේව මහ රහතන් වහන්සේ, ගෝඨාභය රජතුමාගේ (බු.ව. 792 පමණ - මෙම ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ සොහොයුරකු බවට සැලකේ) උපකාර ඇතිව ගල්කණු යොදා තැනූ ආරාම සමුහයකින් සුසැදි වට්ටාරම විහාරස්ථානය වාසස්ථානය කර ගෙන වාසය කොට තිබේ. අද අප වන්දනාමාන කරගන්නේ එකී ස්ථානය බව සදහන්. 

රාජ්‍ය අනුග්‍රහය කලින් කල රජදවස ලැබී තිබී ඇති මුත් පසුකාලීනව සිදුවූ යම්යම් ආක්‍රමණ හේතුවෙන් බොහොමයක් ආරාම දිරාපත් වී නටබුන් වී ඇති බවටයි සැලකෙන්නේ. එහෙත් මෑත කාලයේ සිදුවන්නාවූ නැවුම් ප්‍රතිසංස්කරණ හේතුකොටගෙන නිමකොට ඇති චිත්තාකර්ෂණීය විහාර මන්දිරයත්, පෙර පටන් පැවත එන සුවිසල්, පෞරාණික බෝධීන් වහන්සේත්, චෛත්‍යයත් නිසා මෙම පුදබිමට ඓතිහාසික මෙන්ම, සංචාරක වශයෙන්ද ඉතා වටිනාකමක් ප්‍රදානය වී තිබේ.

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරගෙය ..

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරගෙය බාහිරින් සමීප දසුනක්  ..

විහාරගෙට පිවිසීමට සුදානමින් දොරටු සීමාමාලකය අභියසදී අප ....