Pages

Sunday, March 24, 2013

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) II

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් ප්‍රකාශවී නම් එය පතල් කවියක් ලෙසින් ප්‍රකටයි. ඔබ දැනටමත් කියවා ඇති කලින් බ්ලොග්සටහනේ පළකෙරුණු පතල් කවි වලට අමතරව පොතපත ඇසුරින් සකස්කෙරුණු මේ පතල්කවි සමූහය, දේශීයත්වය අගයන දේශීය ජනගී වින්දනයට ලැදි ඔබේ රසාස්වාදනය උදෙසාමයි.


දඩිබිඩි ගගා කරනා වැඩ රටවටියේ
රට වෙඩිදමා කඩනා කලුගල් කැටියේ
මඩයට තියෙන මිනිරන් ගන්නා සැටියේ
උඩයට කරන අයට දෙන්නේ අඩුපඩියේ

පතලක සේවය කරන කම්කරුවෙක්
 ( ඡායාරූපය අන්තර්ජාලයෙනි )
මහත්තයෝ මා කීදේ අහනවද?
අතේ තියෙන කරගැටි පොඩි බලනවද?
පොතේ තියෙන ණය ගණනත් කියනවද?
ගමට යන්න පඩි තුණ්දුව ලැබෙනවද?

බඹරේ කරකවා අත්දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත්මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩගැන බඩදගලනවා

දෝත මුදුන් තබමින් සුරිදුන් වදිමු
සෑම සියලුදෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සීපද කියමු
දෝස දුරලවා අපි ගමරටවල යවමු

නෙත් දෙක සේම මගෙ පොඩිපුතා නුඹට
අත්දෙක සවිය නැත කලුගල් විදින්නට
පත්වූ සැණින් අවසර ඉල්ලාම සිට
අතහැර වරෙන් පුතණුවනේ නුඹ ගමට


පෙර පළකල පතල් කවි කියවන්න මෙතැනින්:
පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I

Saturday, March 16, 2013

පාරුවේ ගමන් ගනිද්දී අත්විදි ජීවන අත්දැකීම් කවියක් ලෙසින් - පාරු කවි (Paaru Kavi)

අපේ ඉතිහාසයේ අපේ ජන කවි අතරට වැටෙන තවත් එක් කවි වර්ගයකි පාරු කවි. ඈත අතීතයේ මිනිසුන් තමන්ගේ එදිනෙදා ජීවිතයට උවමනා බඩු භාණ්ඩ තැනෙක සිට තවත් තැනෙකට රැගෙන යාම සදහා ස්වභාවිකව භාවිතයට ගත හැකිවූ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදා ගැණිනි. ප්‍රවාහන කටයුතු දියුණුව නොපැවති එවන් යුගයක, ඒ සදහා ඔවුන් ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග භාවිතයට ගෙන ඇත. මේවා බොහෝ විට එකල ස්වාභාවිකව සොයා ගත හැකි වූ දෙල්, දොඹ, වල්අඹ  වැනි දැව වර්ග වලින් සාදන ලදී.    

සෝමවීර සේනානායක නම් වූ සම්මානනීය ලේඛකයා විසින් රචිත ගග අද්දර කැලේ නවකතාවේ එක් පරිච්ඡේදයක මෙසේ සදහන් වේ. "අඩි විස්සක් තරම් පළල, අඩි සියයක් තරම් දිග පහුර කොළඹ යාමට සූදානම්ය. පහුර දෙපැත්තේ උණ ලී මිටි මිටි ඇත. ඒ මැද්දේ ඇල්බීසියා කදන් පෙළ ගස්වා එකිනෙකට ඈදා ඇත. කදන් එකිනෙකට ඈදීම සදහා කොරස වැල් සහ දෙකට පැලූ බට දඩු යොදාගනු ලැබෙයි. පහුර මැද්දේ කුඩා පොල් අතු පැලකි. පැල තුළ හට්ටි මුට්ටි, හාල්, පොල්, තුනපහ ද, එළවළු, කරවල ද, මඤ්ඤොක්කා ද ඇත. පැලෙන් පිටත ලී කදන් මත තාර බැරල් පියනක් තබා ඒ මත ගල්තුනක් තබා ඇත්තේ ළිපක් වශයෙනි." යනුවෙන් පහුරක් සාදා ඇති ආකාරය මනාව විස්තර කෙරේ.

ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග අතරින් මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු බහුලව භාවිතා කරන ලද අතර, බරින් වැඩි දැව වැනි දේ ප්‍රවාහනය කිරීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලැබ ඇත්තේ පහුරු සහ පාරුවයි. ප්‍රවාහනය සදහා අවශය්ය දෑ පාරුවකට හෝ පහුරකට පිළිවෙලකට පටවාගෙන, අහුරාගන්නා පාරුකරු, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා පසුකරන ගමන් මාර්ගය ඉතාමත් කටුකයි. විටෙක නිශ්චල වුත් තවත් විටෙක රළුවුත් ගං දිය ඔස්සේ ගමන්ගත් ඒ ගමන් මාර්ගය සැබැවින්ම දුෂ්කර වූවක්. ඉතාමත් දිගුවූ මෙකී ගමන් මාර්ගය එක් දිනකින් නිමා කළ නොහැක්කක් විය. දින ගණන්, සති ගණන් ගංගාවක් දිගේ ගමන් කරද්දී, මග තොට හමුවන තොටුපල වල නැවතී උයාපිහා කමින්  ගමන් කළ යුතු විය. මෙසේ එදා ගංගාවල දිවිගෙවූ ඔරු පාරු කාරයෝ තම කාන්සිය, විඩාව, දුක මඟහරවා ගැනීම සඳහා ගායනා කල කවි  පාරු කවි  ලෙසින් හැදින්වීය.

සැබැවින්ම පාලු, නිසංසල, විටෙක සැඩ පරුෂ වූ ගංගාවක් දිගේ ඉහළට පහළට පාරුව පැද යාමේදී පාරුකාරයන්ට නිතැතින්ම තම ගෙදර-දොර, අඹු දරුවන් මතකයට එන්නට ඇති. මෙසේ ගමන්කරන අතර තුරදී පාරුකරුවන්ගේ සිත්තුල ඇතිවූ ඒ අහිංසක වූත් නිර්මලවූත් දුක පාළුව, අකා මකා දැමීමටත්,  ඔවුන් ලැබූ සුන්දර වූත්, කටුක වූත් ජීවන අත්දැකීම් සමුදාය වචන බවට හරවා තාලයකට කියන්නටත් යෙදුනු අතර, එය ක්‍රමයෙන් තම සහෝදර පාරුකරුවන් අතරත් ප්‍රසිද්ධ වී ජනප්‍රවාහයට එක්වී පාරු කවි ලෙසින් ප්‍රචලිත වීය.

මොටද උපන්නේ මේ වියලුව රටේ
බදපු ගල් බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රටේ
පාරුව පදින රුව බල වේර ගං තොටේ

ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගගකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන

සීරුව ඔබට කණු නොම සිටුවා මහත
වාරුව ඇතිව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යන
පාරුව වැනි ගෙයක් මේ මුලු ලොවේ නැත
මලේ මලේ තැබිලිය වැන්න පොල් මලේ
රළේ රළේ මූදෙන් දමන දිය රළේ
බලේ බලේ රාසිං දෙයියන්ගේ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්

බෝඹු ඉදල දලුලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
කැළනි ගගේ ඔරු යාදෝ නොයාදෝ
කලුගෙ නගා මට දෙන්නේ නොදේදෝ

බෝඹු ඉදල දලුලන්නේ නෑකමටයි
කෙකටිය මලේ වක යන්නේ වතුරකටයි
කැළනි ගගේ ඔරු යන්නේ පැත්තකටයි
කලුගෙ නගා මට දෙන්නේ නෑකමටයි

එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ
දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ
පේරාදෙණියේ පාළම දේදුන්න වගේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මලවගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

සස්සද සසද දිය මතුපිට තිබෙයි කොළ
සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල
වැස්සට පිණි බබා මෝරන කැකුලු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙලුම් මල

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ජාතිත් වාසනාවන් 

Sunday, February 24, 2013

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ (තෙවන දිගහැරුම)


මා දුටු සුන්දරත්වය මොහොතකට හෝ මේ ගීතය තුලින් ඔබටත් දකින්න සිතේනම් මෙන්න ඒ සදහා ඉඩක්....


