Pages

Tuesday, August 30, 2016

ඓතිහාසික පාහියන්ගල - ආදී මානවයාගේ නිවහනට ගොඩ වැදුනෙමු ...

Guide to Pahiyangala ( Fa-Hien Caves)


පැහැබර කාලගුණයකින් සමන්විත හිමිදිරි උදෑසන පෙරදිගින් නැගෙන උදා හිරු තම කිරණ දසත පතුරුවන්නේ මහත් අභිමානයකින්. අවිවේකී ජීවිතයේ අතමිට සරුකරගන්න කුමක් හෝ ජීවන රැකියාවක යෙදෙන නුතන මානව මානවිකාවියන් පෙරදින රාත්‍රියේ ගෙවාදැමූ විවේකී හෝරා කිහිපය වියැකී යාමට මත්තෙන් සැළසුම් කරන්නේ උදාවන නැවුම් දිනය කෙසේ වේවිද කියායි. පවතින්නේ සැවොම අතර ජීවත්වීම සදහා අරගලයක්.  නමුත් ජීවිතය කියන්නේ මුදලක් බලාපොරොත්තුවෙන් දිනපතා වෙහෙස මහන්සිවීම පමණක්ම නම් නොවේ. ජීවත්වෙන්න මුදල් අවශ්‍ය වගේම හොද මානසික විවේකයක් තිබුනොත් තමයි එය වඩාත් සාර්ථක වන්නේ.

විනෝදෙට ගමනක් යනවා කියන්නේ සල්ලි වියදම් වෙන වැඩක් කියලා කෙනෙකුට හිතුනත් මොහොතකට හැමදෙයක්ම අමතක කරලා පවුලේ සැවොමත් එක්ක කාලය ගත කරනවා කියන්නේ සත්තකින්ම මුදලට ගතනොහැකි සොදුරු දෙයක්. වෙනසකටත් එක්ක අපේ රටේ අපි නොදන්න සුන්දර තැනක හෝරාවක් දෙකක් ගතකරනවා කියන්නේ අපටනම් වෙනසක්. ඒකයි පොහෝ දිනට පෙරදා රාත්‍රියේ අප කතා කරගත්තේ මේ පාසැල් නිවාඩු කාලයේ පාහියන්ගල යමු කියලා.

ශ්‍රී ලංකාවේ පිහිටි දහසකුත් ගල්ලෙන් අතරේ පාහියන්ගල නම් ගල්ලෙන අපට වැදගත් වන්නේ එය සුන්දර කදු මුදුනක පිහිටලා තියෙන තවත් එක් ගල්ලෙනක් නිසාම නම් නොවේ. එය අපට වැදගත් වන්නේ පැරණි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අපේ මුතුන් මිත්තන් වාසය කලායැයි සැළකෙන අභීත මානව ශිෂ්ටාචාරයක සුළමුල පවතින්නේ මෙහි නිසයි. අප දන්නා ආකාරයට අපේ  ශිෂ්ටාචාරයේ ආරම්භය විජය රජු ප්‍රමුඛ ආර්යයන් පිරිසකගෙන් පැවතෙන්නක් බව සැලකුවත්, එයට බොහෝ සෙයින් පැරණි මානව සංහතියකගේ පැවැත්මක් පිළිබද සාක්ෂි මේ සුන්දර ගල්ලෙන් භූමියෙන් අද සොයාගෙන තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හා පරීක්ෂණ වලින් වසර 37000 කටත් වඩා පැරණි මානව ශිෂ්ටාචාරයක සලකුණු මෙහිදී හමුවී තහවුරු කරගෙන තිබේ. එවන් වූ ඓතිහාසික වැදගත් කමකින් යුතු සන්ධිස්ථානයක තොරතුරුත් සමගයි මෙවර සයිබර් අවකාශයේ සොදුරු නවාතැනේ දී අප හමුවන්නේ.  

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල නගරයට පැමිණ බුලත්සිංහල - මෝල්කාව මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ දුර ගියවිට හමුවන යටගම්පිටිය නම් සුන්දර ගම්මානයේ මෙකී පාහියන්ගල ගල් ලෙන පිහිටා තිබේ. ගල්ලෙන පාමුලටම වාහනයකින් ගමන් කල හැකි අතර, දේශීය සංචාරකයන් ගැවසෙන ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්වූ ස්ථානයක් බැවින් පාහියන්ගල ලෙන දක්වා ගමන්ගන්නා මාර්ගය පැහැදිලිව පුවරු මගින් දක්වා තිබේ.


වාහනයෙන් බැසගත් අපගේ මුල්ම නෙත්ගැටුම සැතපුම් ගණනාවක් ඈතට විහිදුනු සුන්දර ගල්තලාවකින් යුතු කදු වැටියයි. ඝන්ටා නාදයත් සමගින් ගුවනට මුසුවන දහම්දෙසුම් සිතට එක්කරන්නේ තැන්පත් බවක්. මදක් ඉදිරියට ඇදෙන විට අපට මුලින්ම හමුවන්නේ බෞද්ධ භික්ෂුන් වැඩ සිටින විහාර ගෙය. විහාර ගෙයට ඉදිරියෙන් පර්වතය දක්වා දිවෙන මාවත වැටී තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 450 ක් පමණ උසින් පිහිටා ඇතැයි සැලකෙන ගල්ලෙනට වනලැහැබ ඔස්සේ දිවෙන ගල් ඇතිරූ පඩිපෙළකි. දෙපස සුන්දර වන ලැහැබකි. දේශීය වැදගත්කමකින් යුතු ආවේණික ශාක විශේෂ ගණනාවකි. බස්නාහිර පළාතේ පළාත් පාලන සංචාරක හා පරිසර කටයුතු අමාත්‍යාංශය මගින් ලෙන දක්වා දිවෙන මග දෙපස ශාක විශේෂ කිහිපයක විස්තර අඩංගු පුවරු ප්‍රදර්ශණය කරතිබීම අගය කල යුතුය. අපේ කණ්ඩායමේ සාමාජික කුඩා දරුවන් මෙකී විස්තර ඉතා උනන්දුවකින් කියවන අයුරු අපි නිරීක්ෂණය කළෙමු.

මුදුනටම ගමන් ගත් අපට ඈතින් දිස්වන සුන්දර කදුවැටි දැකිය හැක්කේ දක්ෂ සිතුවම්කරුවෙකුගේ තෙලිතුඩකින් ඔප්නැංවුණු සිතුවමක් වගෙයි. විශාල පෙදෙසක පැතිර පවත්නා ගල්තලාවේ වම් කෙළවර වන්නට පිහිටන්නේ දැකුම්කළු ගල්ගුහා විවරයි. මැද ප්‍රතිසංස්කරණය කරන ලද රන් ආලේපිත සැතපෙන පිළිමවහන්සේයි. දකුණට වන්නට පුරාණ බිතුසිතුවමින් සමන්විත කුඩා පිළිම ගෙයයි. 

ගල්ලෙන මාධ්‍යයේ සංරක්ෂණය කොට ප්‍රතිසංස්කරණයෙන් නිමවා ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මුලින්ම වැද නමස්කාර කරගත්තෙමු. ඉතාමත් මෑතකදී ප්‍රතිසංස්කරණය කල බවට හැගෙන රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි පැමිණෙන දහසකුත් සැදැහැවතුන්ගේ හා සංචාරකයන්ගේ වන්දනාමානයට පාත්‍රවන ප්‍රමුඛතම ස්ථානයකි. බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිමුයෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලා කඩින් කඩ පැමිණෙන සැදැහැවතුන් පංචශීලයෙහි පිහිටුවා වන්දනාමාන කරවති. ඉන් එක් භික්ෂු වහන්සේ නමක් පාහියන්ගල පුරාණයත්, ස්ථානයේ මානව ඓතිහාසික වැදගත්කම පිලිබදවත් සැකෙවින් සුමියුරුව කරුණු පහදා දේශණා  කල සේක.

