පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුවන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද, පණ්ඩුක උපාසක මහතාද ලංකාවට වැඩම කර බුද්ධාගම ස්ථාපනය කිරීම හේතුවෙන් මෙරට ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් විශාල පෙරළියක් සිදු වූ බව සත්‍යයකි. යක්ෂ, භූත, ප්‍රේතයන් හට බියෙන් බිළිපූජා පවත්වමින්, අප්‍රාණික සුවිශල් ගස්, ගල් වලට වන්දනාමාන කල යුගයක සපැමිනි මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස නිර්මල බුදුදහම ලංකාදීපයෙහි ස්ථාපිත කෙරුණු ඓතිහාසික සංධිස්ථානය සිහිකරනු වස් සෑම වසරකම පොසොන් පොහොය දින වත්පිළිවෙත් සිදුකරනු ලබයි.
මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජු මිහිදු මහ රහතන් වහන්සේගේ විචාරයනට බදුන් වෙමින් ධර්මාවබෝධය ලබාගැනීම (සිතුවම අන්තර්ජාලයෙනි) |
අනුරාධපුරය අගනගරය කරගත් එකී යුගයේ රටපාලනය කල රජෙකුවූ තිස්ස රජ දවස මෙසේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස ලක්දිවට වැඩම කරන ලදී. මිහිදු හිමි ඉන්දියාවේ සිට මෙහි වැඩම කල අතර උන්වහන්සේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙකි. අඹ වනය පුරා සැරිසරන මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජුට තමාගේ නම කියා අමතන හඩක් ඇසී එදෙස බැලූවිට දක්නට ලැබී ඇත්තේ මිහිදු හිමි ඇතුලු පිරිසයි. ප්‍රශ්න විචාරීම තුලින් රජුගේ බුද්ධිය තක්සේරු කරගත් මිහිදු හිමි, තිස්ස රජු ඇතුලු පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුනි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැළකේ. ධර්මාවබෝධය තුලින් බුද්ධ ධර්මය කෙරෙහි සිත නැඹුරු කරගත් තිස්ස රජු ඇතුලු රාජකීයයන් බුද්ධාගම වැලඳගැනීමත් සමගම ගම් නියම්ගම් පුරා බුදුදහම ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් ජනතාව ඈත්කරවමින් සුමගට යොමු කරවීමට සමත් විය.
මෙසේ ධර්මය හොදින් වටහාගත් තිස‍්ස රජ දේවානම්පියතිස‍්ස නොහොත් දෙවනපෑතිස්ස නමින් නැවත රාජාභිෂේක ලද අතර, ඔහු විසින් මහමෙවුනා උයන පිළිසකර කොට රහතන් වහන්සේලාට පූජාකරන ලදී. තමන් බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය වූ මිහින්තලය අවට ලෙන් විහාර පිළිසකර කර සඝසතු කල අතර, බුදුන්වහන්සේගේ ධාතූන් තැන්පත්කරමින් ථූපාරාම දාගැබ ද තනවන ලදී.
දේවානම්පියතිස‍්ස රජු විසින් කරවන ලද ථූපාරාම දාගැබ (පැරණි සේයාරුවක්) |
දේවානම්පියතිස්ස රජු හා ධර්මාශෝක රජු අතර බැදි මිත්‍රත්වය හේතුවෙන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයක් තම දියණිය වන සංඝමිත්තා මෙහෙණිය සමගින් ලංකාවට රැගෙන එන ලදී. මහමෙවුනා උයනේ රෝපණය කරන ලද එය වර්තමානයේ ඓතිහාසික ජය ශ්‍රීමහා බෝධිය නමින් හැදින්වේ. සංඝමිත්තා මෙහෙණියගේ සපැමිණීමත් සමගම මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදුවුණි. සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.
දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීමත් එයට රාජ අනුග්‍රහය ලැබීමත් සමගම දිවයින පුරා බුද්ධාගම ව්‍යාප්ත වුනු අතර, එහි අංගයක් වූ සංස්කෘතික හා කලා කර්මාන්තයන්ගේ විකසනයද සිදුවුනි. අහස්කුස සිසාරා සෑදුණු අහස සිඹින මහ දාගැබ්, ගංගා හරස්කරමින් සෑදුණු මහ සයුර පරදවන මහ වැව්, සිත සමාධිගත වන බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් පසළොස්වක පොහොය දින සිදුවූ මහින්දාගමනය නිසා උරුමවුනු ජීවමාන සාධකයන් වේ.