Pages

Wednesday, April 24, 2013

වෙසක් උත්සවය | Vesak Festival

 
ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල් අනුස්මරණය කරමින්, ලෝකවාසී බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි වෙසක් උත්සවය. මෙය ශ්‍රීලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.
 
ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අවේනික වූ සම්ප්‍රදායනට අනුකූලව මේ බුදු තෙමගුල එනම් වෙසක් උත්සවය සමරනු ලැබේ. 
 
සෑම වසරකම මැයි මස (වෙසක් මස) පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. සෑම වසරකම මැයි මස පුර පසළොස්වක පෝය දින හා එයට පසු දිනය නිවාඩු දින ලෙස ලබාදෙන අතර, එකී දිනයන් තුළදී බුදු තෙමගුල සැමරීම වස් විවිධ ආගමික වත්පිළිවෙත් වල යෙදීම සිදුවේ. පුරා සතියක පමණ කාලයක් පුරාවට මෙකී වත්පිළිවෙත් සිදු කෙරෙන අතර, වෙසක් පුර පසළොස්වක දින හා එයට පසුදින සියලු මත්පැන් අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන හා මස්, මාලු වෙළද සැල් වසා තැබීමද සිදුවේ. වෙසක් උත්සවයේ දහම් නිදහස සංකේතවත් කරමින් බොහෝ බෞද්ධයෝ මස් මාංශ අනුභවයෙන් වැළකී මසට ඇතිකරන සතුන් හා කූඩු කරමින් ඇතිකළ පක්ෂීන්ට නිදහස ලබාදීමත් සිදුකරති.
 
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවනට ප්‍රමුඛත්වයක් ලබාදෙන බෞද්ධ ජනයා විවිධ ආගමික උත්සව සංවිධානය කරන අතර, සෑම නිවසකම පාහේ අලංකාරවූ වෙසක් පහන් කූඩු වලින්, පාට පාට බල්බ වලින්, බකට් වලින් හා පොල්තෙල් පහන් වලින් අලෝකමත් කිරීම හා වර්ණවත් කිරීම සිදු කරති. වෙසක් උදාවට දින කිහිපයකට කලින් වෙසක් කූඩු තැනීමට
පටන් ගන්නා අතර, මේ සදහා කුඩා ළමුන්ගේ වැඩි සහභාගීත්වයක් දක්නට ලැබේ. ලොකු කුඩා සැවොම එක්වී විවිධාකාර හැඩයෙන් යුතු අටපට්ටම් හෝ තාරකා හැඩයෙන් යුතු වෙසක් කූඩු නිර්මාණය කරන අතර වෙසක් උදාවෙන් පසු ඒවා සැමදෙනාටම නැරබීමට හැකිවන පරිදි ප්‍රදර්ශනය කරනු ලැබේ.
 

වෙසක් කූඩු තැනීමට අමතරව බෞද්ධ ජාතක කථා නිරූපණය කෙරෙන
සුවිශල් තොරණ් නිර්මාණය, දන්සැල් සංවිධානය හා රටපුරා පවතින පුණ්ය ආයතනවලට තෑගිබෝග පිරිනැමීමද සැවොම එක්වී සහයෝගයෙන් සාමයෙන් සිදුකරති.
 
වෙසක් දින පුරාවට සැදැහ සිතින් විහාරස්ථානයන් වෙත ගොස් මල්, පහන් සුවද දුම් බුදුන් ඉදිරියේ පුදා බුද්ධ, ධම්ම, සංග යන තෙරුවන් වන්දනාමාන කරගන්නා අතර, රාත්‍රී කාලයේ වෙසක් සිරි
නැරබීම සිදුකරනු ලබයි.
 
 
 
 
 


All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
- Dhammapada Verse 2 -
 
ඡායාරූප අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment