Pages

Thursday, August 1, 2013

ඓතිහාසික අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරය | Isurumuniya : Ancient temple in historical City of Anuradhapura

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු අගනගරය වූ අනුරාධපුර නගරයේ රජකළ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-210) විසින් ගොඩ නංවන ලද, ඉතාමත් උසස් කලා නිර්මාණ රැසකින් සමන්විත ඉසුරුමුණි විහාරය සුන්දර පිහිටීමකින් හෙබි ඉතා මනරම් ප්‍රදේශයක පිහිටා තිබේ. ඓතිහාසික අනුරාධපුරයේ ඇති අනගිබවනීය වූ බෞද්ධ සිද්ධස්ථාන අතරින්, තිසාවැවට නැගෙනහිර දෙසින් සහ රන්මසු උයනට දකුණින් පිහිටා ඇති ඉසුරුමුණියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.  
ඉසුරුමුණිය විහාරයේ පෞරාණික රූපරාමුවක්

වංශ කතාවල සඳහන් පරිදි ඉසුරුමත් පුරුෂයන් පන්සියයක් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා වැඩසිටි ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා වෙහෙරක් කළ බවත් එය පසුව ඉසුරුමුණිය නම් වූ බවත් පැවසේ. ඉසුරු කුලයෙන් පැවැදි වු අරිට්ඨ ප්‍රධාන පන්සියක් දෙනා මෙහි විසු බැවින් ඉස්සරසමණාරාම (ඉසුරුමුණි) ලෙසට ප්‍රචලිත වූ බවටත් ප්‍රසිද්ධයි. පසුකාලීනව රජ පැමිණි කාශ‍යප  රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට, ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට මෙම විහාර පරිසරය "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කල බවද පොතපතේ සදහන් වේ. 

මා දුටු ඉසුරුමුණිය විහාරය
විශාල පර්වතයකින් හා පොකුණකින් යුක්ත වූ මෙහි, ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් තිබෙන අතර, එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත.
විහාර ගෙට ප්‍රවේශ වන ශෛලමය පිය ගැට පෙළ
ඉසුරුමුණියේ ලෙන් විහාරයට වම්පසින් ගල්පර්වතයේ නෙලා ඇති ‘මිනිසා සහ අශ්ව හිස’නමැති කලා නිර්මාණය මේ වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

පිහිටි ගලෙහි කැටයම් කරන ලද "මිනිසා සහ අශ්ව හිස" පිළිරුව 
මෙයට අමතරව ඇති කළා නිර්මාණ අතරින් ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම දේශීයව විදේශීයව වඩාත් ප්‍රසිද්ධය. කලාත්මක කැටයමක් වූ ඉසුරුමුණියේ පෙම්යුවල කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටිනා ඉරියව්වක් නිරූපණය කරයි. මෙම කැටයමෙන් නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයිද ප්‍රකටයි. 

ක්‍රි.ව. 4 - 6 සියවසට අයත්යයි සැලකෙන
ඉසුරුමුණියේ පෙම්යුවල

විවේකී සතිඅන්තයේ පවුලේ සැවොමත් සමගින් තෙත් කලාපයෙන් වියළි කලාපයට කෙරුණු අනුරපුර මේ සංචාරයේදී අටමස්ථානය ඇතුලු සෑම පූජනීය ස්ථානයක්ම නැරබීමට අවස්ථාවක් නොලැබුනත්, ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරය සිත්සේ නරබා වන්දනාමාන කරගැනීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් නම් අපේ සිත් තුල ඇත්තේ අපමණ ප්‍රීතියක්.ඒ සම්බන්ධයෙන් නිසි මගපෙන්වීමක් ලබාදෙමින්, එකී ස්ථානවල පෞරාණික වැදගත්කම වටහාදුන් බෝගල ආයතනයේ හිටපු නිලධාරී මහතෙකු වූ ඩබ්.පී. කුමාරසිංහ සහ එම මහතාගේ දයාබර මෑණියන් ඇතුලු පවුලේ සියලු දෙනාටම අපගේ හදපිරි සතුට මෙහිදී ප්‍රකාශ කර සිටින්නෙමු.

සැබැවින්ම ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරයට නුදුරෙන් මෑතකදී තනා ඇති දිය පොකුණ, ලෝක පූජිත ශෛලමය කලා නිර්මාණ, ඓතිහාසික බෝ සමිඳුන් සමගින් ඈතට දිස්වන ශ්වේතමය ස්ථූපය මෙන්ම ගල මුදුනට පියමං කළහැකි ශෛලමය පිය ගැට පෙළ අපේ මතකයේ සදා රැදේවි. සාඩම්බර අතීතයක මං සළකුණු සටහන් කෙරුණු මේ කලා නිර්මාණ අපට කියාපාන්නේ අපේ ජාතියේ උතුම්වූ ශ්‍රේෂ්ට බවයි.