උදාර සමරවීරගේ සංගීත රිද්මයත්, දිලාන් ගමගේගේ වාංමාලාවත් සුරේන්ද්‍ර පෙරේරාගේ රිද්මයානුකූල නාදයත් එක්ව මුසුකොට නිමවූ මේ ගීතය මාගේ සිත්ගත් ගීතගොන්නට එක්කරගැනීමට මා යොමුකලේ එහිවූ රූපමය ස්වභාවයයි.  හැගුම්බරවූ දෘෂ්‍යම රූපකාව්‍යය නොවන්නට මේ ගීය මාහට තවත් එක් ගීතයක් වන්නට තිබිණි. එහෙත් එසේ නොවී මතකයේ රැදෙන ගීයක් බවට පත්කිරීමේ ගෞරවය සහන් අබේසේකර නම් වූ කලාකරුවාටත් හිමිවිය යුතුයැයි මට සිතේ.

මුණනොගැසුණු යෞවනියක් හා පෙමෙන් බැදෙන තරුණයකුගේ සිතේ නැගෙනා සිතුවිලි බොහොමයකි. තරුණියගේ සිත තුලත් එසේමැයි. හමු නොවුණත් මොහොතකදී යෙදෙන දොඩමලුවීම් ක්‍රමක්‍රමයෙන් ඔවුනොවුන්ගේ ලෝකය බවට පත්වෙයි. එවන් අවස්ථා වලදී එකී ආදරලෝකය හැරුනුකොට තෙවැන්නකට කොහෙත්ම ඉඩක් නොමැත. බාහිර පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් තමන්ට නොදැනෙනවා සේම තමන් සිදුකරන සියල්ලක් තුළම මනසින් ජීවත් වනුයේ තමා හදවතින්ම  පෙම් කරන ආදරවන්තයාගේ/ආදරවන්තියගේ ලෝකය තුලයි. සිත ආදර හැගීම් වලින් වෙලී යයි. ඔහුගෙන් තොරක් ලොවක් නොමැති තරමටම. දෙහදේ ඇතිවන්නාවූ නිරන්තර දොඩමලුවීම් තව තවත් ඔවුනොවුනගේ හදවත් නොදැක සිටීමට බැරි තරමට ලං කරයි. තාමත් මුන ගැහුනේ නැතත් මුණගැසීමේ ආශාව සිතතුළ රජ කරයි. ආදර හැගීම් වලින් සිත් පිරෙයි. එකිනෙකාට ලංවී පෙම්බස් දෙඩීමට සිත්දේ.

"තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ" යන ගීතයේ පදවැල් එය මනාවට දෙසවනට යොමුකරවයි.

නමුත් හදින් ලංවුණු ඔවුනොවුන් පළමුව දකිද්දී ඔවුනොවුනගේ සැබෑ ස්වරූපය දකින මොහොත සැබැවින්ම හදවතේ ආදරය, කුතුහලය, බිය හා මුසුවූ ලැජ්ජාශීලීත්වය පිරී තිබේ. එය අතුරුදහන් වන්නේ තමන් හදවතින් ලෙන්ගතුවූ බලපොරොත්තුවූ රූපකායම තමාඉදිරියේ සිටිද්දීය. එය එසේ වීනම් සැබවින්ම එය සිහිනයක් නොවේද? 

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....

හිත් පොඩියේ තනි වෙච්ච කුම්අදෝනා
පවසන්න අතින් වෙලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...
තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ...

