ඛනිජ සම්පත් යනු මිනිස් සංවර්ධනය හා ඉතා කිට්ටුවෙන් බැදී පවතින ස්වාභාවික සම්පත් විශේෂයකි. ඇමරිකානු පතල් කාර්යාංශය මගින් කරනු ලැබ ඇති වර්ගීකරණයකට අනුව ලොව ඇති ආර්ථික ඵලදායි ඛනිජ සම්පත්, ශක්තිය සපයන ඛනිජ, යකඩ හා යකඩ මිශ්‍ර ලෝහමය ඛනිජ, යකඩ නොවන ලෝහමය ඛනිජ හා ලෝහමය නොවන ඛනිජ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත. ශ්‍රී ලංකාව පිළිබද තත්වය සළකන විට ඛනිජ ඉන්ධන හෝ ආර්ථික මට්ටමේ ලෝහමය ඛනිජ සංචිත කිසිවක් රට තුළ මෙතෙක් සොයාගෙන නොමැත. එසේ වුවද, ලෝහමය නොවන ඛනිජ සම්පත් වලින් රට කිසියම් වූ ප්‍රමාණයකට පොහොසත්ය. මිනිරන්, මැණික්, ඛනිජවැලි, පිගන් මැටි, හුණුගල් හා පොස්පේට් දේශීය ලෝහමය නොවන ඛනිජ වලට නිදසුන්වේ. මේ සියලු ඛනිජ සම්පත් වලට සාපේක්ෂව මිනිරන් නිධි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැවති අතර, එය අතීතයේ පටන්ම බහුලව මිනිස් ශ්‍රමය යොදාගනිමින් පවත්වා ගෙන යන්නාවූ කර්මාන්තයකි. දේශීය මිනිරන් වල ඇති අධික කාබන් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන් සුප්‍රසිද්ධ බැවින්ද, ඒ සදහා අධික මිළක් ගෙවනු ලැබූ හෙයින්ද අනෙකුත් දේශීය ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත අභිබවමින් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ක්‍රමයෙන් රටතුල ස්ථාපිත විය.
මිනිරන් කර්මාන්තයේ විකසනය
පුරා විද්‍යාත්මක සාධක වලට අනුව ප්‍රාග් ඉතිහාසික යුගයේදී (එනම් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ ) ගිණිකොනදිග යුරෝපයේ මැටි බදුන් අලංකාර කිරීම සදහා ස්වභාවික මිනිරන් භාවිතයට යොදාගෙන ඇති බවට තොරතුරු සොයාගෙන ඇත. එසේම ක්‍රිස්තු වර්ෂ 1565 පෙර ආසන්න වසරකදී බ්‍රිතාන්‍යයේ බැටලු එඩේරුන් පිරිසක් විසින් මිනිරන් ඉල්ලමක් සොයාගෙන ඇති අතර, එයින් කඩාගත් මිනිරන් කැබලි එරට ස්වදේශිකයන් විසින් බැටලුවන් සළකුණු කිරීම සදහා භාවිතයට ගත් බැව්ද කියැවේ. සාක්ෂරතාවය පහළ මට්ටමක තිබූ පුරාතනයේදී ජීවත්වූ ජනයා මිනිරන් වලවූ සුවිශේෂී දිළිසෙන ස්වභාවයත්, ලිහිසි ගතියත් නිසා එය වටිනා ලෝහයක් ලෙසින් වරදවා වටහාගැන්මට පවා යෙදී තිබේ.
මෙසේ ස්වභාවික හමුවූ මිනිරන් කෝව සෑදීමට, අච්චු ඇතුළත ආලේපනයට වඩාත් සුදුසුයැයි සොයාගැනීමත් සමග එය කාර්මික අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට ගැනී ඇත්තේ වර්ෂ 1533 ත් 1603 ත් අතර කාලයකදීය. කාලතුවක්කු උණ්ඩ සැදීමට ගන්නා අච්චු ඇතුළත ආලේපනය සදහා මිනිරන් සුදුසුවීම හේතුවෙන් එය බ්‍රිතාන්‍යය හමුදාවන්ගේ ආයුධ නිෂ්පාදන ක්‍රියවලියට දායක කරගැනීමට සියලු මිනිරන් පතල් රජය යටතට ගෙන නිෂ්පාදන ක්‍රියාවලියන් සිදු කර ඇතිබවට සදහන්ය.
