Pages

Monday, December 24, 2012

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - බණ්ඩාර අයියේ (පළමු දිගහැරුම)

සිරස සුපර්ස්ටාර් තුළින් ජනප්‍රියත්වයට පත් අජිත් බණ්ඩාර හා ශානිකා මධුමාලිගේ හඩින්, චමින්ද සමරනායකගේ සංගීතයට ගැයෙන මේ අලුත් ගීතයේ පද රචනය සන්ජය වික්‍රමතුංගයන්ගෙනි.

තමාට පමණටත් වඩා ආදරය කරන පෙම්වතියගේ හිතට නැගුනු අහිංසක ආශාවනට පිටුපා යානොහී තරම්වූ ස්නේහයකින් ගැයෙන මේ ගීතයෙන් ආදරයේ සොදුරුතම පැතිකඩක් මනාවට පිළිබිඹු කෙරෙයි. ජීවිතයේ සෑම දෙයක්ම මුදල් මතම යැපෙන තරගකාරී ලෝකයක අන් කවරදේ නොලැබුනත්, ඒ සදහා වියපැහදම් කරන්න අතමිට සරුනොවුනත්,  ඔවුනට ඔවුනගේ ආදරයේ මහිමයෙන් බලාපොරොත්තු වන සියලු  ප්‍රාර්ථනාවන් ඉටුවේය යන විශ්වාසය සිත් තුළ තිබේ.

"ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය - දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට - මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස"
එය අවසාන පැදිපෙලෙන් එලෙසට සියුම්ව අපේ හද තුළට හැගේ.


බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්



මැණික් ගගේ වතුර තැටිය අත ගා බැලුවම
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මං හොද හැටියට
මධුමලියේ නුඹේ සෙනෙහේ තරම දැනගත්තයි මම
මේ මැණික් ගගේ රැලි නැගෙන්නේ නැහැ ඒ තරමට



බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්



ලොකු මුදලක් දී නොගත්තාට පුජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස



බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර යළි සිහි කරමින්


වීඩියෝ රුපරාමුව Music.lk යුටියුබ් චැනලයෙනි.

Tuesday, December 11, 2012

ගිරා මලිත්තා



ප්‍රචලිත නාමය: ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot)
විද්‍යාත්මක නාමය: Loriculus beryllinus


ශ්‍රී ලංකාවට ආවේණික මෙම පක්ෂියා පහතරට තෙත් කලාපයේ වගාබිම් වල, කුඩා වනරොදවල හා ගෙවතු බිම් ආශ්‍රිතව සුලභව දැකිය හැකිය. ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ දැකිය හැකි වුවත්, විශේෂයෙන්ම පොල් කර්මාන්තය බහුලව ඇති ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකිය. පොල් ඉඩම් ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි වීමට ප්‍රධානම හේතුව වන්නේ පොල් ගස්වලින් රා පෙරන කාලයේදී තෙලිජ්ජ බීමට දක්වන කැමැත්තයි. ඒ නිසාම ගිරා මලිත්තා "පොල් ගිරවා" නමින් ද හදුන්වයි.   

වේගයෙන් පියෑඹීමට අපූරු හැකියාවක් ඇති මෙම පක්ෂියාගේ නාදය තියුණුය. රංචු වශයෙන් බහුලව දැකිය නොහැකි, තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් නිසංසල තුරු මුදුන් වල දැකිය හැකි, රතු පැහැති හිස මුදුනකින් හා කුඩා වලිග කොටසකින් යුතු මෙම අලංකාර පක්ෂියාගේ වක් වූ හොටය රතු පැහැතිය.

ඉදුණු පළතුරු, මල්පැණි හා කුඩා ධාන්‍ය වර්ග ආහාරයට ගනී. හොදින් වැඩුණු කුරුල්ලෙකු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගින් යුතු වේ. කුරුල්ලා හා කිරිල්ලිය පෙනුමෙන් එක සමාන වුවත් කිරිල්ලියට වඩා කුරුල්ලා වර්ණවත් බැවින් වැඩිය. බොහෝ විට තුරු මුදුනක පිහිටි ගස් බෙනයක් බිත්තර දැමීම සදහා තෝරා ගනු ලබයි. වරෙකට බිත්තර 2-3 ප්‍රමාණයක් දමනු ලබනු බවද සැළකේ. 