Saturday, February 2, 2013

71 වන ජාතික නිදහස් දිනය | Independence Day of Sri Lanka

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ යටත්විජිතභාවයෙන් මිදී අපේ රටට නිදහස ලැබුනේ 1948 වර්ෂයේ පෙබරවාරි මස 4 වනදාය. අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි, ඩී.එස්. සේනානායක මැතිතුමා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා, එෆ්.ආර්. සේනානායක මැතිතුමා වැනි වීරවරුන් අපගේ රටට නිදහස ලබාගැනීම උදෙසා විශාල කැපකිරීමක් කරන ලද්දෝ වෙති. එය සනිටුහන් කරමින් සෑම වසරකම පෙබරවාරි මස 4 වන දින ජාතික නිදහස් දිනය ලෙසට අප ලබාගත් නිදහස සැමරීම වෙනුවෙන්ම වෙන්කොට තිබේ.  2014 වර්ෂයේ  මේ උදාවූයේ 66 වන නිදහස් සැමරුමයි. අප උපන් මේ ද්වීපයට අදින් හැටහය වසරකට පෙර ලැබුනාවූ නිදහස සමරනු වස් ජාතික ධජයක් ඔසවා හෙළයේ ගාම්භීරත්වය විදහා දැක්වීම අප සැමගේ යුතුකමක් වේ. 

අපේ ජාතික ගීය 

1911 ජනවාරි මස 13 වන දින උපත ලැබූ ආනන්ද සමරකෝන් ශූරීන් අපේ රටේ ජාතික ගීයේ නිර්මාතෲවරයා වේ. එකල ප්‍රකට ගීතරචකයෙකු හා සංගීතවේදියෙකු වූ ආනන්ද සමරකෝන් ශූරීන්, 1940 දී පමණ රචනා කරන ලද "නමෝ නමෝ මාතා" නම්වූ ගීතය අප රටේ ජාතික ගීය ලෙස නම් කරන ලදී.



ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී, සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි 
ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා - ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති - අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ - අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමාප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

Thursday, January 10, 2013

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - සැඳැ කළුවර කුර ගගාවිත් (දෙවන දිගහැරුම)

පෙම්වතෙකුගේ වෙන්වීම දරාගත නොහැකිවූ හුදකලා සිතකට නැගෙන සිතිවිලි රචනයකට නංවමින් ගැයෙන මේ ළයාන්විත ගී රාවය, සොදුරු හදවත් සලිත කරවන තරම් මියුරු හඩකින් ගායන කරන්නේ සංගීත් විශාරද නන්දා මාලනී ශූරිණියයි. මෙහි ගීපද රචනා කොට ඇත්තේ මඩවල එස් රත්නායක මහතා විසිනි.

සැබැවින්ම සුන්දරවූ ආදර ලෝකයේ ආදර දෙහදක ඇතිවන්නාවූ ළයාන්විත බැදීම්, ප්‍රාර්ථනා හා බලාපොරොත්තු එමටයි. සිතන පතන එවැනි දේ අප බලාපොරොත්තු වන ලෙසින්ම ඉටුනොවේ නම්, ආදර හදවත් තුළ උපදින්නේ දුකක් වේදනාවක්.  සැන්දෑ කලුවර දසතින් ගලා එන රාත්‍රියක් ඔබට සිහිවේ නම්;  ඒ රාත්‍රිය ඝන අදුරෙන් පිරී තිබේ. ඒ රාත්‍රිය නිසොල්මන්ය. හැගුම් බරය. එවැනි පරිසරයකදී තනිවූ ආදරවන්තයනට තම ආදරවන්තිය පිළිබදවත්,  ආදරවන්තියනට තම ආදරවන්තයා පිළිබදවත් ආදරණීය සිතුවිලි වලින් සිත පිරී ඉතිරී යයි. එහෙත් තමා ආදරය කරන ආදරවන්තයා තමා ළගනැති බව දැනෙන විටදී හුදකලා වූ සිත පාලුව නම් වූ ඝන අන්ධකාරයෙන් වෙලී සිතට නැගෙන්නේ සාංකාවක්.

"සැඳැ කළුවර කුර ගගාවිත් - ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ - තනිවෙලා මා තනිවෙලා ..."

ඇය තනිවී ඇත. සැදෑ කලුවර නම් වූ පාලුව, කාන්සිය හෙමින් හෙමින් ගලාගෙනවිත් හදවත නම් වූ ඇගේ පැල්පත ඇගේ ආදරවන්තයාගේ දර්ශනයෙන් පිරී යයි. නමුත් ඇය ලග ඔහු නැත. සිත තව තවත් සාංකාවෙන් පිරී යයි. අදුරු රාත්‍රී පරිසරය සිතට දැනෙන ඒ පාලුව, සාංකාව වඩ වඩාත් ත්‍රීව්‍රකරවයි. එහෙත් ඔහුගේ ආදරයෙන් වල්මත් වූ ඇයට ආදර සිතින් වල්මත් වී ශෝකීලාප දෙමින් විදදරා ගැනීම හැරුනු කොට කල හැකි අන් කිසිවක් නොමැත.    

"වළාකුළකුදු නොමැති අහසේ - මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත - අඳුර පමණක් රජවෙලා "

එකදු වළාකුලකුදු නොමැති අදුර පමණක් රජකළ, සුන්දර රාත්‍රියක, සද දෙස බලාගෙන සිහිල් පහස ලබමින්, එකල අප සිහින මැව්වේ සදාතනිකවම ප්‍රේමයෙන් බැදී සිටීමට. එහෙත් කාලය අපට බොහෝ දේ සිතන්නට ඉතිරි කොට තනිකම පමණක් උරුම කරමින් ඔබ මගෙන් දුරස් වී ඇත. අදින් පසු මා මගේ දිවියේ අලුත් මංඉසව් සොයා තනිවම සැරිසැරිය යුතුව තිබේ.

"ඔබේ ලෝකය මගේ ලෝකය - අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර - මගේ හිස මත බරවෙලා...."

එහෙත් ආදරවන්තියක් වූ ඇය කිසිත් ලෙසකින් තම ප්‍රේමවන්තයා කෙරෙහි ද්වේෂයක් ඇති කරනොගනී. සියලු වේදනා විදදරා ගැනීම හැරුනු කොට...ඔහු වෙනුවෙන් ඇයට කළහැකි කිසිවක් නොමැත. ඒ අදුරු රාත්‍රියේ ඇගේ ශෝකීලාප හැගුම් මුලු පදවැල් පුරාවටම ලයාන්විත හඩින් ගැයෙද්දී අප නිතැතින්ම ඒ රාත්‍රිය තුළ විරහවෙන් වේදනා විදි මනසකින් සන්තර්පනය වේ.

සැඳැ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා ...

වළාකුළකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා

සැඳැ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා ...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා....

සැඳැ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා ...

මා සිත්ගත් ඒගීතයට ඔබත් කැමතිනම් පහත සබැදියෙන් රසවිදිමින් මේ සොදුරු නවතැනේදී ගීතවත්ව සමීප වෙමු....



Saturday, January 5, 2013

ඩ්‍රොප්බොක්ස් (Dropbox) හෙවත් නොමිළේ ලැබෙන Online දත්ත ගබඩාව

අපගේ පරිගණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු යාන්ත්‍රික දෝෂයකින් එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියේ දෝෂයකින් හෝ පරිගණක වයිරස් ආසාදනයකින් භාවිතයට ගත නොහැකි පරිදි හානි වුවහොත්, නිසි පරිදි  Backup කරලත් නැතිනම්, නැවත ඒගැන බලාපොරොත්තුවක් තබා ගැනීමත්  සිහිනයක්. සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්  හෝ බාහිර දෘඩ තැටි වැනි මොනයම් හෝ ක්‍රමයක් මගින් පරිගණකයේ ඇති දත්ත Backup කලත්, සමහර අවස්ථාවලදී ඒවයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද අප තුළ ඇත්තේත් බලවත් අවිශ්වාසයක්.

ඩ්‍රොප්බොක්ස් (Dropbox) මෘදුකාංගය එයට හොදම විසදුමක්. එමගින් නොමිළේ ලබා දෙන Online දත්ත ගබඩාව සැබවින්ම අස්වැසිල්ලක්. එය අන්තර්ජාල සබදතාවය පවත්නා ඕනෑම තැනක සිට දත්තයන්ට පහසුවෙන් ප්‍රවේශ වියහැකි, ඒවා තවත් කෙනෙකු හා බෙදාගත හැකි සරළ මෘදුකාංගයකි.