ඉන් ඔබ්බට වම් පසින් පිහිටි අඩි 300 ක් උසැති, අඩි 175  ක පමණ පළලැති හා අඩි 300 ක් පමණ ඇතුළට විහිදුණු කුහරයකින් සමන්විත ලෙන් පෙදෙස නැරබුවෙමු. මේ ලෙන් කුහරය තුල එකවර මිනිසුන් 3000 ක පමණ ප්‍රමාණයක් රැස්කළ හැකි බවද පැවසේ. 1986/87 වසර වලදී කැණීම් කරන ලද කැණීම් ස්ථානයක් ලෙන් විවරය මැදට වන්නට භුමියේ අදත් දැකගත හැකියි. 

දකුණු පසට වන්නට පිහිටි කොටසේ කුඩා ලෙන් කුහරයක් දැකිය හැකි අතර, පසෙකින් වූ එක් දැන්වීම් පුවරුවක මෙම ස්ථානයට නම සැදුනු ආකාරය සදහන් කර තිබේ. “පාහියන්ගල ස්ථාන නාමය ක්‍රි.ව. 5 වන සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික දේශගවේෂක පාහියන් හිමියන් හා සම්බන්ධ වන්නකි. ඒ අනුව මෙම ස්ථානය එතුමන් නවාතැන්ගෙන සිටි ස්ථානය ලෙස සැළකේ” යනුවෙන් එහි සදහන්.  සැබැවින්ම දිවයිනේ අනෙකුත් සුප්‍රසිද්ධ ස්ථානවලට නම් ලැබුණු පරිද්දෙන්ම මෙම ස්ථානයට පාහියන්ගල ලෙස නම යෙදී ඇත්තේ, මෙකී පාහියන් භික්ෂුව වාසය කල නිසායැයි මතයක් පවතී. තම බෞද්ධ අධ්‍යයන හා ඉගැන්වීම් කටයුතු සදහා පාහියන් නැමති චීන ජාතික භික්ෂුව දකුණු ආසියාව පුරා සංචාරය කලබව පැවසෙන අතර, බුදුන්වහන්සේ ගේ ශ්‍රී පාද පද්මය වන්දනාමාන කරගැනීමෙන් අනතුරුව දින කිහිපයක විවේක ස්ථානයක් ලෙස මෙම ගුහාව භාවිතා කර ඇති බවටද තවත් මතයකි. එසේ පැවසෙන මුත් එකී මතය සනාථ කිරීමට තරම් සාක්ෂියක් සොයාගැනීමට මේ දක්වා නොහැකිවී තිබේ. කෙසේ නමුත් පසු කාලීනව පාහියන් භික්ෂුව වාසය කල ලෙන "පාහියන් ලෙන" පසුව "පාහියන්ගල" ලෙසත් වී නම බිහිවූ බව සැළකේ.

ස්වභාවික ව්‍යසනයන්ට ලක්ව මෙම ස්ථානය කාලයේ ගල්තලාවෙන් වැසී ක්‍රමයෙන් දුරස්ව යාමට ඉඩනොදී පරිසරයට ලැදි පරිසර හිතකාමීන් හා ගවේෂණයට ලැදි පුරාවිද්‍යා ගවේෂකයන් ඉටුකරන හා මෙතෙක් ඉටුකර ඇති සේවාවන් අගය කලයුතු අතර,  ඔවුන්ගේ කැපකිරීම් හා ගවේෂණාත්මක අධ්‍යන මගින් නුදුරු දිනයක අප නොදන්නා වැළලුනු යතාර්ථය තවදුරටත් අපට හෙළි කෙරෙනු ඇති. එතෙක්.. ප්‍රාග් ඓතිහාසික සාධක සහිත නටබුන් නරබමින් පාහියන්ගල සංචාරය අපි මෙසේ නිමා කළෙමු. 

Friday, January 1, 2016

අපි ගිය අම්බුළුවාව ..

නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන මධ්‍යයේ පිහිටි වී බිස්සක හැඩය ගන්නා
ස්වේත වර්ණ ස්ථුපය, සර්පිලාකාර පඩි පෙළකින් සමන්විතයි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගත් ආකර්ශනීය කදු ශිකරයක පිහිටා ඇති අම්බුළුවාව, ගම්පොළ නගරයට පැමිණෙන ලොකු කුඩා සැමගේ සිත්සතන්වල  සන්ධිස්ථානීය සලකුනක් සටහන් කෙරේ. මහනුවර දළදා මාළිගාව, ගාල්ල පෞරාණික බලකොටුව, නොඑසේනම් කටුනායක ගුවන්තොටුපල වැනි එකී ප්‍රදේශයනට පමණක් නාමික වූ සන්ධිස්ථානයක් වේ නම්, ඒ හා සමානවම ගම්පොළ නගරයට එය අම්බුළුවාව වේ. ගම්පොළ නගරයේ තැනින් තැන ගමන්ගනිද්දීත්, අවට ගම්මාන වලට දිවෙන මංමාවතක සැරිසරද්දීත් පැහැදිලිව දර්ශනය වන අම්බුළුවාව ශිකරය දිනපතා දකින ගම්පොළවාසී පදිංචිකරුවන්ට නොදැනෙන තරමටම තමන්ගේ දෛනික ජීවිතයේ එක් සංකේතාත්මක කොටසක් වුවත් අපට නම් දුටුපමණින් මෙය ආකර්ෂණීය නිර්මාණයක්. 

අම්බුළුවාව ජීව විවිධත්වයෙන් සපිරි සංකීර්ණයක්  මෙන්ම
සර්ව ආගමික මධ්‍යස්ථානයක් ද වේ.  
ඈතින් පෙනෙන ගම්පොළ නගරය සහ අවට පෙදෙස
හරිත පැහැයෙන් දිදුලන දර්ශනය චමත්කාරජනක වේ.
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ගම්පොළ නගරය ඉතාම කෙටි කලක් රට පාලනය කල සිව්වන බුවනෙකබාහු රජතුමා විසින් ප්‍රථම වරට අගනුවර කරගන්නා ලද බව ඉතිහාසයේ සදහන්. පසුව වසර ගණනාවක් රටේ රාජධානිය ලෙසට ගම්පොළ අගනුවර කරගත්තේ ගම්පොළ රාජධානියේ අවසන් රජු බව සැලකෙන පස්වන බුවනෙකබාහු රජතුමායි. සතුරු ආක්‍රමණයන් හේතුවෙන් පසුකාලීනව කන්ද උඩරටට රාජධානින් සංක්‍රමණය වීම හේතු කොට ගෙන ක්‍රමයෙන් ගම්පොළ නගරය පරිහානියට පත්වුවත්, වර්තමානයේ එයට හිමිවී තිබෙන්නේ එතිහාසික සුවිශේෂී බවක්. කාපට් ඇතිරූ මංමාවත්, යටිතල පහසුකම් වලින් සපිරි නගරයත්, මැදින් දිවෙන මහවැලි නදී තීරයත්, උඩරට මැණිකේ දුම්රිය ගමන් මාර්ගයත්, පාරිසරික විවිධත්වයත් හා සමාජ සම්මිශ්‍රනයත් නිසා අද ගම්පොළ නගරය මනා ලෙස විචිත්‍රවත් වී තිබේ.