ගිරා මලිත්තාගේ ස්වාභාවික වාසස්ථානයන් වූ වනාන්තර හෙළිපෙහෙළි කිරීමත්, සීඝ්‍රයෙන් සිදුවන නාගරිකකරණයත්, පොල් වගාවේ සීග්‍ර විනාශයත්, මෙම අලංකාර පක්ෂියාගේ ජීවන පැවැත්මට අහිතකරව බලපාන ප්‍රධාන හේතුවක් වේ. එබැවින් ශ්‍රී ලංකාවට ආවේණික (ඒකදේශික ) පක්ෂියෙකු වූ ගිරාමලිත්තා නොහොත් පොල් ගිරවා වදවී යාමට නොදී, ඌ ජීවත්වන සුන්දර පරිසරය රැකගැනීම එයට ආදරය කරන අප සැමගේ යුතුකම වේ. 

Friday, December 7, 2012

සංචරණයට කෑගල්ල

ශ්‍රී ලංකාවට ආවේණික වූ පාරිසරික සමතුලිතතාවයකින් අනුන පහතරට තෙත් කලාපීය කදුකර පද්ධතීන්ගෙන් වටවූ සෞමය කාලගුණයක් සහිත, සබරගමුව පළාතට අයත් එක් දිස්ත්‍රික්කයකි කෑගල්ල. අවිවේකී වූ ජීවිතයේ විඩාබර මනස ස්වභාවධර්මයේ සුන්දරත්වයෙන් සන්තර්පණය කරමින් නිස්කලංකව ගෙවා දැමිය හැකි වටපිටාවන් මෙහි එමටයි.

  • පින්නවල අලි අනාථාගාරය - පින්නවල, රඹුක්කන



පින්නවල අලි අනාථාගාරය වූ කලී කිසිදු පිළිසරණක් නොලැබ වනයේ අතරමංවූ කුඩා වල් අලින්ට සෙවන සළසන සොදුරු නවාතැනක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයට ආසන්න වන්නට පින්නවල ප්‍රදේශයේ මෙය පිහිටා තිබේ. කොළඹ සිට නුවර මහාමාර්ගය ඔස්සේ පැමිණියහොත් කිලෝමීටර් 90ක පමණ දුරකින්, කෑගල්ල නගරයේ සිට රඹුක්කන දක්වා යන අතරතුරදී හමුවන මේ ස්ථානයේ ආරම්භය වසර 1975 දී පමණ වූවායැයි සැළකේ.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය හා ජාතික උරුමයන් දැක බලා ගැනීමට එන දේශීය, විදේශීය සංචාරකයන් බොහොමයක් ඇදී එන ප්‍රසිද්ධ ස්ථානයක් වූ පින්නවල අලි අනාථාගාරයේදී, නිදහසේ තමනට රිසිපරිදි ලොකු කුඩා සද්දන්තයන් සමූහයක්, කිසිදු බධාවකින් තොරව එකවර නැරඹිය හැකියි.  එයින් වඩාත් සිත් ඇදගන්නා අවස්ථා වනුයේ දිනකට දෙවරක් සිදුකරනු ලබන ජලස්නානය හා කුඩා අලිපැටවුන්ට කිරිපොවන අවස්ථායි.


පින්නවල අලි අනාථාගාරයට යාබදව ගලාබස්නා මා ඔයේ දියකෙලින මේ සද්දන්තයන් සමූහය සැබවින්ම ඔබට සොදුරු චමත්කාර දසුනක් වනවා නොඅනුමානයි.

  • බෝගල මිනිරන් පතල - අරුග්ගම්මන, කොටියාකුඹුර



කෑගල්ල අවිස්සාවේල්ල බස් මාර්ගයේ මත්තමගොඩ පතල් හන්දියෙන් හැරී හෝ කොටියාකුඹුර මංසන්ධියෙන් හැරී කිලෝමීටර් 5ක් පමණ ගිය විට බෝගල පතල් භූමිය හමු වේ. ගල් තලාව මත බෝ ගසක් තිබීම නිසා බෝගල වූවායැයි සැලකෙන මෙම ග්‍රාමයේ අතීතයේ මහබෝගල, කරදවත්ත, හා පුංචී බෝගල ලෙස පතල් තුනක් තිබුනේයැයි ප්‍රකට අතර, පසුව මේ සියල්ලගෙන්ම ඉතිරිව ඇත්තේ මහබෝගල පතල පමණි.