චිත්‍රා සෝමපාල නම් වූ කලාකාරිණිය විසින් ගායනා කරන්නට යෙදුණු "ඉසුරුමුනියෙහි"නම් වූ ගීතය  තුළින් ගැයෙන්නේත් ඓතිහාසික ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම කැටයම් කළ අතීත කලාකරුවන් ගැන වර්ණනාවක්. මෙවන් උසස් නිර්මාණ වත්මන් පරපුරට දැකබලා ගැනීමට දායාද කිරීම සම්බන්ධයෙන් අතීත කලාකරුවනට ඔවුන් කළ සේවය වෙනුවෙන් අපගේ ණයගැතිබව ප්‍රධානය කෙරෙන ගමන්ම එය අපට ආඩම්බර වියහැකි කරුණක් බවටද ගීතයෙන් අර්ථවත් වේ. නව රිද්ම‍යට ගැයෙන මේ ගීතයෙන් ඔබේ සිතටත් එවන් හැගුමක් ජනිත නොවේදැයි ඔබම මොහොතක් සිතා බලන්න.

මා සිත්ගත් ඒගීතයට ඔබත් කැමතිනම් පහත සබැදියෙන් රසවිදිමින් මේ සොදුරු නවතැනේදී ගීතවත්ව සමීප වෙමු....

Monday, July 1, 2013

ඩ්‍රොප්බොක්ස් වලට අභියෝගයක් වූ ගූගල් ඩ්‍රයිව් (Google Drive) Online දත්ත ගබඩාව | What is Google Drive?

අන්තර්ජාලයේ දත්ත සුරැකුම් මධයස්ථාන (Cloud Storage Centers) අතර පෙරමුණ ගත් ඩ්‍රොප්බොක්ස් (Dropbox), මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් (Microsofts' Skydrive) හා ඇපල් අයි කලවුඩ් (Apple's iCloud) ගොන්නට එකතුවූ තරගකාරී ගූගල් ඩ්‍රයිව් (Google Drive) කියන්නෙ තොරතුරු ගබඩා කරන්නත්, ඒ තොරතුරු වෙනත් සේවාවන් සමග සම්බන්ධ කරගන්නත් පුලුවන් අලුත් වෙබ් සේවාවකටයි.

Google Drive is a cloud storage service...
ගූගල් ඩ්‍රයිව් කියන්නේ ඩ්‍රොප්බොක්ස් වගේම නොමිළේ ලබා දෙන Online දත්ත ගබඩාවක්. එය ජීමේල් ගිනුමක් හිමි ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට ලියාපදිංචි වී පහසුවෙන් ප්‍රවේශ වියහැකි, තැන්පත් කර ඇති දත්තයන් තවත් කෙනෙකු හා බෙදාගත හැකි අලුත් වෙබ් සේවාවක්. ඇපල් අයි කලවුඩ් වැනි සේවාවන් iOS භාවිතා කරන්නන්ට පමණක් වුවත්, ගූගල් ඩ්‍රයිව් ඕනෑම මෙහෙයුම් පද්ධතියකදී යොදා ගත හැකි අතරම, ඇපල් අයිපෑඩ්, අයිෆෝන් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට්ස් වල හා ජංගම දුරකථන වලද භවිතා කලහැකි වනවා.

It provides upto 5GB of free space to store your documents, photos, music, videos, etc.. in one place & sync with it your all mobile devises and your computer. 
Further it tracks your changes. So, if you make an edit to the document and hit Save, you can still look back at all your revisions from the past 30 days........ 
ගූගල් ඩ්‍රයිව් කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් (Google Docs) සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් ලෙසින් මුදාහැර ඇති අතර, එයට ඔබගේ ජී මේල් ගිනුම හරහා සම්බන්ධ විය හැකි වනවා. ඒ හැර මේ සදහා වූ විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවන අතරම, එක ලියාපදිංචි වීමක් හරහා ගුගල් සේවාවන් සියල්ල සමග එකවර වැඩ කල හැකි වනවා. ගූගල් ඩ්‍රයිව් මගින් නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙන අතර මෙය අපගේ දත්ත තැන්පතුවට ඉමහත් අස්වැසිල්ලක්. මාසික මුදලක් ගෙවීමෙන් මෙයට වඩා වැඩි ධාරිතාවයක ඉඩක් වෙන් කරගත හැකියි.


ගූගල් ඩ්‍රයිව් ගැන තවදුරටත් දැනගන්න මෙතැනින් .. 

සබැදි යොමුව:
ඩ්‍රොප්බොක්ස් (Dropbox) හෙවත් නොමිළේ ලැබෙන Online දත්ත ගබඩාව 
ගැන තොරතුරු දැනගන්න.

Friday, June 21, 2013

මහින්දාගමනයෙන් එළිය වුනු පොසොන් පොහොය දිනය | Poson Festival

පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුවන් වහන්සේලා හා සුමන සාමණේරයන්ද, පණ්ඩුක උපාසක මහතාද ලංකාවට වැඩම කර බුද්ධාගම ස්ථාපනය කිරීම හේතුවෙන් මෙරට ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් විශාල පෙරළියක් සිදු වූ බව සත්‍යයකි. යක්ෂ, භූත, ප්‍රේතයන් හට බියෙන් බිළිපූජා පවත්වමින්, අප්‍රාණික සුවිශල් ගස්, ගල් වලට වන්දනාමාන කල යුගයක සපැමිනි මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස නිර්මල බුදුදහම ලංකාදීපයෙහි ස්ථාපිත කෙරුණු  ඓතිහාසික සංධිස්ථානය සිහිකරනු වස් සෑම වසරකම පොසොන් පොහොය දින වත්පිළිවෙත් සිදුකරනු ලබයි.

මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජු මිහිදු මහ රහතන් වහන්සේගේ
විචාරයනට බදුන් වෙමින් ධර්මාවබෝධය ලබාගැනීම
(සිතුවම අන්තර්ජාලයෙනි)
අනුරාධපුරය අගනගරය කරගත් එකී යුගයේ රටපාලනය කල රජෙකුවූ තිස්ස රජ දවස මෙසේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස ලක්දිවට වැඩම කරන ලදී. මිහිදු හිමි ඉන්දියාවේ සිට මෙහි වැඩම කල අතර උන්වහන්සේ  ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයෙකි. අඹ වනය පුරා සැරිසරන මුවන් දඩයමෙහි යෙදුනු තිස්ස රජුට තමාගේ නම කියා අමතන හඩක් ඇසී එදෙස බැලූවිට දක්නට ලැබී ඇත්තේ මිහිදු හිමි ඇතුලු පිරිසයි. ප්‍රශ්න විචාරීම තුලින් රජුගේ බුද්ධිය තක්සේරු කරගත් මිහිදු හිමි, තිස්ස රජු ඇතුලු පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබාදුනි. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැළකේ. ධර්මාවබෝධය තුලින්  බුද්ධ ධර්මය කෙරෙහි සිත නැඹුරු කරගත් තිස්ස රජු ඇතුලු රාජකීයයන් බුද්ධාගම වැලඳගැනීමත් සමගම ගම් නියම්ගම් පුරා බුදුදහම ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් ජනතාව ඈත්කරවමින් සුමගට යොමු කරවීමට සමත් විය.

මෙසේ ධර්මය හොදින් වටහාගත් තිස‍්ස රජ දේවානම්පියතිස‍්ස නොහොත් දෙවනපෑතිස්ස නමින් නැවත රාජාභිෂේක ලද අතර, ඔහු විසින් මහමෙවුනා උයන පිළිසකර කොට රහතන් වහන්සේලාට පූජාකරන ලදී.  තමන් බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය වූ මිහින්තලය අවට ලෙන් විහාර පිළිසකර කර සඝසතු කල අතර, බුදුන්වහන්සේගේ ධාතූන් තැන්පත්කරමින් ථූපාරාම දාගැබ ද තනවන ලදී. 
දේවානම්පියතිස‍්ස රජු විසින් කරවන ලද ථූපාරාම දාගැබ
(පැරණි සේයාරුවක්)

දේවානම්පියතිස‍්ස රජු විසින් කරවන ලද ථූපාරාම දාගැබ
(මෑතකදී ගන්නාලද සේයාරුවක්)
දේවානම්පියතිස්ස රජු හා ධර්මාශෝක රජු අතර බැදි මිත්‍රත්වය හේතුවෙන් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයක් තම දියණිය වන සංඝමිත්තා මෙහෙණිය සමගින් ලංකාවට රැගෙන එන ලදී. මහමෙවුනා උයනේ රෝපණය කරන ලද එය  වර්තමානයේ ඓතිහාසික ජය ශ්‍රීමහා බෝධිය නමින් හැදින්වේ. සංඝමිත්තා මෙහෙණියගේ සපැමිණීමත් සමගම මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදුවුණි. සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.

දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීමත් එයට රාජ අනුග්‍රහය ලැබීමත් සමගම දිවයින පුරා බුද්ධාගම ව්‍යාප්ත වුනු අතර, එහි අංගයක් වූ සංස්කෘතික හා කලා කර්මාන්තයන්ගේ විකසනයද සිදුවුනි. අහස්කුස සිසාරා සෑදුණු අහස සිඹින මහ දාගැබ්, ගංගා හරස්කරමින් සෑදුණු මහ සයුර පරදවන මහ වැව්, සිත සමාධිගත වන බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් පසළොස්වක පොහොය දින සිදුවූ මහින්දාගමනය නිසා උරුමවුනු ජීවමාන සාධකයන් වේ. 

Friday, May 10, 2013

සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය | Horton Plains National Park

වසන්තය නිමාවී ඇති මුත් තොරතෝංචියක් නැතිව ඇදහැලෙන සිරිපොද වැස්ස අප සිටි සීඝ්‍රගාමී දුම්රියේ කවුළු අතරින් අපට දර්ශනය වේ. තවත් එක් සුන්දර වූ හිමිදිරියක, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රියට ගොඩ නැගුනු අප මේ ගමන් කරන්නේ දෙස් විදෙස් කාගේත් සිත්වසග කල ශ්‍රීලංකාවේ පිහිටි අති සුන්දරම වූ භූමිභාගයක් නැරඹීමටයි.

පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ලෝකාන්තය උද්‍යාන පිවිසුමට
ගමන්කල යුතු දිශාව හා ගමන්කාලය දැක්වෙන පුවරුව. 
හෝර්ටන් තැන්නට ලගාවිය හැකි ගමන් ආකාර කිහිපයකි. මහා කදුසිසාරා සෑදුනු බිංගෙවල් තුලින් ඇදෙන දුම්රිය කවුලුවකින් ඈත පෙනෙන නිසංසල තේයායක සුන්දරත්වය විදිමින් යාහැකි දුම්රිය ගමන මින් වඩාත් රසවත්යැයි මට සිතේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන දුම්රියට ගොඩවී පට්ටිපොල දුම්රිය ස්ථානයට හෝ ඔහිය  දුම්රිය ස්ථානයට හෝ ගොස් එතැන් පටන් කිලෝමීටර් 14
ක පමණ දුරක් ගියවිට සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය හමුවේ. වාහනයකින් ගමන් ගන්නේ නම් නුවරඑළිය නගරයේ සිට ලගාවිය හැකිය. මෙයින් අප තෝරාගත්තේ දුම්රියෙන් පට්ටිපොල දුම්රිය ස්ථානයට ලගාවී එතැන් පටන් වාහනයකින් ගමන් කිරීමයි.

 නිමේෂයකින් මීදුම් සලුවෙන් වැසීයන සොදුරු තුරුලතා
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හෙක්ටෙයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 - 2,300 අතර උසකින් පිහිටා තිබේ. මේ හේතුකොටගෙන තුරුමුදුන් සහිත කදුසිඛරයන් නිරන්තර මිහිදුම් සලුවෙන් වැසී ඇති අතර, එය රටේ ප්‍රධාන ගංගා කිහිපයකටම ජලයෙන් පෝෂණය සපයන ගංගාධර ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා තුනට අවශ්‍ය ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් සදහා වූ ජලපෝෂණයද ලබාදේ.

තැන්නට ආවේණික සොදුරු තුරුලතා
සාමාන්‍යයෙන් වසරේ වැඩි කලක් වැසි ලැබෙන ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නට පොදුවේ ගත්කල ජනවාරි සිට මාර්තු දක්වා කාලය තරමක් වියළිබව පැවසේ. මැයි මස මුල සතියක් වූ මේකාලයේ, අප එහි ලගාවන විටත් වැස්සේ අඩුවක් නම් අපි නිරීක්ෂණය නොකළෙමු.  දසතම සිසිල් වූ පරිසරයක ගතට දැනෙන සිසිලස මදකට නිවාලමින් ක්ෂණයකින් හිරුඑළිය වැටෙ
න අවස්ථාද එමටයි. සාමාන්‍යයෙන් මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 - 13 ක පමණ අගයක් ගන්නා බව පැවසෙන අතර, එය රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා පමණවූ අගයකට පහත වැටෙන බවද පැවසේ.
හෝර්ටන් තැන්න ඔබ නිරීක්ෂණය කළහොත් ඔබට නැරඹිය හැකි සොදුරු ස්ථාන කිහිපයකි. හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි ලෝකාන්තය ඉන් ප්‍රධාන තැනක් ගන්න අතර, එයට කලින් හමුවන කුඩා ලෝකාන්තයත්, සුන්දර බෙලිහුල් ඔයේ පහස ලබන බේකර්ගේ ඇල්ලත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පාරාදීසයන් වේ.

හෝර්ටන් තැන්න උද්‍යානය ඇතුළත ගමන් මගේ
නැරඹිය යුතු තැන්වලට ඇති දුර පෙන්වන පුවරුව
ලෝකාන්තය
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 3520 ක් පමණ ගමන් කලවිට සුන්දර ලෝකාන්තය හමුවේ. අඩි 2850 ක් පමණ වූ ප්‍රපාතය පත්ලේ කෙළවරවූ බලංගොඩ නගරයද මීදුම නැතිවිටකදී පැහදිලිව දැකිය හැකිය. ලෝකාන්තයට පැමිනෙන සංචාරකයන්ගේ පහසුව සදහා සවිකර ඇති ඒ පිළිබද තොරතුරු ඇතුළත් දැන්වීම් පුවරුවේ සදහන්ව ඇති පරිදි ලෝකාන්තයට පැමිණෙන ඔබට එහි සිට අවට බැලූ විට මීටර් 870ක පමණ පහත බෑවුමද පැහැදිලි දිනක ඈතින් පිහිටි මුහුද ද දැකගත හැකිය. වහාම පහල බැලූවිට තේ වතු යායක් සහ වලවේ ගගට දිවෙන කුඩා දිය පහරක් වන කිරිකැටි ඔයද දැකගත හැකිය. සැබවින්ම නිමේෂයකින් මීදුමින් වැසීයන  සොදුරු තුරුලතා වලින් හෙබි සිසිල් සෞම්ය පරිසරයක් ඇති මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්බැද ගැනීමනම් පුදුමයක් නොවේ.
  
බේකර්ගේ ඇල්ල
හෝර්ටන් තැන්න උද්‍යාන ගමන් මගේ මාර්ග සලකුනු කෙරුනු කනුවේ සිට මීටර් 4770 ක් පමණ ගමන් කලවිට හමුවන උසින් මීටර් 20 ක් පමණවූ මේ සොදුරු දියඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර් විසින් මුලින්ම සොයගත් ලෙසට සැලකෙන හෙයින් මෙය බේකර්ගේ ඇල්ල ලෙසට හැදින්වේ.

