Pages

Monday, June 9, 2014

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - හිත් දැහැනේ වෙලී තිබුණු ආදරයද මේ ....

ගීතයක් යනු මිනිසාගේ හඩින් හා සංගීත භාණ්ඩ අනුසාරයෙන් උපදවාගනු ලබන සංගීතයේ එක්කාසුවකින් බිහිවන්නා වූ සම්භාව්‍ය කළා නිර්මාණයක්. එවන් නිර්මාණයකට හිමි කලාත්මක පද කිහිපයක්, විශිෂ්ට ගීත නිමවුමක් බවට පත්වන්නේ නිර්මාණශීලී වූ සංගීත රිද්මයකින්. විශිෂ්ට පද රචනයත්, නිර්මාණශීලී සංගීත රිද්මයත්, සුමධුර කටහඩත් යන මේ සියල්ලේ අවසාන එකතුව විශිෂ්ට වූ ගීතමය නිර්මාණයක්.පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ හඩින් නිමවූ මෙම ගීතය මගේ රසාස්වාදයට බදුන්වනුයේ නිර්මාණයට ගැලපෙන අයුරින් සුසංයෝග වන මෙකී ත්‍රිත්වය නිසාමයි. ජනක සිරිවර්ධන මහතාගේ ගේය පදරචනයට තාල තැබූ අරුණ ගුණවර්ධන මහතාගේ සංගීතයෙන් සුසංයෝග වුනු පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ හඩින් නිමවූ මා සිත්ගත් මේ ගීතය ඔබේ හිත්දැහැන වෙලාගත් ආදරණීය ගීතයමද ?


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
ර‍ටා මවනවා

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ ……

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ…

ගායනය: පණ්ඩිත් අමරදේව ශූරීන්
ගේය පදවැල්: ජානක සිරිවර්ධන ගෙන්

Friday, March 7, 2014

හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගන්නේ මෙහෙමයි | Ways to detect a Fake Facebook Account

අප ජීවත්වන සමාජය විවිධාකාර වූ අදහස් උදහස් සහිත පුද්ගලයන්ගෙන් සමන්විතයි. කාරුණික ගති පැවතුම් ඇති උගත්, බුද්ධිමත් පුද්ගලයන් මෙන්ම විෂමාකාරවූ ගතිපැවතුම් ඇති නුගත්, මිළ මුදල් පමණක් මතම යැපෙන පුද්ගලයන්ද නැතුවා නොවේ. විෂම ගති පැවතුම් ඇති පුද්ගලයින් කිහිප දෙනෙකු නිසා අප ජීවත්වන මේ සමාජය වේගයෙන් දුෂණය වෙමින් තිබේ. අපරාධ, දූෂණ ඉහළ යන්නේ එයින් ඇතිවන ප්‍රතිඵලයක් ලෙසටයි. එවන් සමාජයක හරි වැරැද්ද තෝරා බේරා ගෙන නිවැරැදිව නැඟී සිටින්නට නොහැකි නම් තරුණ පරම්පරාවට උරුමවන හෙට දිනය සුන්දර නොවේ. අනාගතය අභාග්‍යසම්පන්න නොකරගෙන වාසනාවන්ත කර ගැනීමට නම් අපට හරි වැරැද්ද තෝරා ගතහැකි නිවැරදි දැක්මක් තිබිය යුතුය. බුද්ධිය මෙහෙයවා කරන කියන දේ නිවැරදි ලෙසට භාවිතා කිරීමටත්, හදුනාගැනීමටත් හැකිනම්, භාවිතා කරන දියුණු තාක්ෂණික මෙවලම්, සමාජයේ ඇසුරු කරන මිතුරන් ගැන නිරන්තර අවබෝධයක් ඇති කරගත හැකි නම් සැබැවින්ම හෙට දිනය සුන්දරයි.   

ගමක තරුණ පිරිස් එක්වී පිහිටුවාගන්නා මිතුරු හවුලකදී නම් අප දන්නා යහළු යෙහෙළියන් සමුහයකගේ ඇසුර ප්‍රයෝගිකවම අපට විදගත හැකියි. එනමුත් අප සැබෑලෙසටම දැක නොමැති විශ්වයක හමුවී බැදෙන බැදීමක් කෙසේනම් අවබෝධ කරගන්නද? නිතැතින්ම අන්තර්ජාලයේ සැරිසරද්දී හමුවන සමාජ වෙබ් අඩවි පරිශීලනයෙදී අප බුද්ධිය මෙහෙයවා කටයුතු කල යුත්තේ එහෙයිනි. මේ බ්ලොග්සටහන ඒ පිළිබද පුළුල් කතිකාවතක් ගොඩනැගීම නොව මුහුනුපොතේ සාමාජිකත්වය ලබාගෙන ඇති ඔබ අප දන්නා තරමින් එයින් පරිස්සම්වීම සදහා, හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගන්නේ කෙලෙසටද යන්න ගැන පුංචි අවබෝධයක් ලබාගැනීමයි. 

ඔබ කොහෙත්ම නොදන්නා පුද්ගලයෙකු ඔබව හාස්‍යට ලක්කිරීමේ අරමුණින් හෝ කම්මැලි වේලාවට විනෝදය පිණිස හෝ යටිසිතින් ආදර සබදතාවයක් ගොඩනංවා ගැනීමේ අරමුණින් හෝ නොඑසේනම් තවකෙනෙකු ගැන ඇතිවන ද්වේෂයකින් හෝ මුහුනුපොතේ හොර ගිණුමක් සදා ගෙන තිබෙන්නට පුළුවන්. එහෙත් එහි ක්‍රියාකාරීත්වය හොදින් පරීක්ෂා කර බැලුවොත් බුද්ධිමත් ඔබට සත්‍ය අවබෝධ කරගැනීමට එතරම් අපහසු වන්නේ නැහැ. 

1.  පළමුවෙන්ම හොර ෆේස්බුක් ගිණුමක් හදුනාගැනීමේ වැදගත්කම වටහා ගත යුතුයි. 
ෆේස්බුක් ගිණුමකට ඔබ ඇතුලත් කරන දත්ත ඔබ නොදන්නා තවත් කෙනෙකු හා බෙදා ගැනීම හේතුවෙන් ඔබගැන සැලකිලිමත් වන, ඔබ පුද්ගලිකව නොහදුනන යහළුවාගෙන් ඔබගේ පුද්ගලික තොරතුරු වැරදි පුද්ගලයෙකු අතට පත්වන්නට පුළුවන්. එනිසා පළමුවෙන්ම අප අවබෝධකරගත යුතුයි අප පුද්ගලිකව නොදන්නා කිසිම යහළුවෙකු හෝ යෙහෙළියක හා සබදතා නොපැවැත්වීමටත් අපගේ පුද්ගලික තොරතුරු බෙදාහදා නොගැනීමටත්.    