තාක්ෂණය දියුණුව නොපැවති එදා පතල් කම්කරුවන් අසීමිත දුක්ගැහැට ඔස්සේ කරන ලද මිනිරන් පතල් කර්මාන්තය අද නව්‍යයමය කළමනාකාරීත්වයකින් යුක්තව, නවීන තාක්ෂණයෙන් සන්නධ්දව උපරීම සුරක්ෂිතතාවයෙන් සිදුකරන අයුරු සියැසින් දැකබලා ගැනීමට නම් බෝගල මිනිරන් පතල හොදම සන්ධිස්ථානයක්.


නවීන තාක්ෂණයෙන්, උසස් ප්‍රමිතියකින් හා උපරීම සුරක්ෂිතතාවයකින් කැණීම් කටයුතු සිදුවන ලාංකීය මිනිරන් අපනයනයේ පුරෝගාමී ආයතනයක් වන මෙහි, මහපොළවතුල තම ජීවිකාව සරිකරගන්නා අපූරු දිරිය මිනිසුන් දැක බලාගෙන සදා නොමැකෙන අපූරු අත්දැකීමක් බෙදා හදා ගන්නට සොදුරු නිසංසල වටපිටාවකින් හෙබි බෝගල මිනිරන් පතල සංචරණයට කැමති ඔබට අමරණීය තැනක් වනවා නොඅනුමානයි.

සබැදි ලිපි:
බෝගල මිනිරන් පතල

  • වට්ටාරම රජමහා විහාරය, ඉඹුල්ගස්දෙණිය, කෑගල්ල



ශ්‍රී අරහන්ත මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව සැළකෙන "වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය" ඓතිහාසික මෙන්ම, බෞද්ධ සංස්කෘතික වශයෙන් ද ඉතා වටිනාකමකින් යුතු, නිසංසල පෙදෙසක පිහිටි අතිශයින්ම ආකර්ෂණීය පින් බිමක්. පොල්ගහවෙල නගරයේ සිට කෑගල්ල දෙසට වන්නට කිලෝමීටර හතරක පමණ දුරකින්ද, කෑගල්ල නගරයේ සිට පොල්ගහවෙල දෙසට වන්නට කිලෝමීටර් පහක පමණ දුරකින්ද පිහිටි ඉඹුල්ගස්දෙණිය නම් වූ ග්‍රාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා තිබේ.

මෙම පුද බිමට අතීතයේ "වට්ටාරම" යන නාමය යෙදී ඇත්තේ මේ භුමියේ එවකට ආරාම සමූහයක් පැවති නිසාවෙන් බව සදහන්. හතරවටින් මැදිවූ ආරාම හතරක් මැද තිබූ ආරාමයක ශ්‍රී අරහන්ත මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි නිසා "වටවූ ආරාම" ලෙස ව්‍යවහාර වී පසුව එය "වට්ටාරම" වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

වළගම්බා රජු සමයේ කරවන ලද විහාරස්ථානයක් වූ මෙයට පෙර රජදවස රාජ අනුග්‍රහය ලැබී තිබී ඇති මුත් පසුකාලීනව සිදුවූ යම්යම් ආක්‍රමණ හේතුවෙන් බොහොමයක් ආරාම දිරාපත් වී නටබුන් වී ඇති බවටයි සැලකෙන්නේ. මෙම විහාරභුමිය තුල පුරාණ විහාර මන්දිර, දෙතිස්ඵල බෝධිය, සෙල්ලිපි, තැන තැන විසිරුණු නටබුන් හා පැරණි විෂ්ණු දේවාලය අදටත් දක්නට ලැබේ.

මෑත කාලයේ ක්‍රමවත්ව සිදුකරන්නාවූ නැවුම් ප්‍රතිසංස්කරණ හේතුකොටගෙන දිරාපත්ව තිබු ආරාම, නටබුන් හා ප්‍රවේශ මාර්ගයන් සැදැහැවතුන්ගේ සිත්පහන් වන පරිද්දෙන් නිම කෙරෙමින් තිබේ. එලෙසින් නිමැවුණු චිත්තාකර්ෂණීය විහාර මන්දිරයත්, සුවිසල් පෞරාණික බෝධීන් වහන්සේත්, චෛත්‍යයත් නිසා මෙම පුදබිමට ඓතිහාසික මෙන්ම, සංචාරක වශයෙන්ද ඉතා වටිනාකමක් ප්‍රදානය වී තිබේ.

