Pages

Monday, April 1, 2013

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද | Sinhala & Tamil New Year

සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක් මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලාංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා කළා මංගල්‍යයක් වන මෙය සිංහල භාෂාවෙන් "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙන අතර,  එය සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට යෙදේ.   

මේ කාලය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකු වූ කොහා, රතු පාටින් වැසී ගිය එරබදු මලින් බරවුනු තුරුලතා ගොන්නේ සැගවී "කොහෝ කොහෝ " නදින් ගම දෙවනත් කරවමින් අලුත් අවුරුද්ද සපැමිණි බව අපට කියාදෙන පණිවිඩකරුවෙකු වැනිය. වැසි වැටී සරුසාර වුනු කෙත්වතු වලින් අස්වනු නෙලා තම අටුකොටු පුරවාගෙන ලබන්නාවූ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කල් ඇතිව සූදානම් වීම සිංහල බෞද්ධයන්ගේ පාරම්පරික සිරිතකි. ජ්‍යෝතිෂයට අනුව නැකැත් මාලාවක් මගින් පාරම්පරික සිරිත්විරිත් අලුත් අවුරුදු උදාවෙන් පසු මුලින්ම සිදු කෙරේ. එය පවුලේ ගරුකටයුතු වැඩිමහල් පුද්ගලයන් එකතුවී තම දූදරුවනට ආදර්ශයක් වන අයුරින් සිදුකෙරෙන අතර මෙහිදී එකී චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමක් සිදුකෙරේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර
  • නව සද බැලීම (Looking New Moon) - මෙයින් බලාපොරොත්තු වන්නේ සද දෙස බැලීමෙන් අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම මගින් නැවුම්ව, සුභවාදීව උදාවූ වසරේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව සිදුකරගැනීමට අධිෂ්ඨානයක් සිදු කරගැනීමයි.
  • පුණ්‍ය කාලය (Punya Kalaya) - අලුත් අවුරුදු උදාව ලෙස සලකන, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිද්දවන කාලය පුණ්‍ය කාලය නොහොත් නොනගතයයි. පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් නැති මේ කාලය කිසිදු සුභ නැකතක් නොමැත. එහෙයින්, පුණ්‍ය කාලය උදාවීමට පෙර ආහාර අනුභව කොට, කරන්නාවූ සියලු වැඩ කටයුතු අත්හැර ආගමික වතාවත් වල පමණක් යෙදීම අවුරුද්දේ සිදුකෙරෙන තවත් චාරිත්‍රයකි. සිංහල බෞද්ධයින් තම උපතේ සිට මරණය  දක්වාම ගෙවන කාලය තුළ සියලු කටයුතු ගමේ පංසල නැත්නම් තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සිරිතක්. නව වසර උදාවන මොහොතේදී ආගමික කටයුතුවලට මුල්තැන දී කටයුතු කිරීම මගින්, ලබන්නාවූ අලුත් අවුරුද්දේ කරන්නාවූ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට ආශිර්වාද ලබාගැනීමක් මෙහිදී සිදුකෙරේ.  
  • ළිපගිනි මෙළවීම හා ආහාර පිසීම (Preparing of Meals) - පුණ්‍ය කාලය නිමවී අලුත් අවුරුදු උදාවෙන් පසු සිදු කරන පළමු සුභ කටයුත්ත ළිපගිනි මෙලවීමයි. අළුතින් මිලදී ගන්නා ලද මුට්ටියක මුලින්ම කිරිබතක් පිසීම නිවසේ ගෘහණිය විසින් මෙහිදී සිදුකෙරේ. මේ කිරිබත ඊලගට යෙදෙන ආහාර අනුභවය නැකත සදහා ප්‍රයෝජනයට ගන්නා අතර බොහොමයක් ගෘහණියෝ ළිපගිනි මෙලවීමෙන් අනතුරුව, ආහාර පිසීමද සිදුකෙරේ. මෙහිදී පිළියෙළ කරනු ලබන සුවිශේෂී සම්ප්‍රදායික ව්‍යාංජනයකි "හත්මාලුව". ඉතාම රසවත් ව්‍යාංජනයක් වන මේ සදහා කජු ඇතුළුව ස්වභාවිකව සොයාගත හැකි තවත් එලවලු වර්ග හයක් යොදාගනිමින් පිළියෙළ කරගනී.
  • වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා සුභ නැකතට ආහාර අනුභවය (Trading & First Meal of New Year) - සුභ නැකතට ආහාර අනුභවය සදහා සුදානම් කරනු ලබන කෑම මේසය මධ්‍යයේ පහනක් දල්වා ලැබුවා වූ නවවසර තමාටත්, තම පවුලේ සියළු සාමාජිකයන්ටත් යස ඉසුරින් පිරි නිදුක් නිරෝගී වසරක්ම වේවායි ප්‍රර්ථනා කරමින් පළමුව ගෘහමුලිකයා විසින් ආහාර අනුභවය සිදු කරනු ලබයි ඉන්පසුව පිළිවෙලින් තම බිරිදටත් සෙසු පවුලේ සාමාජිකයන්ටත් පළමු කිරිබත් කට කවන අතර, අනතුරුව සියල්ලෝම සතුටින් ආහාර අනුභවය සිදු කෙරේ. අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදුකෙරෙන පළමු ගනුදෙනු කිරීම ගැමියන් විසින් සිදු කරන්නේ තමා බීමට ජලය ලබාගන්නා ලිදත් සමගයි. එමෙන්ම පළමු මුදල් ගනුදෙනුව සිදුකරන්නේ ගමේ ප්‍රසිද්ධියක් ඇති ධනවත් පුද්ගලයෙකු සමගයි. ගෘහමුලිකයාගේ ආරාධනය පිළිගන්නා ඔහු බුලත් අතක තබා යම් මුදලක් ගෙහිමියාට දෙන අතරම, ගෙහිමියා විසින්ද එලෙසින්ම යම් මුදලක් ඔහුට ලබාදේ. එමගින් වසර පුරාවටම අතමිට හිගනොවී සාර්ථකව ගතකිරීමට ගෙහිමයන් ආශිර්වාද ලබා ගනී.    
  • හිසතෙල් ගෑම (Anointing with Oil)
  • රැකීරක්ෂා බලා පිටත්වයාම (Leaving for Work) නිසි චාරිත්‍රානුකූල ලෙසට සිදුකෙරේ.