සුපැහැදිලි කාලගුණයකින් හෙබි විවේකී සති අන්තයක, මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැදපුදාගත් අප ගම්පොළ, දොළොස්බාගේ නගරය හරහා තුන්බාගේ, බුලත්කොහුපිටිය වෙත ගමන් කිරීමට අදහස් කල බැවින් ගම්පොළ නගරය හරහා ගමන් කිරීම අත්‍යාවශය වූ සාධකයක් වුණා. ගම්පොළ නගරය පසු කරගෙන යමින් සිටි අප නෙත් එක්වරම ගැටුනේ ඈතින් විරාජමානව දර්ශනය වන අම්බුළුවාව ස්තුපයයි. ඉතින් කෙසේ නම් මෙම සුන්දර ස්ථානය මගහැර යම් ද? 

උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර,
බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථාන
මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ 
නිරතුරු වන්දනාමානයට පාත්‍රවේ. 
අප මෙන්ම සංචාරයට කැමති ඔබටත් අම්බුළුවාව කන්දට ළඟාවිය හැකි ආකාර කිහිපයක් තිබේ. කොළඹ - මහනුවර මාර්ගයෙන් නම් මාවනැල්ලෙන් හෙම්මාතගමට පැමිණ හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගිය විට මෙම කන්දට ප‍්‍රවේශ වන ප්‍රධාන මාර්ගය හමුවේ. දුම්රියෙන් පැමිණයොත් දුම්රියපල මාර්ගෙයන් පිවිස නිදහස් මාවත ඔස්සේ ගමන් කිරීමෙන් හෝ නගර මාධ්‍යයෙන් ගමන් කිරීමෙන් වුවද ලගාවිය හැකියි. සුන්දර අම්බුළුවාව කදු ශිකරය දක්වාම වාහනයකින් ගමන් කල හැකි අතර, මේ සදහා ප්‍රධාන පිවිසුම් දොරටුවේදී අවසර පතක් ලබා ගතයුතුයි. 

උයනේ පිහිටි හින්දු කෝවිල
ක්‍රමයෙන් ආනත වූ මාර්ගයක් ඔස්සේ ඉහලට ගමන් ගනිද්දී අවට ප්‍රදේශය පුරා පවත්නා හරිත පැහැ තුරුගොමු කර්කශ නගරයේ සැරිසැරූ අපගේ විඩාබර දෙනෙත් ක්‍ෂණයකින් සන්සිදුවනවා. සැබැවින්ම ගත දවටා හමන වේගවත් සිසිල් සුළං ධාරා ඔස්සේ සිත පුබුදුවාලමින් අප මේ ගමන්ගන්නේ ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් තුලටයි. ගමනාන්තය වූ කදු මුදුනට ලගාවත්ම පරිශ්‍රය ඉදිරිපිට පිහිටුවා ඇති දැන්වීම් ඵලකය, මෙම ස්ථානය ජෛව විවිධත්ව සංකීර්ණ හා සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් හදුන්වාදී තිබේ. සර්ව ආගමික මධ්‍යස්ථානයක් බවට සාක්ෂි දනවමින් එය සනිටුහන් වන ප්‍රවිෂ්ට දොරටුව අභියස සතර ආගම් වල ආගමික සංකේතයන් ද පිහිටුවා තිබේ. 

ඇතුළුවූ විට නිර්මාණය කර ඇති විවුර්ත ශ්‍රවනාගාරක්, ශ්‍රවනාගාරය තුලින් අහස උසට විහිදෙන ස්තුපයත්, ඊට ප්‍රතිවිරුද්ධ උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර, බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථානත් අපට දකින්නට පුළුවන්. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක අංකුරයක් මගින් රෝපණය කරන ලද්දේයයි සැලකෙන හරිත පැහැයෙන් දිදුලන අභිමානවත් බෝධීන් වහන්සේත් යාබදව පිහිටි බුද්ධ මන්දිරයත් වන්දනාමාන කරගැනීම මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ සුලභ දසුනක්.