ආකර්ෂණීය පෙනුම හා පෞරාණිකත්වය හේතුකොට ගෙන සිත්ගන්නා මෙම පුජනීය ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පින්බිමක් බැවින් කෑගල්ල නගරයේ සංචරනයට කැමති ඔබ නැරබිය යුතුම තවත් එක් ස්ථානයක්.

සබැදි ලිපි:
වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය

  • හොලොම්බුව ස්ත්‍රීපුර පුරාණ ලෙන් විහාරය  

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර මංසන්ධියෙන් හැරී දැදිගම මාර්ගය ඔස්සේ හෝ කොළඹ නුවර මාර්ගයේ නම් 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන හමුවන පිටගල්දෙනිය මංසන්දියෙන් හැරී හොළොම්බුව මංසන්ධියෙන් පිටදෙණිය දැදිගම මාර්ගය ඔස්සේ සැතැපුම් 1/2ක් පමණ ගමන් කලවිට මෙම සුන්දර ස්ථානයට සමීප විය හැකි ය. ක්‍රමවත්ව සාදා නිමකර ඇති පියගැට පෙළ ඔස්සේ ඉතා උස් ස්ථානයක ගොඩවූ විට වටේට කඳු සහිත පරිසරය පැහැදිලිව දැක ගත හැකි අතර, උස්බිමේ වූ කඳු ගැටයක් ආශ්‍රයේ එයිතිහාසික ගල්ලෙන් රජමහා විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.

වළගම්බා රජු (ක්‍රි.පූ. 103) තම සේනා සංවිධානය කරමින් යන අතරතුරේ මෙම ස්ථානය තාවකාලික වාසස්ථානයක් ලෙසත්, තම පුරස්ත්‍රීන් සගවා තබාගත් ස්ථානයක් ලෙසත් භාවිතා කර ඇත. එහෙයින් මෙම ස්ථානය ස්ත්‍රී පුර ලෙසින් ප්‍රකට වී තිබේ. එකල පුරස්ත්‍රීන් දිය ස්නානය කල බව සැළකෙන දිය පොකුණක් මෙහි දැකිය හැකියි. එමෙන්ම සතුරන් හා සටන් වැදීමට රජු තම සේනා සංවිධානය කිරීම සදහා ඊට නුදුරින් පිහිටි යටහලෙන වෙත ගොස් නැවත පුරස්ත්‍රීන් සිටි තැනට සැපත්වීමට තැනු උමං මාර්ගයක්ද මෙම ලෙන තුල දක්නට ලැබේ. එසේම රජු මෙම ස්ථානයේ සිට දුණු ශිල්ප ප්‍රගුණ කල බවද කියැවේ.

ස්වභාවධර්මයේ සුන්දරත්වය ප්‍රියකරන ඔබට නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුර ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙනවා නිසැකයි. 

  • යටහලෙන රජමහා විහාරය, යට්ටෝගොඩ 

මෙම රජමහා විහාරය කොලබ නුවර ප්‍රධාන මාර්ගයේ යට්ටෝගොඩ බෙලිගල හන්දිය පසු කරනවිට හමුවන හන්දියෙන් කිලෝමීටර් 1 ක් පමණ දුර වතු මාර්ගයක් දිගේ ගිය විට හමුවේ. වසර 2000 කට වඩා වැඩි අතීතයකට උරුමකම් කියන යටහලෙන රජමහා විහාරය මහානාඝ යුව රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව ජනප්‍රවාදයේ සදහන්. අලංකාර ලෙස කටාරම් කෙටු ගල් ලෙනක් තුල පිහිටා වති මෙම විහාරය තුල මහනුවර යුගයට අයත් යැයි සැළකෙන සිතුවම් හා ප්‍රතිමා දක්නට තිබේ. මෙම විහාරය වටා ස්වභාවික ලෙන් 13 ක පමණ පිහිටා ඇත.  මෙම ස්ථානයේ සිට උමගකින් හොලොම්බුව ස්ත්‍රීපුර ලෙන් විහාරස්ථානය දක්වා ගමන් කල හැකි මාර්ගයක් පැවති බව ජනප්‍රවාදයේ පැවසේ. එහෙත් එකී ලකුණු අද වන විට මෙහි දක්නට නොමැත.