2. ෆේස්බුක් ගිණුම සදහා යොදා ගෙන ඇති චායාරුපය පරීක්ෂා කර බැලීම. 
සම්පුර්ණ ෆේස්බුක් ගිණුමටම එහෙමත් නැතිනම් මුළු Profile එකටම ඇත්තේ එක් චායාරුපයක් පමණක් නම් ඔබ මදක් සිතාබැලුවොත් නරක නැහැ. එහෙමත් නැතිනම් Profile චායාරුපය  සදහා යොදාගෙන ඇත්තේ ඔබ මීට කලින් දකහුරුපුරුදු නිළියකගේ, නළුවෙකුගේ, නිවේදිකාවකගේ රුවක්ද, සංස්කරණය කරමින් වර්ණ ගන්වන ලද ඉතා සුපැහැදිලි වර්ණවත් සේයාරුවක්ද යන්න සිතා බලන්න. ඒ ඔහුගේ/ඇයගේ සැබෑ රුව නොවන්නට පුළුවන්. ඔබට පුළුවන් Profile චායාරුපය Copy කරගෙන Google සෙවුම් යන්ත්‍රය හරහා Images search කිරීමක් සිදු කරන්න. එමගින් ඔබට තක්සේරු කරගත හැකිවේවි මේ සේයාරුව සැබෑවටම ඔබගේ යහළුවාගේදැයි/යෙහෙලියගේදැයි කියා.   

3. ෆේස්බුක් ගිණුම සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම. 
ඔබ නොදන්නා එහෙත් ඔබගේ friends list එකේ යහළුවෙක් / යෙහෙළියක්  ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකුගේ Profile තොරතුරු කියවා බැලීමේදී තරුණ සේයාරුවක් සමග වයසට නොගැලපෙන, කිසිසේත් ලගාවිය නොහැකි ආකාරයේ රැකියාවක් සදහන් කර තිබේ නම්, එහෙමත් නැතිනම් තොරතුරු යාවත්කාලීන කිරීමේදී වයසට නොගැලපෙන, අධ්‍යාපනික මට්ටමට නොසරිලන තරම් වූ Status updates, Wall posts හෝ Comments කිරීමක් සිදුකෙරේ නම් මොහොතක් සිතා බැලුවොත් නරක නැහැ.  

විටෙක ඔහු/ඇය හදුනාගත නොහැකි ආයතනයක හෝ පාසලක නමක් සදහන් කර තිබෙනවා වන්නට පුළුවන්. රැකියාවක් කරන බවට සදහන් කර තිබුනත් ආයතනයේ නම සදහන් කර නොතිබෙන්නට පුළුවන්. එලෙස හදුන්වා ඇති ස්ථානයන්ගේ අක්ෂර වින්‍යාශය වැරදි වන්නටත් පුළුවන්. නැත්නම් එලෙස සදහන් කර ඇති ආකාරයේ සමාගමක් හෝ අධ්‍යාපන ආයතනයක් නොතිබෙන්නට පුළුවන්. ඔහු/ඇය ප්‍රධාන වශයෙන්ම කැමැත්තක් දක්වනුයේ පිරිමි/කාන්තා ඇසුරට බව හැගවෙන දේ සදහන්ව තිබෙන්නටත් පුළුවන්. එසේනම් මේ සලකුණු සියල්ලම මිථ්‍යාවක් වන්නට තිබෙන ඉඩකඩ බොහෝවිට වැඩියි. 

එමෙන්ම ඔහුගේ/ඇයගේ Profile එකේ සදහන් උපන්දිනය පරීක්ෂා කර බැලීමේදී එය බොහෝ විට 1/1/xxxx හෝ 31/12/xxxx වැනි පහසුවෙන් යතුරුලියනය කළහැකි දිනයකින් සමන්විත වෙනවා නම් ඒ ගැනත් මොහොතක් සිතා බැලුවොත් හොදයි. මක්නිසාද බොහොමයක් ව්‍යාජ ගිණුම් සදහා යොදාගනු ලබන දිනයන්ට මෙය ආවේණික ලක්ෂණයක් නිසා.

සමහරවිට ව්‍යාජ කාන්තා නමකින් පෙනී සිටිනා Profile එකක ඇයව දුරකථනයකින් සම්බන්ධ කරගත හැකි බව දැක්වෙන දුරකථන අංකයක් හෝ ලගාවිය හැකි ලිපිනයක් සදහන්ව තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සමාජශීලී නොවූ සංවර හිතක් ඇති, විනය ගරුක කාන්තාවක් තමා සම්බන්ධකර ගත හැකි ලිපිනයන් මෙසේ අන්තර්ජාලයට මුදා නොහරින බවට ඔබට විශ්වාසයි නේද?  එසේනම්, බොහෝවිට එයත් ව්‍යාජ ගිණුමක් වියහැකියි.

4.  ෆේස්බුක් ගිණුමට එකතුකරගෙන ඇති යහළු/යෙහෙළියන්ගේ ලැයිස්තුව පරික්ෂා කර බැලීම. 
ඔබ කෙදිනක හෝ ඔබගේ friends list එකේ යහළුවෙක් / යෙහෙළියක්  ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකුගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුව පරීක්ෂා කරබලා තිබේද? ඔහුට/ඇයට වැඩිපුරම  සිටිනුයේ විරුද්ධ ලිංගික මිතුරන් නම් (උදා. පිරිමි පුද්ගලයෙකුගේනම් friends list එකේ සිටිනුයේ කාන්තා යහළුවන් පමණක් නම්) දළ වශයෙන් අපට නිගමනයකට පැමිණිය හැකියි එකී Profile එක හසුරුවන්නේ හුදෙක් ඔහුගේ/ඇයගේ විනෝදාස්වාදය සදහා පමණක්ම බව.  

ඉහත කී කරුණු එකක් හෝ කිහිපයක් හෝ (Google මගින් ඔබට මෙයටත් වඩා සවිස්තර තොරතුරු සොයා ගත හැකියි.) එසේත් නැතිනම් දැනීමේ හැටියට සැකසහිත යැයි, අවිශ්වාස යැයි හැගෙන මනසට වේදනා ගෙනදෙන, යහළුවෙක් හෝ යෙහෙළියක් ලෙසට පෙනී සිටිනා පුද්ගලයෙකු, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී ඔබට දක්නට ලැබේනම්, ඔහු හෝ ඇය ඔබගේ මිතුරු මිතුරියන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට කාරුණික වන්න. එවිට ඔබට සතුටු වියහැකියි තවදුරටත් ඔබ කාගේවත් මෙවලමක් නොවන බවට.

අපගේ සිහිබුද්ධිය මෙහෙයවා කරන කියන දේ නිවැරදි ලෙසට භාවිතා කිරීම මගින්, දිනෙන් දින අපහමුවට එන දියුණු තාක්ෂණික මෙවලම් වල නිවැරදි භාවිතය ගැන නිරන්තර අවබෝධයක් ලබාගත හැකියි. එවිටයි අපට හැකිවන්නේ එයින් උපරිම ඵලප්‍රයෝජනයක් ලබාගැනීමට. එය අප සැමගේ යුතුකමක් මෙන්ම සමාජයීය වගකීමක් ද වේ. 

බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines

පැරණි වාර්තා අනුව බෝගල මිනිරන් පතල් කර්මාන්තය දහනව (19) වන සියවසේ මුල් භාගයේදී පමණ ඇරබී ඇත්තේ අරුක්ගම්මන ග්‍රාමයේ පිහිටි බෝගල කදුගැටයෙන් මතුවුනු මිනිරන් ඉල්ලමක් අනුව යමිනි. එනම් ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණ මෙහි ජීවත්වූ ගැමියන් තම පානීය ජල අවශ්‍යතා හා වැසිකිලි කටයුතු තනාගැනීම සදහා කටයුතු කරද්දී පොලොව අභ්‍යන්තරයෙන් දිස්නය සහිත ඛනිජ විශේෂයක් හමුවී ඇති අතර, ඒවා ප්‍රදේශයට පැමිණි වෙළෙන්දන් අතට යමින් පසුව මිනිරන් බවට නිශ්චය කරගැනීමත් සමගම මේ ප්‍රදේශයේ මිනිරන් කැනීම් කර්මාන්තය ආරම්භ වී ඇති බවට ප්‍රකටයි. එකල මේ ප්‍රදේශයට පැමිණි වෙළෙන්දන් විදේශීයයන් හා සම්බන්ධතා තිබු බැවින් මිනිරන් සදහා හොද ඉල්ලුමක් පැවති අතර, ඒහේතුවෙන් පතල් කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු විසින් කන්දේ තැනින් තැන කුඩා ආවාට (මිනිරන් සොයා හාරන ලද වලවල්) තනමින් මිනිරන් ඉල්ලම් සොයා කැණීම් කටයුතු පටන් ගෙන තිබේ. මෙය බෝගල පතල් කර්මාන්තයේ ආරම්භක යුගය ලෙසට සනිටුහන් වනවා. 

එසේ මිනිරන් සොයා කැනීම් කරන ලද වලවල් නොහොත් ආවාට මහා බෝගල, පුංචි බෝගල හා කරදවත්ත යන නම් වලින් එකල හඳුන්වන ලද අතර, මින් එක් පතලක හිමිකරුවා වූ කතෝනිස් බාස් හෙවත් ප්‍රනාන්දු නම් පතල් කම්කරුවා ක්‍රමයෙන් අනෙක් පතල් ආවාට සියල්ලම මිලට ගනිමින් බෝගල කන්දේ සියලුම පතල්වල තනිහිමිකරුවා බවට පත්විය. වර්ෂ 1847 දී බෝගල මිනිරන් පතල් රජයේ ලියාපදිංචි කරන්නට ඇති බවට සැලකිය හැකි සාධක තිබේ.

ආරම්භයේදී අනුගමනය කර ඇති කැනීම් ක්‍රමය සරල වශයෙන්ම ඉල්ලම හැකි පමණ පහසුවෙන් කඩා ගැනීමයි. තට්ටු සවි කිරීමක් හෝ නැවත පිරවීමක් සිදුවී නැති අතර ඉල්ලම කැනීමෙන් පසු මව් පාෂාණයේ ස්ථායිතාවය රදවා ගැනීම සදහා ඉල්ලම් කුට්ටි ඉතිරි කරමින් අවශ්‍යවූ විටෙක ලී මුක්කු තබමින් කැණීම් කටයුතු සිදු කෙරී ඇති බවට ප්‍රකටයි.

ක්‍රමයෙන් මිනිරන් කර්මාන්තයේ මහා ධනවතෙකු බවට පත්වූ කතෝනිස් බාස් එවකට ධනවත්ම ශ්‍රී ලාංකිකයෙකුව සිටි බැව්ද කියවේ. ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු මහා බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු නැවත ශ්‍රීලංකාවට පැමිණෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් නම් කැණීම් විශාරදයෙකුද සමගයි. ඔහුගේ සේවය මිනිරන් කැනීම් කටයුතු සදහා ලබගෙන ඇති අතර, මෙය ශ්‍රී ලාංකිකයෙක් යටතේ බ්‍රිතාන්‍ය සුදු ජාතිකයෙකු සේවය කල පළමු අවස්ථාව ලෙසට ද  සැලකේ. බෝගල පතල් කර්මාන්තය අධ්‍යයනය කල ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් තවදුරටත් ගැබුරට මිනිරන් ඉල්ලම හැරීමේදී සිවිකිරීම් වලින් තොරව ආරක්ෂිතව කැනීම් කටයුතු සිදු කල නොහැකිබව වටහා ගෙන තිබේ. තම අධ්‍යයනයන් පාදක කරගනිමින් ඒවා බෝගල පතලට අනුගත කිරීමට වෙහෙසගත් ඔහු බෝගල පතල් සදහා තට්ටු කැපීම හා පිරවීමේ ක්‍රමවේදය හදුන්වාදී තිබෙන්නේ ඉන් අනතුරුවයි. ඔහුගේ මෙම හදුන්වාදීම නොවන්නට බෝගල පතල් කර්මාන්තය මෙයට වසර ගණනාවකට පෙර නවතින්නට පවා ඉඩ තිබිණි යැයි සැලකේ.