ඈතින් සුන්දරව ගලා බස්නා මහවැලි ගංගාව, අවිවේකී ගම්පොළ නගරය හා අවට විරාජමානව පිහිටා තිබෙන්නා වූ කදු වළල්ල මොහොතකට සිත සමාධි ගතව, සුන්දරව නිදහසේ නැරබිය හැකි නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළවරක පිහිටා තිබේ.

නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන, මධ්‍යයේ පිහිටි වීබිස්සක හැඩය ගන්නා ස්වේත වර්ණ ස්තුපය, සර්පිලාකාර පඩි පෙලකින් සමන්විතයි. සර්පිලාකාරාව පිහිටා ඇති පඩි පෙළ ආරම්භයේ සිටම ක්‍රමයෙන් විහිදෙන අතර, එය ස්තුපය වටා ඉහලට නිමවා තිබෙන්නේ අවට සුන්දරත්වය පිරික්සමින් ගමන් කිරීමටයි. මේ සදහා ඉඩකඩ සලසමින් එක්එක් මට්ටම් වලදී ඉදිරියට නෙරා ගිය මෙන්ම ඇතුලට වන්නට පිහිටි කුටියක හැඩය ගන්නා කුඩා නැරබීම් කවුළු වලින් සමන්විතයි.

පසෙකින් විරාජමානව පිහිටා තිබෙන්නාවූ කදු වළල්ල
මොහොතකට සිත සමාධිගතව සුන්දරව නිදහසේ නැරබිය හැකි
නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළෙවරක පිහිටා තිබේ. 
අපේ කණ්ඩායමත් අවට සිරි නරබමින් ඉහලට නැගගත් අතර, මැදට වන්නට පිහිටි නැරබුම් කුටිය විඩා නිවන ස්ථානයක් බවට පත්කර ගත්තා. මෙම ස්ථානය බොහෝ සංචාරකයන් විදාහරින ස්ථානයක් බැවින් ඉඩකඩ සරිලන පරිදි නිමවා තිබීම විශේෂත්වයක්. අවට කදු, මංමාවත් සියල්ල මෙහිදී පැහැදිලිව නැරබිය හැකි අතර, කාලගුණය හිතකර පැහැදිලි දිනකදීනම් එක් අන්තයකින් කොලබ වරාය දක්වා ම නැරබිය හැකි බව පැවසෙනවා. සැබැවින්ම මෙම ස්ථානයේ සිට අවට බලද්දී පසෙකින් සුන්දරව ගලා බස්නා මහවැලි ගග, විටෙක හූ හඩ නංවමින් ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය, සිතට අමතක නොවන දර්ශනයන් වේ.   

සර්පිලාකාර පඩි පෙළ දිගේ ක්‍රමයෙන් ඉහලට නගිද්දී මා සමග සිටි බොහෝ දෙනෙක්ගේ සිත් සලිත වී ඇති හෙයින්දෝ මගේ සිතත් ඉන් ඔබ්බට යාමට සිත් නොදිනි. අවාසනාවකට ස්තුපයේ ඉහලම තැනට ලගාවීමට මා වාසනාවන්ත නොවුනත්, මා දුටු ආශ්චර්යමත් දර්ශනය මා ක්ලාන්ත නොකල බව නම් පුදුමය. සැබැවින්ම ස්වභාවධර්මයේ සුන්දරත්වයට ලැදි අප සිත් පිරී තිබුනේ සුන්දරත්වය අත්විදීමම බැවින් සුන්දරත්වයෙන් සපිරි මෙකී භූමියට සමුදී සියළු  සුන්දර දේ සිත්හි රදවා ගනිමින් නැවතත් අපි අපගේ ගමනාන්තය බලා ගමන් කිරීම ආරම්භ කළෙමු. 


අම්බුළුවාව ගැන විචිත්‍රවත් වූ මෙම වීඩියෝව
යුටියුබ් ජාලයේ Go Places Sri Lanka චැනලයෙන් උපුටා ගත්තකි.