  • බිසෝවෙල රජමහා විහාරය, ගලිගමුව 

ගලිගමුව නගරයේ කොලබ නුවර මහා මාර්ගයට යාබදව පිහිටා ඇති අනුරාධපුර යුගයට අයත්යැයි සැළකෙන මෙම විහාරය කටාරම් කෙටු රමණීය ගල්ලෙනක් තුල පිහිටා ඇත. අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාක්ෂි ඇති මෙම ගල්ලෙන තුල මහනුවර ‍යුගයට අයත්යැයි සැලකෙන අක්ෂර, බිතුසිතුවම් හා ප්‍රතිමා දක්නට ලැබේ. 

පැරණි ක්‍රමයට හීන් රැල්ල යොදා සැදු දොළොස් රියන් සමාධි පිළිම දෙකක්, අදින ලද අගසව් රූප දෙකක් චිත්‍ර කතා වශයෙන් ගල්ලෙනේ අදින ලද නාරිලතා චිත්‍ර හා වෙනත් පුරාන ක්‍රමයට අදින ලද චිත්‍ර රාශියක් මෙහි ඇත.

වළගම්බා රජුගේ බිසෝවරු දෙදෙනෙකු මෙම ප්‍රදේශයේ වාසය කල බවත් ඉන් එක් බිසවකගේ ඉල්ලීම පරිදි මෙම විහාරය කරවන ලද බවත් එම බිසව විසින් විහාරස්ථානයට පුජා කරන ලද වෙලක් නිසා මෙම රජ මහා විහාරය බිසෝවෙල රජමහා විහාරය ලෙසින් ජනප්‍රියත්වයට පත්වූ බවත් ජනප්‍රවාදයේ සදහන්.


  • මාම්පිට වළගම්බා ගල්ලෙන් රජ මහා විහාරය, වේරගොඩ

කොලබ නුවර මාර්ගයේ යට්ටෝගොඩ මංසන්ධියෙන් වේරගොඩ පාරේ මීටර් 400 ක පමණ ගිය විට මෙම විහාරයට ප්‍රවේශ වන මාර්ගය හමුවේ. එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගියවිට මෙම අලංකාර පුදබිම දැකගත හැකිය.

වළගම්බා රජු තම වාසස්ථානයක් ලෙස භාවිතා කර ඇති මෙම ලෙන තුල අදවනවිට ප්‍රතිමා, මුර්ති සහ නුවර යුගයේ චිත්‍ර දක්නට ලැබේ. උස් පර්වතයක මධ්‍යයට වන්නට ඉතා අලංකාර ලෙස මේ ලෙන් විහාරය නිර්මාණය කර ඇත.

  • බැරැන්ඩි කෝවිල - තල්දූව, අවිස්සාවේල්ල



ක්‍රි.ව. 1581-1593 සමයේදී රාජ්‍ය පාළනය කල පළමුවන රාජසිංහ රජදවස සීතාවක රාජධානියේ අග නගරය වූ වර්තමානයේ අවිස්‌සාවේල්ල නමින් හැදින්වෙන නගර සමීපයේ මෙය පිහිටා ඇත. අවිස්‌සාවේල්ල සිට හැටන් දක්වා දිවෙන මාර්ගයේ සීතාවක පාලමට පසුකරනවාත් සමගම හමුවන තල්දූව නගර හංදියේ සිට මීටර් සියයක පමණ දුරින් බැරැණ්ඩි කෝවිල දැක ගත හැකිය.

බැරැණ්ඩි කෝවිල සීතාවක රාජධානියේ රජකල පළමුවන රාජසිංහ රජු විසින් (ක්‍රි.ව. 1581-1593) ඔහුගේ උපදේශකයා ලෙස පත්කරගත් අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් නැමැති හින්දු භක්තිකයාගේ උපදෙස් මත ඉදිකරන ලදැයි සැළකේ. ජනප්‍රවාද වලට අනුව පළමුවන රාජසිංහ රජු  සිය පියා වූ මායාදුන්නේ රජු ඝාතනය කිරීමෙන් ඇතිවූ සිත්වේදනාවෙන් මිදීම පිණිස තම උපදේශකයගේ උපදෙස් පරිදි හින්දු භක්තිකයෙකු බවට පත්වී තමා සිදුකල පාපකර්මයෙන් මිදීම පිණිස මෙම කෝවිල ඉදිකළ ඇතැයි  සැළකේ. පසු කාලීනව පෘතුගීසීන්ගේ ආක්‍රමණයනට හසුව නෂ්ටාවශේෂ බවට පත්ව තිබූ මෙම ස්ථානය 1896 වර්ෂයේදී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගෙන ප්‍රතිසංස්කරණය කොට තිබේ.