කෙසේ වෙතත් ක්‍රිස්ටෝපර් රෙනොල්ඩ්ස් හා ඉන්පසුව පැමිණි යුරෝපීය ජාතික කැනීම් විශේෂච්ච්යින්ගේ මග පෙන්වීම්ද ප්‍රනාන්දු පවුලේ නිසි කලමනාකාරීත්වයෙන්ද බෝගල පතල් කර්මාන්තය දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවට පත්විය. ලෝකය තුල පතල් කර්මාන්තයට නව අංග එක්වෙද්ද්දී එයට සමගාමීව බෝගල පතල්ද ක්‍රමක්‍රමයෙන් නවතාක්ෂණය සමග අත්වැල් බැද ගත්තේය. කටුව, මිටිය භාවිතයෙන් ගල් බෝර ගැසීම වෙනුවට දියමන්ති විදුම් යන්ත්‍ර භාවිතයද, අතින් ක්‍රියා කරවූ දබරය වෙනුවට විදුලි සෝපානයද, ඉටිපන්දම්, කුප්පි ලාම්පු වෙනුවට කාබයිඩ් ලාම්පුද පසුව විදුලි ලාම්පු භාවිතයට ද පැමිණියේය. 

වර්ෂ 1972 දී බෝගල පතල් රජයට පවරා ගැනුණු අතර, ඉන් පසු මෙය රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය වී තිබේ. රාජ්‍ය මිනිරන් සංස්ථාව පසුව රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව බවට පත්වූ අතර, වර්ෂ 2000 දී එවකට පැවති රජය මගින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුවහගත කිරීම යටතේ පුද්ගලික අංශයට පවරන ලදී. ඒ වනවිට බෝගල මිනිරන් සංස්ථාව පාඩු ලබන ආයතනයක්ව පැවති අතර, පසුව බෝගල පතල් ජර්මනියේ ග්‍රැෆිට් ක්රෝෆ්මුල් සමාගමේ අනුබද්ධ සමාගමක් බවට පත්විය. නවීන යන්ත්‍රෝපකරණ, නව කැනීම් ක්‍රම සහ විධි සමග නව කළමනාකාරීත්වයේ සංකල්ප හදුන්වා දෙමින්, සේවක ගැටළු විසදා ගනිමින් උපරීම සේවක සුරක්ෂිතතාවය, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරියට යන සමාගමක් ලෙස බෝගල ග්‍රැෆයිට් ලංකා ආයතනය අද පත්ව තිබේ.



පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.
මුලාශ්‍ර, දත්ත ප්‍රතිරූපණය හා උපුටා ගැනීම:
විවිධ පුවත්පත් වල කලින් කලට පලවූ විශේෂාංගමය හෝ තීරු ලිපි
විවිධ ලේඛකයන් විසින් රචිත කැණීම් ග්‍රන්ථ 
විවිධ නාලිකා මගින් කලින් කලට විකාශනය කෙරුණු පුවත්, විශේෂාංග හා වාර්තාමය වැඩසටහන්

Monday, January 6, 2014

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - දියාලුවෝ වේලි තනා (සිව්වන දිගහැරුම)

මිනිස් ජීවිතයේදී අපට හමුවන වැදගත් අවස්ථාවන්හිදී අප මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවන්ට අපට සාර්ථකව මුහුණ දීමට හැකිවන්නේ, බුද්ධිමත්ව සිතාබලා ගනු ලබන තීරණ හේතුවෙනි. මෙය ශිෂ්‍ය, රැකියා හා විවාහ දිවියට පිවිසෙන නව යුවතිපති යුවලකට මෙන්ම විවාපත් පවුලකට වුවද ගැලපෙන පරම සත්‍යක්. ශිෂ්‍ය ජීවිතයේදී සිත අකුරට පමණක්ම යොමු කලොත් සිය අධ්‍යාපන දිවිය සාර්ථක කරගෙන උසස් ප්‍රථිඵල ලබාගෙන සමාජයේ උසස් රැකියාවක් ලබා ගැනීමට හිමිකම් ලබාගත හැකිය. සිත සංවර කරනොගෙන ස්ථීර අර්මුණක් කෙරේ එය නොයෙදුවහොත් අපට බලවත් විපාකයන්ට මුහුණ දීමට සිදුවේ. තම රාජකාරීන් පැහැර හරිමින් රාජකාරී දිවිය තුල අවිවේකී බව ඇතිවෙන්නේත්, යුග දිවිය තුල පවුල් ආරවුල් වල ආරම්භය සිදුවී ජීවිතය මුලාකරගන්නේත්, අසංවර වූ මෙකී සිත (දුවන පනින දගලන සිත) දමනය කර නොගැනීමයි.


සිත දමනය කරගැනීමෙන් අපගේ ජීවිතයට සාර්ථකත්වයක් ලබාගත හැකි බව මොනොවට කියාපාන මේ ගීතයේ ගේය පදරචනය මහින්ද දිසානායක ශුරීන්ගෙනි. ධම්මපදයේ එන ගාථාවක් නිමිත්ත කරගනිමින් සැකසූ පදවැල් රිද්මයානුකුලව ගයන්නේ ගුණදාස කපුගේ  ශූරීන් විසින්,  තමා විසින්ම සකස් කරගන්නා ලද තමාගේම සංගීතය රිද්මයකටයි.

දියාලුවෝ වේලි තනා
ඇළ පුරවා දිය හරවා
රන්වන් රන් වීඇට වලින්
අටු පුරවා නම්...

ගොවීන්හට වී අස්වනු නෙලාගැනීමට නම් ඊට පෙරාතුව කලයුතු කාර්යන් රැසකි. ඇළ, දොළ, වේලි තනා අවශ්‍ය ස්ථානයට ජලය ගෙනයමින්, ගොවිතැනට උචිත වන සේ බිම් සකස් කරගෙන ගොවිතැන් බත් කරන ගොවියන්ට තමන් බලාපොරොත්තුවන පරිද්දෙන්ම වී අස්වනු නෙලාගත හැකි වන්නේ ඔවුන්ගේ උත්සාහය මතයි. ගොවිතැනට අවශ්‍ය ප්‍රමාණයට අඩුවැඩි ජලය සැපයිය යුතුය. නිසි කලට වේලාවට සිදුකල යුතු දේ සිදුකලයුතු වෙයි. මෙය මැනවින් සිතා බලා තීරණය කල යුත්තකි. ගොවිතැන සාර්ථක වන්නේ එවිටයි.

රුක් වඩුවෝ ලී කපලා
යතු ගාලා හැඩ ගහලා 
මල්කම් ලියකම් ඇද පුටු
රුවට තනා නම් ...

වඩුවා නිශ්චිත හැඩයක් නොවූ දැව භාවිතා කරමින්, අලංකාරවු මල්වැල්, සිත්තම් යොදා ඔපවත් කරමින් නොයෙකුත් චිසිතුරු භාණ්ඩ සාදා නිමකරන්නේ තමාගේ සිතට නැගෙන හැගීම් කැටයම් කිරීමෙන්. අවසානයේ පාරිභෝගිකයා අතට පත්වන්නේ සුමට විසිතුරු දැව භාණ්ඩයක්. එහෙත් එහි මුලාරම්භය මහා විශාල වෘක්ෂයක්. මැනවින් සිතා බලා, එවන් සුවිශාල වෘක්ෂයකින් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි කොටස් කැබලි කරගෙන, ගැලපෙන කැටයම යොදා අවසානයේ නිමි භාණ්ඩයක් නිපදවාගන්නේ ඉතා වෙහෙස මහන්සිවීමෙනි. ඔහුගේ ආදායම් මාර්ගය සාර්ථක වී ජීවිතය සරුකරගන්නේ එලෙසටයි.

ලෝ කුරුවෝ ගිනියම් කොට 
යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ 
නිම කරවා නම් ...

ලෝහ කර්මාන්තයේ යෙදෙන කම්මල්කරුවන් නිසි හැඩයක් නොවූ රලු යකඩ තලා එයින් තියුණු ආයුධ සැදීමේ කර්තව්‍යයේදීත් ඔවුන් දරන්නේත් සුලුපටු වෙහෙසක් නොවේ. සෑම පියවරකදීම හොදින් සිතාබලා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ගැනුම්කරුවාගේ සිතැගි පරිදි ඉතා වෙහෙස මහන්සිවී සිය කාර්යය ඉටුකරගත යුතුය. කෙතරම් කටුක වුවත් නිමාව සුන්දරයි.  

සසර පුරා සරන තුරා 
දුවන පනින දගලන සිත 
දමනය කර සුවපත් වෙයි
නුවණක් ඇත්නම් ...  

අවසානයේදී මේ සෑම දේකටම මුල්වන සිත නොඑසේනම්, දිවියේ යම්යම් සන්ධිස්ථානයන්හිදී විවිධ හැලහැප්පීම් වලට හීලෑනොවන සිත, එක් අරමුණක රදවාගෙන සංවර කරගනිමින් තමදිවිය සාර්ථක කරගැනීමට හැකිවන්නේ ඉන් ඇතිවන අනිසි ප්‍රතිඵල දන්නා බුද්ධිමත් පුද්ගලයෙකුටම පමණකි. සිත සංවර කරගෙන දියුණු කරගැනීම තුලින් සුවයක්ම ලබෙන බව පසක් කිරීමට, පෙරකී කර්මාන්තකරුවන්ගේ දිවිය නිදර්ශනයට ගනිමින් රසිකයාට පහදාදීමට අවසන් ගේයපදපෙල  මගින් මහින්ද දිසානයක ශූරීන් ගෙන ඇති මෙහෙය ඉතාම රශංසනීයයි. මෙසේ සියලු කර්මාන්තයන්හි යෙදෙන පුද්ගලයින් තම කාර්යයෙහි දස්කම් පාමින් සිය කටයුතු මනා ලෙස ඉටු කරගන්නා සේ දුවන පනින දගලන තමන්ගේ සිත පාලනය කරගතහැකි පුද්ගලයා ඥානවන්තයෙක්ම බව ගීතය අවසානයේදී අපට සිහිපත් කරදෙයි.

ඔබ මා සිත්ගත් මේ ගීතයට සවන් දෙන්න පහත සබැදිය මත ක්ලික් කරන්න.




පසු සටහන: 
"ආලෝකා උදාපදී" පුවත්පතේ මහේෂී කෝකිලා ලේඛිකාව, මහින්ද දිසානායක ශුරීන් සමග කල සාකච්ඡාවක් ඇසුරින් පලවූ ලිපිය ආශ්‍රයෙන් සකස්කරන ලද්දකි. 

Thursday, January 2, 2014

පරිගණකයේ නැතිවූ දත්ත (බොහෝමයක්ම) නැවත ලබාගැනීමට උපකාරී වන නොමිළේ ලබාගතහැකි මෘදුකාංග | Free software tools to help you recover data after accidentally deleted or corrupted

කාර්යාලයේ ඔබට පැවරූ වැදගත්ම ව්‍යාපෘතියකට අදාළ දත්තයන් හෝ මිළකල නොහැකි අතීත සිහිවටන රැගත් ඔබගේ පවුලේ චායාරූප සමුහයක් හෝ පරිගණකයේ දෘඩතැටියේ තැන්පත් කරතිබියදී, යම් හෙයකින් ලබාගත නොහැකි තත්වයට පත්වුවහොත් ඔබගේ සිතට ඇතිවන හැගීම කෙබදු වියහැකිද? සමහරවිට එය අත්වැරදීමකින් වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ දරුවෙකු අතින්, මිතුරෙකුගේ අතින් සිදුවන අනිසි පරිගණක භාවිතයක් නිසා නොදැනුවත්වම මකා දැමීමක් හෝ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් නිසා හෝ සමහරවිට පරිගණක වෛරස් ආසාදනයක්  නිසා හෝ වන්නට පුළුවන්. 

එහෙත් බලාපොරොත්තු නැතිකරගන්න එපා. සියලු බලාපොරොත්තු බොදවී යා නොදී නැතිවූ දත්ත යලි ලබාගත හැකිවේ නම් එය ඔබේ සිතට ලොකු අස්වැසිල්ලක් වේවි. ඒ සදහා භාවිතා කළහැකි මෘදුකාංග බොහොමයක් අතරින් මා සිත්ගත් කිහිපයක් ගැනයි මේ බ්ලොග්සටහන.

සයිබර් අවකාශයේ සැරිසරන ඔබට පහත සදහන් මෘදුකාංග කිහිපය පිළිබද වඩාත් හොදින් අධ්‍යයනය කිරීමඑතරම් අපහසු වන්නට බැහැ. අන්තර්ජාලයේ බෙහෙවින්ම ජනප්‍රිය සේවා දෙකක් වන http://www.youtube.com/ හෝ https://www.google.lk/ භාවිතයෙන් ඔබට මේ පිළිබද සවිස්තරාත්මක තොරතුරු සොයාගත හැකියි. බුද්ධිමත් ඔබ, ඒවා එකිනෙක සංසන්දනය කර බලා වඩාත් යෝග්‍ය මෘදුකාංගය තෝරාගෙන සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව, ප්‍රයෝජනයට ගැනීමට මෙය මහගු උපකාරයක් වේවි.