සර් සැමුවෙල් බේකර් සොයගත් බේකර්ගේ ඇල්ල පාමුල සිට

බේකර් ඇල්ල පාමුල සිට - වම්පසින් ඇදහැලෙන ඇල්ලේ කොටසක්

හෝර්ටන් තැන්නට ආවේණික වූ ඒක දේශික සත්ත්ව හා ශාක විශේෂ
මෙහි දක්නට ලැබෙන යෝධ මීවන හා මහරත්මල් ශාකයන් පරිසරයට වඩාත් සුන්දරත්වයක් එක් කරනු ලබයි. සුන්දර හෝර්ටන් තැන්නට අවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා තැන්නේ බහුලව දැකිය හැකි සත්වයෙකි.
රත්මලින් පිරි ඒකදේශික මහ රත්මල් ශාකය

මහරත්මල් පුෂ්පයක සමීප දසුනක්

ඒක දේශික ශාකයක් වූ බෝවිටියා ශාකයේ පුෂ්පයක්

යෝධ මීවන ශාකයක්

තැන්නට ආවේණික තෘණ විශේෂයන්ගෙන් යැපෙමින් ජීවත්වන ගෝනා

හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි
ලෝකාන්තය බලා යන අතරතුර ..
මීදුම් සලුවෙන් වැසුණු ලෝකාන්තය කෙළවරටම වන්නට
හිදගත් අප ...



ගමන් වෙහෙස අස්වසා ගනුවස් ගිමන් හරින
අපේ කණ්ඩායමේ කොටසක් ...


Sunday, April 28, 2013

ඩෙස්ක්ටොප් (Desktop) පරිගණකයක් මිළදී ගැනීමට පෙර අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක්

පරිගණකය නූතන සමාජයේ මිනිසාගේ මූලික අවශ‍යතාවයක් වන තරමටම එදිනෙදා ජීවිතයට බද්ධ වී තිබේ. තරුණ සමාජයේ පරිගණක සාක්ෂරතාවයද ක්‍රමයෙන් ඉහළ නගිමින් පවත්නා යුගයෙක බහුතරයක් වෙර දරන්නේ තමන්ටම කියා පරිගණකයක් මිළදී ගැනීමටයි. පරිගණකයක්  මිළදී ගැනීමට යාමේදී බොහෝ දෙනෙක් තමන් නොදන්නා කරුණු කාරනා රාශියකින් හෙම්බත් වී තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුද්ගලයන්ගෙන් මේ පිළිබදව සොයා බලා තොරතුරු එක්රැස්කර ගැනීම සුලභයි. එහිදී තමන් මිළදී ගැනීමට යන පරිගණකය කුමන විදිහේ පරිගණකයක්ද? එහෙමත් නැතිනම් මිළදී ගන්නා පරිගණකය ගතයුත්තේ කුමන වෙළද ආයතනයකින්ද? ගත්තොත් එය ගත්මුදලට වටීද? යන කරුණු රාශියක් මූලිකව සිතතුළ බලපැවත්වෙනවා. තවත් සමහරෙක්, වෙළදපොලේ පවතින හොදම පරිගණකයක් ඉතාම වැඩි මිළකට මිළදී ගැනීමට හෝ භාවිතා කරනලද ආනයනයික පරිගණකයක් ඉතා අඩු මුදලකට හෝ  මිළදී ගැනීමට පෙළබෙති. එසේ අනාවබෝධයෙන් හදිසියේ පරිගණකයක් මිළදී ගෙන පසුව මැසවිළි නගමින් දුක්වනවාට වඩා තමන්ගේ සිතට හැගෙන පරිදි යමක් තේරුම් ගෙන තමනට වඩාත් ගැලපෙනම පරිගණකයක් මිළදී ගත හැකිනම් එය සිතටත් තෘප්තියක්.

තමන්ගේ උවමනාවට ගැලපෙන පරිද්දෙන් ඉතා අඩු මිළකට උසස් තත්වයේ පරිගණකයක් හොද වෙළද ආයතනයකින් මිළදී ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් පහත කරුණු ඔබට යම් තරමකට හෝ උපකාරයක් වේවි. 
  • ඔබගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට යෝග්‍ය පරිගණකයක් වීම  
  • මින් අදහස් කරන්නේ ඔබ විසින් මිළදී ගැනීමට බලාපොරොත්තු වන පරිගණකය  කුමන අවශ්‍යතාවයක් සදහා යොදාගන්නේද යන්න පිළිබදව සැළකිලිමත් වියයුතු බවයි. එය ඔබගේ පාසල් වැඩ කටයුතු වලදී හෝ රාජකාරී කටයුතු වලදී ප්‍රයෝජන වන ලිපි ලේඛණ සෑදීමට පමණක් නම් ඒ සදහා භාවිතා කරනලද Pentium 4 වර්ගයේ පරිගණකයක් වුවත් සෑහෙන්න පුලුවන්. AutoCAD වැනි Computer Aided Designing මෘදුකාංග හෝ Adobe කාණ්ඩයේ Adobe Photoshop, Premier, Illustrator වැනි Graphic Designing මෘදුකාංග භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා වැඩි ධාරිතාවයකින් යුතු  Hard Disk එකක් සහ වැඩි Processor Speed එකක් ඇති පරිගණකයක් තෝරා ගැනීම සුදුසු වේවි.
     
  • ඔබට දැරිය හැකි මුදලක් වීම
  • ඔබට ගැලපෙන නවතම මෘදුකාංග පිහිටුවා තිබීම
  • උසස් වර්ගයේ උපාංග හා අමතර කොටස් සවිකර තිබීම
  • ඔබ පරිගනකය මිළදී ගනු ලබන ආයතනය
  • ඔබගේ පරිගණකයේ උපාංග හා අමතර කොටස් වලට වගකීම් සහතිකයක් තිබීම
  • ඔබගේ පරිගණකය මිළදී ගත් ආයතනය ඔබට ලබා දෙන අලෙවියෙන් පසු සේවාව
  • ඔබගේ පරිගණකයට උවමනා උපාංග පහසුවෙන් මිළදී ගැනීමට ඇති හැකියාව

Wednesday, April 24, 2013

වෙසක් උත්සවය | Vesak Festival

 
ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල් අනුස්මරණය කරමින්, ලෝකවාසී බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි වෙසක් උත්සවය. මෙය ශ්‍රීලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.
 
ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අවේනික වූ සම්ප්‍රදායනට අනුකූලව මේ බුදු තෙමගුල එනම් වෙසක් උත්සවය සමරනු ලැබේ. 
 
සෑම වසරකම මැයි මස (වෙසක් මස) පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. සෑම වසරකම මැයි මස පුර පසළොස්වක පෝය දින හා එයට පසු දිනය නිවාඩු දින ලෙස ලබාදෙන අතර, එකී දිනයන් තුළදී බුදු තෙමගුල සැමරීම වස් විවිධ ආගමික වත්පිළිවෙත් වල යෙදීම සිදුවේ. පුරා සතියක පමණ කාලයක් පුරාවට මෙකී වත්පිළිවෙත් සිදු කෙරෙන අතර, වෙසක් පුර පසළොස්වක දින හා එයට පසුදින සියලු මත්පැන් අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන හා මස්, මාලු වෙළද සැල් වසා තැබීමද සිදුවේ. වෙසක් උත්සවයේ දහම් නිදහස සංකේතවත් කරමින් බොහෝ බෞද්ධයෝ මස් මාංශ අනුභවයෙන් වැළකී මසට ඇතිකරන සතුන් හා කූඩු කරමින් ඇතිකළ පක්ෂීන්ට නිදහස ලබාදීමත් සිදුකරති.
 
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවනට ප්‍රමුඛත්වයක් ලබාදෙන බෞද්ධ ජනයා විවිධ ආගමික උත්සව සංවිධානය කරන අතර, සෑම නිවසකම පාහේ අලංකාරවූ වෙසක් පහන් කූඩු වලින්, පාට පාට බල්බ වලින්, බකට් වලින් හා පොල්තෙල් පහන් වලින් අලෝකමත් කිරීම හා වර්ණවත් කිරීම සිදු කරති. වෙසක් උදාවට දින කිහිපයකට කලින් වෙසක් කූඩු තැනීමට
පටන් ගන්නා අතර, මේ සදහා කුඩා ළමුන්ගේ වැඩි සහභාගීත්වයක් දක්නට ලැබේ. ලොකු කුඩා සැවොම එක්වී විවිධාකාර හැඩයෙන් යුතු අටපට්ටම් හෝ තාරකා හැඩයෙන් යුතු වෙසක් කූඩු නිර්මාණය කරන අතර වෙසක් උදාවෙන් පසු ඒවා සැමදෙනාටම නැරබීමට හැකිවන පරිදි ප්‍රදර්ශනය කරනු ලැබේ.
 

වෙසක් කූඩු තැනීමට අමතරව බෞද්ධ ජාතක කථා නිරූපණය කෙරෙන
සුවිශල් තොරණ් නිර්මාණය, දන්සැල් සංවිධානය හා රටපුරා පවතින පුණ්ය ආයතනවලට තෑගිබෝග පිරිනැමීමද සැවොම එක්වී සහයෝගයෙන් සාමයෙන් සිදුකරති.
 
වෙසක් දින පුරාවට සැදැහ සිතින් විහාරස්ථානයන් වෙත ගොස් මල්, පහන් සුවද දුම් බුදුන් ඉදිරියේ පුදා බුද්ධ, ධම්ම, සංග යන තෙරුවන් වන්දනාමාන කරගන්නා අතර, රාත්‍රී කාලයේ වෙසක් සිරි
නැරබීම සිදුකරනු ලබයි.
 
 
 
 
 


All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
- Dhammapada Verse 2 -
 
ඡායාරූප අන්තර්ජාලයෙනි.

Monday, April 1, 2013

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද | Sinhala & Tamil New Year

සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක් මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලාංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා කළා මංගල්‍යයක් වන මෙය සිංහල භාෂාවෙන් "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙන අතර,  එය සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට යෙදේ.   