ශිලාමය කලාත්මක කැටයම් වලින් සමන්විත වූ කලුගල් වලින් නිමවා ඇති සුන්දර සීතාවක ගංමිටියාවතේ පිහිටා ඇති පෞරාණික ස්ථානයක් වන මෙය එයිතිහාසික සීතාවක රාජධානියේ නැරඹිය යුතුම තවත් එක් අමරණීය ස්ථානයක් වනවා නොඅනුමානයි.

  • පෙතංගොඩ කටු උණ පදුර - පෙතන්ගොඩ, කන්නත්තොට



කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයෙන් පැමිණ අගුරුවැල්ල නගරයෙන් හෝ කන්නත්තොට නගරයෙන් හැරී කිලෝමීටර් 5-6 ක පමණ දුරක් යනවිට මෙම ස්ථානය ඔබට හමුවේ. 

හෙළයේ රණකාමී ශ්‍රේෂ්ඨ රජෙකු වූ සීතාවක රාජසිංහ නොහොත් පළමුවන රාජසිංහ රජුගේ මගුල් උයන පිහිටි ස්ථානය යැයි සැළකෙන පෙතංගොඩ උයන් භූමිය පෞරාණික වශයෙන් වැදගත් වන්නේ අදටත් එහිදී දකින්න පුලුවන් කටු උණ පදුරු යුගලය නිසයි.

ක්‍රිස්තු වර්ෂ 1592 දී පමණ පෘතුගීසීන් හා ඇතිවූ යුද්ධයෙන් පරාජය ලැබූ රාජසිංහ රජු සීතාවක පිහිටි මෙම උයනට පැමිණ ඇති අතර, එහිදී කටු උණ පදුරේ උණ කටුවක් ඇණී විෂවීමෙන් මරණයට පත්වූ බවට ප්‍රකටයි.

  • ගනේගොඩ ලෙන් විහාරය, අලවතුර, බුලත්කොහුපිටිය

කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ අලවතුර නගරයෙන් හැරී ටිකදුරක් ගියපසු මේ සිත්ගන්නා විහාරය අපට  හමුවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකරන ලද පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙසින් දක්වා ඇති දැන්වීම් පුවරුව සහිත ගමන්මග සොයාගැනීම ඔබට එතරම් අපහසුවන්නේ නැහැ. ගඩලාදෙණිය හා ලංකාතිලක විහාරයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පයනට හා කලාත්මක කැටයම් වලට සමාන ලක්ෂණ දක්වන මෙම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගලින් තනන ලද එකම ලෙන්විහාරය බවටද සැළකේ.

සබැදි ලිපි:

  • ඕලු ඇල්ල, අමනාවල, යටියන්තොට   

  • සුරඹ ඇල්ල, වාගොල්ල හන්දිය, බුලත්කොහුපිටිය

කැළණි ගගේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට, මේ දියඇල්ලෙන් ගලන දිය දහර එකිනෙක හමුවන්නේ වාගොල්ල හන්දියට මදක් ඔබ්බෙනි.  උසින් මීටර් 20-25 ක් පමණ වූ මේ දියඇල්ල බුලත්කොහුපිටිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ සිටම වුවද පැහැදිලිව දෘෂ්‍යමාන වේ. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් වාගොල්ල හන්දියට පැමිණ මේ සොදුරු දියදහර ඔබට නැරඹිය හැකියි.


  • රිකිල්ල ඇල්ල - උඩපොත, බුලත්කොහුපිටිය

කැළණි ගගේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට එකතු වන රිකිල්ල ඇල්ල උසින් මීටර් 30 ක් පමණවේ. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ඉදිරියට යනවිට මේ සුන්දර දියඇල්ල අපට හමුවේ.