Disk Investigator

"Disk Investigator helps you to discover all that is hidden on your computer hard disk. It can also help you to recover lost data. Display the true drive contents by bypassing the operating system and directly reading the raw drive sectors. View and search raw directories, files, clusters, and system sectors. Verify the effectiveness of file and disk wiping programs. Undelete previously deleted files."

මෙම මෘදුකාංගය පරිගණකයේ සෑමකොටසකම පිහිටවූ ලිපිගොණු පරීක්ෂාකිරීමක් සිදුකෙරෙන බැවින් ප්‍රතිඵලය ලබාගැනීමට ඉතා වැඩි කාලයක් ගතවන බැව් සදහන්. යම් අවස්ථාවලදී පැය ගණනක්. එමෙන්ම ලබාදෙන ප්‍රතිඵලය කියවා තේරුම් ගැනීමට තරමක් අපහසුවුවක්. එහෙත් එහි වටිනාකම ඔබට දැනේවි ලිපිගොණු එකින් එක නැවත පිහිටුවාගෙන, පරීක්ෂා කර බලද්දි ඔබ අතින් මැකීගිය ලිපිගොනුව හෝ වීඩියෝව හෝ විද්‍යුත් තැපැල් ඇමුණුම ඔබට ලැබුණුවිට. 

පහත සබැදියෙන් Disk Investigator හිමිකරුවන්ගේ ජාලය හා සම්බන්ධවී නවතම සංස්කරණය බාගත කරගැනීම සිදුකරගත හැකියි. 
 Disk Investigator ™

Free Undelete

"FreeUndelete restores deleted files, including those removed from Windows Recycle Bin. In case of accidental removal of files on a NTFS (1.0 and 2.0) (default for Windows Vista, XP, 2000 and NT), FAT32, FAT16 or FAT12 file systems this is the utility to help."


Recuva

“Accidentally deleted an important file? Lost something important when your computer crashed? No problem! Recuva recovers files deleted from your Windows computer, Recycle Bin, digital camera card, or MP3 player. And it's free!”


Undelete Plus 3.04

"UndeletePlus is a quick and effective way to restore deleted or lost files. It can also recover files that have been emptied from the Recycle Bin, permanently deleted files within Windows using the Shift + Delete, and files that have been deleted from within a Command Prompt. Works with the Windows XP, Windows 2003, Vista, Windows 2008, Windows 7, Windows 8 operating Systems. Both 32-Bit and 64-Bit Windows are supported."

සියළුම අංගයන්ගෙන් සමන්විත  eSupport UndeletePlus මෘදුකාංගය මුළුමනින්ම නොමිළේ ලබා දෙන මෘදුකාංගයක් නොවුනත් අනෙකුත් ප්‍රතිවාදී මෘදුකාංග හා සසදන විට  එහි ඇති අතුරුමුහුණත් පරිශීලනය කිරීම හරිම පහසු බවට සදහන්. (attractive interface) වසරක පරිශීලනය සදහා $ 39.95 වැනි මුදලකට full featured eSupport UndeletePlus මෘදුකාංගයේ නවතම සංස්කරණයපහත සබැදියෙන්  හිමිකරුවන්ගේ ජාලය හා සම්බන්ධවී  බාගත කරගැනීම සිදුකරගත හැකියි.
   

Test Disk

“TestDisk was primarily designed to help recover lost partitions and/or make non-booting disks bootable again when these symptoms are caused by faulty software, certain types of viruses or human error (such as accidentally deleting a Partition Table). Partition table recovery using TestDisk is really easy.”



To make this blogger better, please do a comment about this post.

Thursday, December 19, 2013

පහතරට තෙත් කලාපයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනය | Kanneliya Forest Reserve

කන්නෙලිය මංපෙතට පිවිසෙන පිවිසුම් මාර්ගය
ආරම්භයේ හමුවන ප්‍රධාන නානතොටුපල සෑදී ඇත්තේ
කන්නෙලිය වනය තුලින් ගලන නන්නිකිත ඇලෙනි. 
අප දන්නා පරිදි ලංකාවට ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින්, අතිබහුතරයක්‌ම වාර්තා වන්නේ තෙත් කලාපයේ පිහිටි වැසි වනාන්තරවලින්. ජෛව විවිධත්වයෙන් අනූනවූ මෙකී ස්වභාවික වැසි වනාන්තර ගැන කතා කිරීමේදී, අපේ මතකයට නිරතුරුවම නැගෙන්නේ, මධ්‍යම කදුකරයේ නිරිත දිග පැත්තට වන්නට පිහිටා ඇති හේක්ටයාර එකලොස්දහස් දෙසිය පනහක පමණ භුමිභාගයකින් යුතු ජාතික වනෝද්‍යානයක් වූ සිංහරාජ වනාන්තරයයි. යුනෙස්කෝ සංවිධානය විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කොට ඇති සිංහරාජ වනාන්තරය හැරුණු කොට තවත් ඒහා සමානම ජෛව විවිධත්වයන්ගෙන්  අනුනවූ තෙත්බිම් සමුහයක් මේ සුන්දර ලංකාදීපයේ තිබේ. මේ සමුහය අතරින් කන්නෙලිය වන රක්ෂිතයට හිමිවන්නේත් සුවිශේෂී ස්ථානයක්. 
ලෑලිපාලම පසුකරමින් ඉදිරියට යනවිට දැකියහැකි
කළුගල් අතරින් ගලාබස්නා දැකුම්කළු අනගිමල ඇල්ල.  

දියඅල්ලේ අසිරිය විදීමෙන් පසු ප්‍රධාන මංපෙතට පිවිස
ටිකදුරක් යනවිට හමුවන යෝධ පුස්වැල
අක්කරයක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇතිබව පැවසේ.
මෙවන් සටහනකින් ලිපිය ආරම්භකිරීමට සිත්වූයේ ඔබ අප නොදන්නා සුන්දර වැසි වනාන්තරයක් වූ කන්නෙලිය ගැන කියන්නයි. ගෙවුණු මාසයේ එක් සොදුරු සැන්දෑවක සහෝදර නිලධාරීන් සමුහයත් සමගින් අපි රුහුණු පුරවරයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය ආසන්නයට ලගාවුනෙමු. ඒ අපගේ වාර්ෂික සුහද හමුව මෙවර කන්නෙලිය ආසන්නයේ පැවැත්වීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබුණු නිසා. සැබවින්ම මෙහිදී වනාන්තරයක සිරි නැරබීමට අවස්ථාවක් ලැබේයැයි අපි නොසිතුවෙමු. අපගේ මුලික අරමුණ වුයේ වාර්ෂිකව පැවැත්වෙන සුහද හමුවට සහභාගිවීම සදහා නවාතැන වූ කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් ගමනාන්තයට ලගාවීමයි. එසේවුවත්, සුහද හමුවට පසුවදා හෝරා කිහිපයක් කන්නෙලිය වන රක්ෂිතයේ ගතකිරීමේ අවස්ථාව අපට අහම්බෙන්  උදාවුනා.

ඔබත් පහතරට වැසි වනාන්තරයක සිරි නැරබීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අප විදි සුන්දරත්වය විදගැනීමට මේ තොරතුරු යම් පිටුවහලක් වේවි.

සුපිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි ගල්ගොඩකන්ද දොළ.
මෙවැනි කුඩාදිය පහරවල් රාශියක් එකතුවී සෑදෙන
නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ ගිංගගේ හා
වලවේ ගගේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශ බව පැවසේ.
  
කන්නෙලිය වනාන්තරය ගාල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා තිබේ. ගාල්ල නගරයේ සිට නම් කිලෝමීටර් හතලිහක පමණ දුරක්.

ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණලංකා අධ්වේගී මාර්ගයෙන් ගමන්කොට ගාල්ල දෙසට වන්නට පිහිටි බද්දේගම පිවිසුමෙන් පිටවී නාගොඩ මාර්ගය ඔස්සේ උඩුගම නගරය හරහා කන්නෙලියට අප ගමන්ගත් මාර්ගය, කන්නෙලියට නොගිය ඔබට වඩාත් පහසු මගවන්නට පිළිවන්.

සුහදශීලී, ලෙන්ගතුබවින්, උපරිම විනෝදාස්වාදයක් ලබාදුන්
සුහද හමුව පැවැත්වූ අපගේ සොදුරු නවාතැන වූ
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්හි බාහිර පෙනුම.
වන සංරක්ෂිතයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයට ලගාවූ අපි පළමුවෙන්ම ඒ අසල පිහිටා ඇති කවුළුවෙන් ප්‍රවේශපත්‍ර ලබාගතිමු. එහෙත් මගපෙන්වන්නකුගේ සහාය නොමැතිවනම් වනමංපෙත තුලට ඇතුළුවීමට නොහැකියි.  අපගේ පෙරගමන්කරු නොහොත් මගපෙන්වන්නා ලෙස අප එකතු කරගත්තේ ඒ ප්‍රදේශයේම තරුණයෙකු වූ නුවන් සංජීවයි. පළමුව අපි ඔහු හා දොඩමලු වීමු. ඔහුගේ විස්තරයට අනුව මේ ප්‍රදේශයට කන්නෙලිය යනුවෙන් නම ඇතිවී ඇති ආකාරය විනෝදජනකයි. පුරාතනයේ මේ ප්‍රදේශය පාලනය කල ගම්මුලාදෑනියෙකු සිට  තිබේ. තරුණ ලියක් ඔහු හා විරසකවීම හේතුවෙන්, මෙම ප්‍රදේශයට පැමිණ නිරාහාරව දින කිහිපයක් ගත කර තිබේ. පසුව මෙය දැනගත් ගම්මුලාදෑනී තෙම නිරාහාරව සිටි මෙකී ලිය මුණ ගැසී තමන් රැගෙන ආ ආහාර අනුභව කරන ලෙසටම පෙරැත්ත කර සිටිහෙයින්, මෙකී ප්‍රදේශය කන්නලිය ලෙසට මුලින් හැදින්වී පසුව ව්‍යවහාරයේදී කන්නලිය යන්න කන්නෙලිය බවට පත්වූ බවටයි අදහස.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර . 
වනය තුලට ඇතුළුවී පටුමාවත ඔස්සේ ටිකදුරක් ඇවිද යනවිට නෙත ගැටෙන වියන් ස්තරය දිවිතීයකව ඇති වූ තුරුලතා වලින් නිර්මාණය වුවක්. ප්‍රාථමිකව පිහිටා තිබු මුල් වනාන්තරය දැව ලබාගැනීම සදහා ප්‍රයෝජනයට ගෙන ඇති අතර, අපට අද දක්නට ලැබෙන්නේ පසු කාලීනව වර්ධනය වූ ද්විතීයක වැසි වනාන්තර පද්ධතියක්. එවකට තිබු  දැවැන්ත වෘක්ෂයන් කපාඇති බවට සාක්ෂි සනාථ කරමින් ඉවත්කළගත නොහැකිව පරසරයටම දිරාපත් වන විශාල කදන් විටෙක අපට දැකගත හැකියි. එමෙන්ම, එකල මහා පරිමාණයෙන් කපා හෙලන ලද දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග අදටත් දැකගත හැකියි. ඇටඹ, බදුල්ල, කැකුණ, කීන, මඩොල්, හොර, ගල්වෙරළු වැනි තෙත් කලාපයට පමණක් ආවේනික වූ ශාක, ඇවිදයන ගමන්ම අපගේ මගපෙන්වන්නා වූ නුවන් සවිස්තරාත්මකව පැහැදිලි කරදුන්නේ අතින් පෙන්වමින්.

කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින්
ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර .
ආවේනික උස් ශාක විශේෂ ගණනාවකින් පැහැදිලිවම ඉහලට නෙරා ඇති නෙරු ස්‌තරයත්, එයට පහලින් සිසිලස ලබාදෙන වියන් ස්‌තරයත්, යටින්ම වර්ධනය වී ඇති වැල් වර්ග, මීවන ශාක හා පෙදපාසි විශේෂත් මේ වනාන්තරයේ බහුලයි. වෙනිවැල්, කොතලහිඹුටු, ඉරමුසු, රසකිඳ, කොකුම්,සත්සඳ වැනි ඖෂධීය පැළෑටි වර්ග බොහොමයක් මෙහිදී දැකගත හැකි බව පැවසුවත්, අප ගමන්කළේ වනය තුලින් වැටී මාවතක නොව ගල්දමා තාර ඇතිරූ මාවතේ පමණක්ම බැවින් එයට ආසන්නව බහුලව වැඩී ඇති වෙනිවැල් ඖෂධීය පැළෑටියනම් හොදින් නිරීක්ෂණය කෙළෙමු. 