ඩ්‍රොප්බොක්ස් (Dropbox) මෘදුකාංගයහි ක්‍රියාකාරීත්වය ඉතා සරලයි.  ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු අපගේ පරිගණකයේ Dropbox නම් ෆෝල්ඩරයක් ස්ථාපනය වනවා. අප කළ යුත්තේ අපට රක්ෂිත කිරීමට (Save) අවැසි ගොනු (Files) මෙම ෆෝල්ඩරයට පිටපත් (Copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග Auto Synchronization වීමකට ලක් වෙනවා. එනම් පරිගණකයේ එම පිටපත තැන්පත් වෙන විටදීම, අන්තර්ජාල සබදතාවය ඇතිවිටදී එය ඩ්‍රොප්බොක්ස් (Dropbox) අයිතිකරුවන්ගේ සර්වරයක ද එකවරම තැන්පත්  (Save) වීමක් සිදුවෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා.

වඩාත් වැදගත් දේ නම්, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි. එය iPad, iPhone වල මෙන්ම Android  ජංගම දුරකථන තුළද පහසුවෙන් ස්ථාපනය කර ගැනීමට පුලුවන් වීම තවත් පහසුවක්.

එමෙන්ම, ෆේස්බුක් මතට එක්ව ඇති නවතම පහසුකම් අතර ඩ්‍රොප්බොක්ස් මත රදවා ඇති දත්ත ගොනු පහසුවෙන් තම ෆේස්බුක් කන්ඩායම් අතර බෙදා හදා ගැනීමේ හැකියාවද සදහන් වනවා. මෙම පහසුව අත්වීදීමට නම් පලමුව තම ඩ්‍රොප්බොක්ස් ගිනුම, ෆේස්බුක් ගිනුම සමග සම්බන්ද කල යුතු අතර ඉන් අනතුරුව Facebook Wall මත එම ගොනු පෙන්වීම ඇරබෙන බවටයි පැවසෙන්නේ.

තවද Facebook මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා. එලෙසට ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්  බවටයි සැළකෙන්නේ.

ඩ්‍රොප්බොක්ස් මගින් නොමිළේ ලබාදෙන 2GB ධාරිතාව මගින්, අපේ සම්පූර්ණ ලට්ටපට්ට සියල්ලම ගබඩා කිරීමට ලැබෙන ඉඩකඩ සීමා සහිත වුවත්, එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට නම් සාර්ථක පිළියමක්.

ඔබ තවමත් ඩ්‍රොප්බොක්ස් (Dropbox) මෘදුකාංගය භාවිතා නොකරන්නෙක් නම්, පහත ප්‍රවේශය මගින් ඩ්‍රොප්බොක්ස් (Dropbox) සබැදියට ලගාවී අදම වෙනස අත්විදින්න. බයක් හැකක් නැතුව ඕනෑම භාහිර බලපැමකින් නොසැලෙන්න හිදහදාගෙන ෆන් එකේ ඉන්න පුලුවන්.



Saturday, December 29, 2012

පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත

පතල් ජීවිතයත් මුහුදු යාමත් එකයැයි පැරන්නෝ කියති. එහෙත් එය කොහෙත්ම සමකළ හැකියැයි සිතිය නොහේ. රැයක දවාලක වෙනස නොදැනෙන, පොලොව මට්ටමෙන් අඩි සිය ගණනක් යට සම්පත් සොයමින් දෝනා උමං මැද ගෙවන පතල් ජීවිතය සාගර ජලය මතුපිටේ ගෙවුනු මුහුදු රැකියාවට වඩානම් අතිශයින් කටුක වන්නට ඇති. එවන් ලොවක් තුල මුලු දවසම ගතකෙරූ එදා පතල්කරුවා තමාගේ සිතට දැනුනු වෙහෙස, මහන්සිය, කාන්සිය මගහරවා ගැනීම පිණිස තම සිතට නැගුණු සිතුවිලි කවි පද ලෙසින් පවසන්නට යෙදුණි. 

"ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට"


පතල් කර්මාන්තයක් ලෙස පටන්ගත් ඈත අතීතයේ, පතල් සේවයට පැමිණි බොහොමයක් කම්කරුවන් සංක්‍රමිකයන් බව පතල් කවි සියුම්ව අධ්‍යයනයේදී අපට හැගීයේ. "යන්නේ කවදාද මව්පිය දකින්නට" "එනම්, ඔවුනගේ දෙමාපිය නෑදෑ හිතමිතුරන් තමන් සේවයකල පතලට ආසන්නයේ පදිංචිකාරයන් නොවන බවක් පෙනේ. කෙසේනමුත්, කාලයගේ ඇවෑමෙන් සමහරක් පතල්කරුවන් අසළ ගම්දනව් වලින් ආවාහ විවාහ කරගෙන පැලපදියන් වී පතල ආසන්නයේම ගම්වැසියන් වන්නට ඇති.

අධ්‍යාපනික අංශයන් වුවත් නොදියුණුව පැවති යුගයක ජීවත් වන්න, මිළමුදල මතම පමණක් පිහිටා වැඩුනු මනසකින් තම හාම්පුතුන් වෙනුවෙන් දැඩිකැපකිරීමක් කල ඔවුන්ගේ සිත් පොහොසත්ය. ආර්ථික අපහසුතා තිබුණත්, විවේකී දිනට තම උපන්බිමට ගොස් තමා ඇතිදඩිකල මෑණියන් දැකීමට යන්නටවත් මානසික නිදහසක් හෝ ඉඩක් නොලද බව හැගවෙන පහත කවි එදා පතල්කරුවාගේ අසරණත්වය මොනොවට විදහාපායි.

"මහත්මයෝ දුප්පත්කම බලනවද
අතේ තියෙන පොඩි කරගැට පෙනෙනවද
පොතේ තියෙන පඩි ගණනත් පෙනෙනවද
ගමේ යන්ඩ ඕඩරයක් ලැබෙනවද"


එමෙන්ම එදා පතල්කරුවා ඕනෑම දෙයකට සූදානම්, බියක් නැති හැඩිදැඩි වූවෙකු බවත් විටෙකදී හැගී යයි. තමන් නිසි අධ්‍යාපනයක් නොලද නිසා හෝ, තමනට රිසිදේ නොලැබෙන නිසා හෝ, තමා කිසිවෙකුටත් කිසිවිටෙක දෙවෙනි වීමට සූදානම් නැතිබවක් මේ කවියෙන් පවසයි.

"බාස් අයියේ මට බැහැ වැඩ කරන්නට
දහස් ගණන් පඩි තිබුණත් පොතේ මට
පාස් උනේ නැහැ මම කිසිම වැඩකට
බාස් අයියේ මම යනවා හෙට ගමට"



ඇසට නොපෙනෙන ආධ්‍යාත්මික බලවේගයන් සම්බන්ධයෙන් එදා තිබුණේ සදාතනික වූ බැදීමක්.  කෙතරම් කටුක අමිහිරි වුවත්, තමා කරන රැකියාවේදී දේව රැකවරණය, දේව ආරක්ශාව නිතරම ප්‍රාර්ථනා කලබව සමහර කවි තුළින් ප්‍රකට වේ.

"මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මල් පැල පහන් ඇවිලෙන්නේ දෙවියන්ට
පොල්තෙල් පහන් ඇවිලෙන්නේ පෙල දිගට
බිත්ති දෙකට සවි කරලා මුක්කු වැට
සතරවරම් දෙවි පිහිටයි අපි සැමට"


ආදරයට සීමාමායිම්, කාලවකවානු, උස්පහත්කම් නොමැත. දිනපතා උදේ සවස පතල තුලට බසින පතල්කරුවා යනු තවත් පෘතග්ජන මිනිසෙක්. ගත කෙතරම් හැඩිදැඩි වුවත්, ඔහුගේ සිතට වුවද ආදරය, කරුණාව නොදැනුනා නොවේ. එවන් මොහොතකයි මෙවැනි කවියක් කියවෙන්නට ඇත්තේ. 

"ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා"


අපමණ මහන්සිවී තම හාම්පුතුන් වෙනුවෙන් දැඩිකැපකිරීමකින් සේවය කළ එදා පතල්කරුවා ප්‍රශ්ණ, අභියෝග හමුවේ නොසැළී, නොවෙනස්ව තම රාජකාරිය ඉතාම ඕනෑකමින් කැපකිරීමෙන් විනෝදයෙන් ඉටු කලආකාරය පතල් කවි අධ්‍යනයේදී අපගේ සිත්සතන් වලට දැනේ.


පෙර පළකල පතල් කවි කියවන්න මෙතැනින්:

1. පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I
2. පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) II