  • නලගන ඇල්ල - නෙලුවක්කන, බුලත්කොහුපිටිය

කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයේ කිලෝමීටර් 9 ක් පමණ ඉදිරියට යනවිට මේ සුන්දර දියඇල්ල අපට හමුවේ.


  • රුක්මල් ඇල්ල - දේදුගල, බුලත්කොහුපිටිය



කෑගල්ල-බුලත්කොහුපිටිය මාර්ගයෙන් හෝ අවිස්සාවේල්ල-බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයේ කිලෝමීටර් 12 ක් පමණ ඉදිරියට යනවිට මේ සුන්දර දියඇල්ල අපට හමුවේ.


මහාමාර්ගයේ සිටම නැරඹිය හැකි මීටර් 20ක පමණ උසකින් යුතු මේ සුන්දර දියඇල්ල ගල්තලාව පුරා සුන්දරව විහිදී තිබේ.ස්වාභාවික දියඋල්පත් වලින් හා නිරිතදිග මෝසම් සමයේදී මේ ප්‍රදේශයට ඇදහැලෙන වැසි ජලයෙන් මනාව ස්වයංපෝෂිත වන රුක්මල් ඇල්ලේ සිසිලස මහාමාර්ගය අයිනේ සිටම අත්විදිය හැකිය. විටෙක ඔබව පින්නෙන් නැහැවෙන තරමටම ...


අවසාන යාවත්කාලීන කිරීම: 2017-02-24 

Thursday, December 6, 2012

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I

නුතන සිංහල ජන සංගීතයේ මුලාරම්භය සේ සැලකිය හැකි ජන කවි ඈත අතීතයේ පටන්ම සිංහල ජනයා අතර ප්‍රචලිත වෙමින් පාරම්පරිකව පැවතගෙන එන්නකි. මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ ජන කවි සදහා පැහැදිලි නිර්මාණකරුවෙකු නොමැති වීමත්, එයටම ආවේණික වූ රිද්මයක් පැවතීමත්ය. එදා එකිනෙකා තමතමනට උරුම වූ රැකියාවල නිරත වෙද්දී අත්විදීමට සිදුවුණු කටුක අත්දැකීම්, සෙනෙහෙබර හැගුම් අව්‍යාජව, නිර්භයව ප්‍රකාශ වූ මාධ්‍යයක් ලෙස සිංහල ජනකවිය අර්ථ දැක්විය හැකිය.

එවන් වූ අතීතයක් හිමි අපේ ජනකවි අතර පතල් කවි වලට හිමිවන්නේත් සුවිශේෂී  ස්ථානයක්. එදා මිනිරන් ඉල්ලමක් සොයා ජීවත්වන්නට මහපොළවත් සමග කටුක සටනක යෙදුනු පතල්කරුවා ස්වකීය ජීවන වෘත්තියේ තමන් අත්විදි පාලුව, තනිකම, කටුකබව හා බිය දුරුකර ගැනීම උදෙසා ගැයූ කවි අතීතයේ පටන් පතල්කරුවන් අතර කටින්කට ප්‍රචලිත වෙමින්, පැවත එමින් පතල් කවි ලෙසින් ප්‍රසිද්ධ විය. 

මතුපිටදී මෙන් හුස්ම ගැනීමට පහසු නොවූ, අඳුරු, උණුසුම් වතාශ්‍රයෙන් පිරි, යන්තම් හිස වදින නොවදින ප‍්‍රමාණයට කපා ගෙන ඇති ගල් දෝනාවක් දිගේ මිනිරන් කඩමින්, පොළොව මතුපිට සිට බඹ ගණනාවක් ගැඹුරු ඉසව්වක රැකියාවක් කරද්දී ඇතිවන දුක්බර හැගීම් පහත පතල් කවි තුළින් අපට මනාව පිළිබිඹු වේ.

දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ


පතලක සේවය කරන කම්කරුවෙක්
 (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට


වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
දබරෙ උඩින් දම්වැල වාසනාවන්
දුප්පත් අපට පතලේ වාසනාවන්

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
ඈත හිටන් කටහඬ පානුය අම්මේ

මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැගෙන
මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

ඉර පායා එනකොට රැස් විහි දෙනවා
සද පායා එනකොට තරු දිලි සෙනවා
මල් පිපිලා සුවදට බමරුන් එනවා
ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා


පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත කියවන්න මෙතැනින් ....