සහෝදර විධායක නිලධාරීන්ගේ එකමුතුවෙන් පැවති
වාර්ෂික සුහද හමුව.
කන්නෙලිය වනයේ සැරිසැරූ අපට හමුවූ ස්ථාන අතරින් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට නිමවා ඇති විඩානිවාගත හැකි ගිමන්හල්, ස්වභාවිකව නිර්මාණයවී පිහිටා ඇති උමන් මාර්ගය, ගල්ගොඩකන්ද  දොළ, ස්වභාවික දැව වලින් පමණක්ම නිමවා ඇති දැවමය ලෑලි පාලම, සුන්දර අනගිමල ඇල්ල හා යෝධ පුස්වැල සුවිශේෂී වේ.

බද්දේගම පිටවුමෙන් පිටවී
නාගොඩ දෙසට හැරෙන මාවත අභියස .. අපේ කස්ටිය ..... 
සුන්දර හෝරා කිහිපයක් සිහිල් වනපියසෙක ගත කිරීමේ අවස්ථාව ලද අපි අපගේ චාරිකාව නිමකොට නැවතත් ගමනාරම්භ කල ස්ථානය කරා නැවත ලගාවීමු. පිවිසුම් මාර්ගය අසල පිහිටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ තොරතුරු වල හා දැන්වීම් පුවරුවේ සදහන් පරිදි, 1934 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්නෙලිය වනාන්තරය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර පසුව, එනම් 1990 දශකයේ මුල් භාගයේදී මෙය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබේ. යුනෙස්කෝ ආයතනය විසින් මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ 2004 වර්ෂයේදී කන්නෙලිය වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට සෞන්දර්ය නැරඹීම සහ වන විද්‍යා පර්යේෂණ සිදුකිරිම සඳහා පමණක්ම වෙන්කර තිබේ.

අපේ කස්ටිය .....
බද්දේගම අධිවේගී මාර්ග පිටවුම  නාගොඩ හන්දිය අසලදී  ...
පහතරට තෙත් කලාපීය වැසි වනාන්තරයක ස්වභාව සෞන්දර්ය නැරඹීමට හා ඉන් වින්දනයක් ලබාගැනීමට කැමති ඔබට කන්නෙලිය වනාන්තරය ඉතාමත් සුදුසු ස්ථානයක් වනවා නොඅනුමානයි. මෙවන් සුන්දර පරිසර සුරැකීමසුන්දරත්වයට ලැදි ඔබ අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින්, පියසටහන් පමණක් ඉතිරි කොට මතකය පමණක් රැගෙන අපි අපගේ නවාතැනට ලගාවීමු.

අපේ කස්ටිය .....
කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්  ඉදිරිපිට ..
අතොරක් නැතිව නැගුනු මැඩියන්ගේ නදින් හා සියොතුන්ගේ සුමියුරු නදින් මත්වුනු නන්නිකිත දොළේ දියපහර අසල පරිසරය විදිමින්, විනෝදයෙන් ගතකල මොහොතක දියනෑම පසෙකලා අවට සංචාරය කිරීමේ අදහස ක්‍රියාවට නංවමින් අප හා එක්වුණු ජයන්ත ප්‍රියරත්න මහතාටත්, ප්‍රවේශපත්‍ර මිලදී ගනිමින් මුල්‍ය පරිත්‍යාගය සිදුකල කිත්සිරි මුහන්දිරම් මහතාටත්, වනය තුල  සංචාරයේදී අපට මගපෙන්වමින් අත්දැකීම් බහුල දැනුමින් අපව පෝෂණය කරමින් කන්නෙලිය රක්ෂිතය තම ජීවය කරගත් නුවන් සංජීව සොහොයුරාටත්, ඒකාකාරීතත්වය බිදලමින් ස්වභාව සෞන්දර්යයෙන් මත්කොට සොදුරු නවාතැනක සුහද හමුව පැවැත්වීමට අදහස් කල විධායක නිලධාරීන්ගේ සංගමයටත් මෙහිදී සැබැවින්ම ස්තුතිවන්ත වෙමු.










Monday, September 30, 2013

ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය | Lankathilaka Viharaya, Kandy

අතීත කලාකරුවන්ගේ නිර්මාණාත්මක කැඩපත විදහා දක්වන ගඩලාදෙණිය රජමහා විහාරයෙන් සමුගත් අපගේ මීලග අදහස ගම්පොළ රාජධානි යුගයේදී ගොඩනගන ලද ගෘහ නිර්මාණ ශිල්පයෙන් හා අලංකාර ලක්ෂණයන්ගෙන් අගතැන්පත් අනිත් විහාරයවූ ලංකාතිලකය නැරඹීමයි. සුන්දර වටපිටාවකින් හෙබි ලංකාතිලක විහාරය පිහිටා ඇත්තේ උඩුනුවර හියරාපිටිය නම්වූ ග්‍රාමයකයි.

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන  හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයත් යැයි සැළකෙන මෙම විහාරස්ථානය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරවන ලද්දකී. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි. 

ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූපොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණදී එය සංඝයාවහන්සේට පූජා කරන ලදී. 

මෙම විහාරස්ථානයේ නැගෙනහිර පසටවන්නට බුද්ධප්‍රතිමා සහිත පිළිම ගෙය පිහිටා ඇති අතර, බටහිරට වන්නට දේවාලය පිහිටුවා තිබේ. ගල්තලාව පාමුල විහාරගෙය පැත්තට වන්නට සංඝාවාස ආදි ගොඩනැගිලි පිහිටා ඇත. මෙයට අමතරව වෙහෙර, බෝධිය, බණමඩුව හා දෙවියන්ට ආහාර පිසීමට පැවති මුලුතැන්ගෙයි ගොඩනැගිලිද විහාරභූමියේ පිහිටා තිබේ. 

බුද්ධප්‍රතිමා වහන්සේ

බුද්ධප්‍රතිමා සහිත ප්‍රධාන විහාරගෙය හා යාබදව පිහිටා ඇති දේවාලය  

ප්‍රධාන විහාරගෙයට යාබදව පිහිටා ඇති
වෙහෙර, බෝධීන් වහන්සේ හා දේවාලය 

විවේකී සති අන්තයේ පිය පුතු ඇතුළු සැම ලංකාතිලක විහාරය
වන්දනාමාන කරගැනීමෙන් පසු ප්‍රධාන විහාරගෙය අභියස