සිංහල සමාජයේ වඩාත් ජනප්‍රිය පාරම්පරික ජන ක්‍රීඩා සමූහයක් සිදුකරන්නේ මේ අවුරුදු සමයේදීය. ඈත අතීතයේ පටන්ම මෙකී ජන ක්‍රීඩාවන් කලඑළි බසින්නේ බක්මහ අසිරිය ගම්දනව් පුරා පැතිරී යාමත් සමගයි. අවට පරිසරයෙන් මේ ජන ක්‍රීඩාවලට අවශ්‍ය උපකරණ සොයාගනු ලබන අතර, එකට රොක්වන ගමේ බාල මහලු හැමෝගේම සහභාගීත්වය මේ සදහා නොඅඩුව ලැබේ.

අවුරුදු ජනක්‍රීඩා 
  • ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන් දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී සිදුකෙරේ.   
  • පංච දැමීම - මුහුදු බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල් කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන් සහභාගි වන අතර, දෙපිලකට බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.  
  • ඔළිද කෙළිය - ගැමි කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද කෙළිය" නමින් ප්‍රසිද්ධයි. 
  • වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින් ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය.  ඉලක්කය හරි ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.  
  • කැට ගැසීම - කැටගැසීමේ ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක් යොදා ගැනේ. බිත්තියකට හෝ යම් අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.
  • චක්ගුඩු පැනීම
  • රබන් ගැසීම ආදී විනෝදජනක ජනක්‍රීඩා සමූහයක් මෙකලදී දැකිය හැකිය.
පැරණි ජන ක්‍රීඩාවන් ජනප්‍රිය භාවය රැකගනිමින් පවත්වාගෙන යන අතරම, මේ ක්‍රීඩාවන් නවීකරණයන්ට බදුන් වෙමින් පැවැත්වෙන ආකාරයක් වර්තමාන සමාජයේ දැකිය හැකිය. විනෝදාස්වාදය කැටිකරගත් මෙකී ක්‍රීඩාවන් කලඑළි බසින්නේ "බක්මහ සැණකෙළිය", "සුර්ය මංගල්‍යය", "ගම්මැද්දේ අවුරුදු" "සුරිය උදාව", "වසන්ත උදානය" හෝ යම් යම් ආකර්ශනීය නම් වලින්.  බොහෝවිට ගමේ හෝ නගරයේ තරුණයන්, වෙළද ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය ඇතිව, මහා මැරතන් තරගයකින් හෝ මහා පාපැදි තරගයකින් උත්සවය ආරම්භ කොට නිමා කරනු ලබන්නේ දැවැන්ත මහා සංගීත ප්‍රසංගයකිනි. කෙසේවුවත් මෙකී වත්මන් අවුරුදු උත්සව වලදීත්, අපගේ පාරම්පරික ජනක්‍රීඩා සමුහයක් දැකගත හැකියි.

නවීකරණය වූ එකී ජන ක්‍රීඩා අතර, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම, බැලුන් පිපිරවීම, බනිස් කෑම, සැගවුණු අමුත්තා තේරීම, බාධක දිවීම, ගම හරහා දිවීම, ලිස්සන ගසේ නැගීම, පිටි බේසමේ සතය සෙවීම, තරගයට පොල්ගෑම, පොල් අතු විවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, ගෝනි රේස්, තිරික්කල රේස්, බිත්තර ඇල්ලීම, අත්ලෙන් ජලය පිරවීම, බීම බීමේ තරගය, අන්ධයාට කිරි කැවීම, දෙහි ගෙඩිය හැන්දේ තබා ගෙන යාම, විකට ඇදුම් තරගය, හොදම හිනාව, හොදම  ඇඩීම, ජනකවි ගායනා තරග, රබන් ගැසීමේ තරගය, අවුරුදු කුමරා/කුමරිය තේරීමේ තරගය, යනාදී තරග මේ සදහා එක් කොට තිබේ.

සබැදි ලිපි:
හෙළ සිරිතට විනෝදය එක්කරන බක් මහේ ජන ක්‍රීඩා 


No comments:

Post a Comment