මේ කාලය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකු වූ කොහා, රතු පාටින් වැසී ගිය එරබදු මලින් බරවුනු තුරුලතා ගොන්නේ සැගවී "කොහෝ කොහෝ " නදින් ගම දෙවනත් කරවමින් අලුත් අවුරුද්ද සපැමිණි බව අපට කියාදෙන පණිවිඩකරුවෙකු වැනිය. වැසි වැටී සරුසාර වුනු කෙත්වතු වලින් අස්වනු නෙලා තම අටුකොටු පුරවාගෙන ලබන්නාවූ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කල් ඇතිව සූදානම් වීම සිංහල බෞද්ධයන්ගේ පාරම්පරික සිරිතකි. ජ්‍යෝතිෂයට අනුව නැකැත් මාලාවක් මගින් පාරම්පරික සිරිත්විරිත් අලුත් අවුරුදු උදාවෙන් පසු මුලින්ම සිදු කෙරේ. එය පවුලේ ගරුකටයුතු වැඩිමහල් පුද්ගලයන් එකතුවී තම දූදරුවනට ආදර්ශයක් වන අයුරින් සිදුකෙරෙන අතර මෙහිදී එකී චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමක් සිදුකෙරේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර
  • නව සද බැලීම (Looking New Moon) - මෙයින් බලාපොරොත්තු වන්නේ සද දෙස බැලීමෙන් අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම මගින් නැවුම්ව, සුභවාදීව උදාවූ වසරේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව සිදුකරගැනීමට අධිෂ්ඨානයක් සිදු කරගැනීමයි.
  • පුණ්‍ය කාලය (Punya Kalaya) - අලුත් අවුරුදු උදාව ලෙස සලකන, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිද්දවන කාලය පුණ්‍ය කාලය නොහොත් නොනගතයයි. පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් නැති මේ කාලය කිසිදු සුභ නැකතක් නොමැත. එහෙයින්, පුණ්‍ය කාලය උදාවීමට පෙර ආහාර අනුභව කොට, කරන්නාවූ සියලු වැඩ කටයුතු අත්හැර ආගමික වතාවත් වල පමණක් යෙදීම අවුරුද්දේ සිදුකෙරෙන තවත් චාරිත්‍රයකි. සිංහල බෞද්ධයින් තම උපතේ සිට මරණය  දක්වාම ගෙවන කාලය තුළ සියලු කටයුතු ගමේ පංසල නැත්නම් තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සිරිතක්. නව වසර උදාවන මොහොතේදී ආගමික කටයුතුවලට මුල්තැන දී කටයුතු කිරීම මගින්, ලබන්නාවූ අලුත් අවුරුද්දේ කරන්නාවූ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට ආශිර්වාද ලබාගැනීමක් මෙහිදී සිදුකෙරේ.  
  • ළිපගිනි මෙළවීම හා ආහාර පිසීම (Preparing of Meals) - පුණ්‍ය කාලය නිමවී අලුත් අවුරුදු උදාවෙන් පසු සිදු කරන පළමු සුභ කටයුත්ත ළිපගිනි මෙලවීමයි. අළුතින් මිලදී ගන්නා ලද මුට්ටියක මුලින්ම කිරිබතක් පිසීම නිවසේ ගෘහණිය විසින් මෙහිදී සිදුකෙරේ. මේ කිරිබත ඊලගට යෙදෙන ආහාර අනුභවය නැකත සදහා ප්‍රයෝජනයට ගන්නා අතර බොහොමයක් ගෘහණියෝ ළිපගිනි මෙලවීමෙන් අනතුරුව, ආහාර පිසීමද සිදුකෙරේ. මෙහිදී පිළියෙළ කරනු ලබන සුවිශේෂී සම්ප්‍රදායික ව්‍යාංජනයකි "හත්මාලුව". ඉතාම රසවත් ව්‍යාංජනයක් වන මේ සදහා කජු ඇතුළුව ස්වභාවිකව සොයාගත හැකි තවත් එලවලු වර්ග හයක් යොදාගනිමින් පිළියෙළ කරගනී.
  • වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා සුභ නැකතට ආහාර අනුභවය (Trading & First Meal of New Year) - සුභ නැකතට ආහාර අනුභවය සදහා සුදානම් කරනු ලබන කෑම මේසය මධ්‍යයේ පහනක් දල්වා ලැබුවා වූ නවවසර තමාටත්, තම පවුලේ සියළු සාමාජිකයන්ටත් යස ඉසුරින් පිරි නිදුක් නිරෝගී වසරක්ම වේවායි ප්‍රර්ථනා කරමින් පළමුව ගෘහමුලිකයා විසින් ආහාර අනුභවය සිදු කරනු ලබයි ඉන්පසුව පිළිවෙලින් තම බිරිදටත් සෙසු පවුලේ සාමාජිකයන්ටත් පළමු කිරිබත් කට කවන අතර, අනතුරුව සියල්ලෝම සතුටින් ආහාර අනුභවය සිදු කෙරේ. අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදුකෙරෙන පළමු ගනුදෙනු කිරීම ගැමියන් විසින් සිදු කරන්නේ තමා බීමට ජලය ලබාගන්නා ලිදත් සමගයි. එමෙන්ම පළමු මුදල් ගනුදෙනුව සිදුකරන්නේ ගමේ ප්‍රසිද්ධියක් ඇති ධනවත් පුද්ගලයෙකු සමගයි. ගෘහමුලිකයාගේ ආරාධනය පිළිගන්නා ඔහු බුලත් අතක තබා යම් මුදලක් ගෙහිමියාට දෙන අතරම, ගෙහිමියා විසින්ද එලෙසින්ම යම් මුදලක් ඔහුට ලබාදේ. එමගින් වසර පුරාවටම අතමිට හිගනොවී සාර්ථකව ගතකිරීමට ගෙහිමයන් ආශිර්වාද ලබා ගනී.    
  • හිසතෙල් ගෑම (Anointing with Oil)
  • රැකීරක්ෂා බලා පිටත්වයාම (Leaving for Work) නිසි චාරිත්‍රානුකූල ලෙසට සිදුකෙරේ.

සිංහල සමාජයේ වඩාත් ජනප්‍රිය පාරම්පරික ජන ක්‍රීඩා සමූහයක් සිදුකරන්නේ මේ අවුරුදු සමයේදීය. ඈත අතීතයේ පටන්ම මෙකී ජන ක්‍රීඩාවන් කලඑළි බසින්නේ බක්මහ අසිරිය ගම්දනව් පුරා පැතිරී යාමත් සමගයි. අවට පරිසරයෙන් මේ ජන ක්‍රීඩාවලට අවශ්‍ය උපකරණ සොයාගනු ලබන අතර, එකට රොක්වන ගමේ බාල මහලු හැමෝගේම සහභාගීත්වය මේ සදහා නොඅඩුව ලැබේ.

අවුරුදු ජනක්‍රීඩා 
  • ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන් දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී සිදුකෙරේ.   
  • පංච දැමීම - මුහුදු බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල් කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන් සහභාගි වන අතර, දෙපිලකට බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.  
  • ඔළිද කෙළිය - ගැමි කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද කෙළිය" නමින් ප්‍රසිද්ධයි. 
  • වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින් ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය.  ඉලක්කය හරි ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.  
  • කැට ගැසීම - කැටගැසීමේ ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක් යොදා ගැනේ. බිත්තියකට හෝ යම් අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.
  • චක්ගුඩු පැනීම
  • රබන් ගැසීම ආදී විනෝදජනක ජනක්‍රීඩා සමූහයක් මෙකලදී දැකිය හැකිය.
පැරණි ජන ක්‍රීඩාවන් ජනප්‍රිය භාවය රැකගනිමින් පවත්වාගෙන යන අතරම, මේ ක්‍රීඩාවන් නවීකරණයන්ට බදුන් වෙමින් පැවැත්වෙන ආකාරයක් වර්තමාන සමාජයේ දැකිය හැකිය. විනෝදාස්වාදය කැටිකරගත් මෙකී ක්‍රීඩාවන් කලඑළි බසින්නේ "බක්මහ සැණකෙළිය", "සුර්ය මංගල්‍යය", "ගම්මැද්දේ අවුරුදු" "සුරිය උදාව", "වසන්ත උදානය" හෝ යම් යම් ආකර්ශනීය නම් වලින්.  බොහෝවිට ගමේ හෝ නගරයේ තරුණයන්, වෙළද ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය ඇතිව, මහා මැරතන් තරගයකින් හෝ මහා පාපැදි තරගයකින් උත්සවය ආරම්භ කොට නිමා කරනු ලබන්නේ දැවැන්ත මහා සංගීත ප්‍රසංගයකිනි. කෙසේවුවත් මෙකී වත්මන් අවුරුදු උත්සව වලදීත්, අපගේ පාරම්පරික ජනක්‍රීඩා සමුහයක් දැකගත හැකියි.

නවීකරණය වූ එකී ජන ක්‍රීඩා අතර, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම, බැලුන් පිපිරවීම, බනිස් කෑම, සැගවුණු අමුත්තා තේරීම, බාධක දිවීම, ගම හරහා දිවීම, ලිස්සන ගසේ නැගීම, පිටි බේසමේ සතය සෙවීම, තරගයට පොල්ගෑම, පොල් අතු විවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, ගෝනි රේස්, තිරික්කල රේස්, බිත්තර ඇල්ලීම, අත්ලෙන් ජලය පිරවීම, බීම බීමේ තරගය, අන්ධයාට කිරි කැවීම, දෙහි ගෙඩිය හැන්දේ තබා ගෙන යාම, විකට ඇදුම් තරගය, හොදම හිනාව, හොදම  ඇඩීම, ජනකවි ගායනා තරග, රබන් ගැසීමේ තරගය, අවුරුදු කුමරා/කුමරිය තේරීමේ තරගය, යනාදී තරග මේ සදහා එක් කොට තිබේ.

සබැදි ලිපි:
හෙළ සිරිතට විනෝදය එක්කරන බක් මහේ ජන ක්‍රීඩා