මධ්‍යතන යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවයත්, විද්‍යා හා තාක්ෂණ ක්සේත්‍රයේ ඇතිවූ සීග්‍ර දියුණුවත්, පළමු හා දෙවන ලෝක සංග්‍රාමත් හේතුවෙන් නොයෙකුත් කාර්මික යෙදවුම් සදහා මිනිරන් අමුද්‍රව්‍යයක් ලෙසට භාවිතා කිරීම වඩවඩාත් ප්‍රචලිත වූ හෙයින්, බ්‍රිතාන්‍යය යටත්විජිත රටක්වූ ශ්‍රීලංකාවේ මිනිරන් සදහා ඇති ඉල්ලුමද ක්‍රමයෙන් වැඩිවන්නට විය. බටහිර රටවල සිදුවූ සීග්‍ර කාර්මික වර්ධනය හේතුකොටගෙන මිනිරන් වලින් ලබාගතහැකි වෙනත් ප්‍රයෝජන සම්බන්ධයෙන් අත් හදා බැලීම්වලටත් මග පෑදුණි. බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති ලංකාව ඒවනවිට කාර්මිකකරණය පැවති බටහිර රටවල මිනිරන් සදහාවූ ඉල්ලුම පවත්නා සැණකින් ප්‍රයෝජනයට ගතහැකි වෙළදසබදතාවයක් ගොඩනගාගෙන තිබූ හෙයින් ශ්‍රීලංකාවේ මිනිරන් කර්මාන්තයේ පුනර්ජීවනයක් සිදුවී තිබේ.
දහනව වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිට 1870 ගණන්වල මුල කොටස දක්වාවූ කාලය සුලු අපනයන කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය ස්ථාපිත වූ අවධියක් ලෙසට සදහන් කළ හැකිය. මෙම කාලයේදී මිනිරන් කර්මාන්තයේ වර්ධනයට හේතුවූ මූලික සාධකය වුයේ අධික කාබන් ප්‍රමාණය අතින් සුප්‍රසිද්ධ ශ්‍රීලංකාවේ ඉල්ලම් මිනිරන් සදහාවූ ඉල්ලුම වැඩිවෙමින් පැවතීමයි.
1869 සිට 1918 දක්වා වූ කාලය තුල ශ්‍රීලංකාවේ මිනිරන් වලවල් හා පතල් 3000 ක් පමණ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය පුරාම තැනින් තැන ඇතිවී ඇත. යාන්ත්‍රික උපකරණ යොදාගත් පතල් (මෝල් පතල්) හා මිනිස් ශ්‍රමයෙන් වැඩකල පැරණි ක්‍රමයේ වලවල් හා පතල් (දබරේ පතල්) මේ අතර වේ.
කෙසේ නමුත් ශ්‍රීලංකාව තුල විශාල පතල් කිහිපයක දියුණුව ඇතිවී ඇත්තේ ඒවායේ කලින් කලට සිදුවූ ආර්ථික උස්පහත් වීම්වලට මුහුණ දෙමිනි. වර්ෂ 1930 දී ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පතල් විශාල ගණනක් වැසීයාමට හේතුවී ඇති අතර, තවත් කිහිපයක නිෂ්පාදනය මුලුමනින්ම නැවතී ඇත. දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් ඇතිවූ ඉල්ලුම සැපිරීමට අවශය නිෂ්පාදනයන් ලබදිය යුතුව තිබූ හෙයින් නැවතත් 1940 දී පමණ ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය පුනර්ජීවනයක් ලබන ලදී. කෙසේ වෙතත් මේ සියලු උස් පහත්වීම් වලට නොසැලී මුහුණ දෙමින් ශ්‍රී ලංකා මිනිරන් වලට වූ සීමිත වෙළදපොළ ස්ථාවරව පවත්වාගෙන යමින් පැවැත්ම තහවුරු කරගැනීමට සමත්වූයේ බෝගල, කහටගහ හා කොළොන්ගහ පතල් පමණකි. වර්තමානයේ මිනිරන් සදහා පවතින්නාවූ මෙකී සීමිත වෙළදපොල ස්ථාවරව, සාර්ථකව පවත්වාගෙන යාමේ කටයුත්ත නියැලී සිටිනු ලබන්නේ බෝගල පතල පමණකි.
|
ශ්‍රීලංකාවේ පාෂාණ ස්ථරයන්ගේ පිහිටීම හා
වර්තමානයේ සක්‍රීයව පවතින මිනිරන් පතල් පිහිටි ස්ථාන දැක්වෙන සිතියම
(සිතියම උපුටාගැනීම - අන්තර්ජාලයෙනි) |
පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.
සබැදි තවත් ලිපි:
1) ශ්‍රී ලංකාවේ මිනිරන් | Sri Lankan Graphite
2) බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines
3) පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත