Pages

Sunday, April 28, 2013

ඩෙස්ක්ටොප් (Desktop) පරිගණකයක් මිළදී ගැනීමට පෙර අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක්

පරිගණකය නූතන සමාජයේ මිනිසාගේ මූලික අවශ‍යතාවයක් වන තරමටම එදිනෙදා ජීවිතයට බද්ධ වී තිබේ. තරුණ සමාජයේ පරිගණක සාක්ෂරතාවයද ක්‍රමයෙන් ඉහළ නගිමින් පවත්නා යුගයෙක බහුතරයක් වෙර දරන්නේ තමන්ටම කියා පරිගණකයක් මිළදී ගැනීමටයි. පරිගණකයක්  මිළදී ගැනීමට යාමේදී බොහෝ දෙනෙක් තමන් නොදන්නා කරුණු කාරනා රාශියකින් හෙම්බත් වී තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුද්ගලයන්ගෙන් මේ පිළිබදව සොයා බලා තොරතුරු එක්රැස්කර ගැනීම සුලභයි. එහිදී තමන් මිළදී ගැනීමට යන පරිගණකය කුමන විදිහේ පරිගණකයක්ද? එහෙමත් නැතිනම් මිළදී ගන්නා පරිගණකය ගතයුත්තේ කුමන වෙළද ආයතනයකින්ද? ගත්තොත් එය ගත්මුදලට වටීද? යන කරුණු රාශියක් මූලිකව සිතතුළ බලපැවත්වෙනවා. තවත් සමහරෙක්, වෙළදපොලේ පවතින හොදම පරිගණකයක් ඉතාම වැඩි මිළකට මිළදී ගැනීමට හෝ භාවිතා කරනලද ආනයනයික පරිගණකයක් ඉතා අඩු මුදලකට හෝ  මිළදී ගැනීමට පෙළබෙති. එසේ අනාවබෝධයෙන් හදිසියේ පරිගණකයක් මිළදී ගෙන පසුව මැසවිළි නගමින් දුක්වනවාට වඩා තමන්ගේ සිතට හැගෙන පරිදි යමක් තේරුම් ගෙන තමනට වඩාත් ගැලපෙනම පරිගණකයක් මිළදී ගත හැකිනම් එය සිතටත් තෘප්තියක්.

තමන්ගේ උවමනාවට ගැලපෙන පරිද්දෙන් ඉතා අඩු මිළකට උසස් තත්වයේ පරිගණකයක් හොද වෙළද ආයතනයකින් මිළදී ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් පහත කරුණු ඔබට යම් තරමකට හෝ උපකාරයක් වේවි. 
  • ඔබගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට යෝග්‍ය පරිගණකයක් වීම  
  • මින් අදහස් කරන්නේ ඔබ විසින් මිළදී ගැනීමට බලාපොරොත්තු වන පරිගණකය  කුමන අවශ්‍යතාවයක් සදහා යොදාගන්නේද යන්න පිළිබදව සැළකිලිමත් වියයුතු බවයි. එය ඔබගේ පාසල් වැඩ කටයුතු වලදී හෝ රාජකාරී කටයුතු වලදී ප්‍රයෝජන වන ලිපි ලේඛණ සෑදීමට පමණක් නම් ඒ සදහා භාවිතා කරනලද Pentium 4 වර්ගයේ පරිගණකයක් වුවත් සෑහෙන්න පුලුවන්. AutoCAD වැනි Computer Aided Designing මෘදුකාංග හෝ Adobe කාණ්ඩයේ Adobe Photoshop, Premier, Illustrator වැනි Graphic Designing මෘදුකාංග භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා වැඩි ධාරිතාවයකින් යුතු  Hard Disk එකක් සහ වැඩි Processor Speed එකක් ඇති පරිගණකයක් තෝරා ගැනීම සුදුසු වේවි.
     
  • ඔබට දැරිය හැකි මුදලක් වීම
  • ඔබට ගැලපෙන නවතම මෘදුකාංග පිහිටුවා තිබීම
  • උසස් වර්ගයේ උපාංග හා අමතර කොටස් සවිකර තිබීම
  • ඔබ පරිගනකය මිළදී ගනු ලබන ආයතනය
  • ඔබගේ පරිගණකයේ උපාංග හා අමතර කොටස් වලට වගකීම් සහතිකයක් තිබීම
  • ඔබගේ පරිගණකය මිළදී ගත් ආයතනය ඔබට ලබා දෙන අලෙවියෙන් පසු සේවාව
  • ඔබගේ පරිගණකයට උවමනා උපාංග පහසුවෙන් මිළදී ගැනීමට ඇති හැකියාව

Wednesday, April 24, 2013

වෙසක් උත්සවය | Vesak Festival

 
ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල් අනුස්මරණය කරමින්, ලෝකවාසී බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි වෙසක් උත්සවය. මෙය ශ්‍රීලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.
 
ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අවේනික වූ සම්ප්‍රදායනට අනුකූලව මේ බුදු තෙමගුල එනම් වෙසක් උත්සවය සමරනු ලැබේ. 
 
සෑම වසරකම මැයි මස (වෙසක් මස) පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. සෑම වසරකම මැයි මස පුර පසළොස්වක පෝය දින හා එයට පසු දිනය නිවාඩු දින ලෙස ලබාදෙන අතර, එකී දිනයන් තුළදී බුදු තෙමගුල සැමරීම වස් විවිධ ආගමික වත්පිළිවෙත් වල යෙදීම සිදුවේ. පුරා සතියක පමණ කාලයක් පුරාවට මෙකී වත්පිළිවෙත් සිදු කෙරෙන අතර, වෙසක් පුර පසළොස්වක දින හා එයට පසුදින සියලු මත්පැන් අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන හා මස්, මාලු වෙළද සැල් වසා තැබීමද සිදුවේ. වෙසක් උත්සවයේ දහම් නිදහස සංකේතවත් කරමින් බොහෝ බෞද්ධයෝ මස් මාංශ අනුභවයෙන් වැළකී මසට ඇතිකරන සතුන් හා කූඩු කරමින් ඇතිකළ පක්ෂීන්ට නිදහස ලබාදීමත් සිදුකරති.
 
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවනට ප්‍රමුඛත්වයක් ලබාදෙන බෞද්ධ ජනයා විවිධ ආගමික උත්සව සංවිධානය කරන අතර, සෑම නිවසකම පාහේ අලංකාරවූ වෙසක් පහන් කූඩු වලින්, පාට පාට බල්බ වලින්, බකට් වලින් හා පොල්තෙල් පහන් වලින් අලෝකමත් කිරීම හා වර්ණවත් කිරීම සිදු කරති. වෙසක් උදාවට දින කිහිපයකට කලින් වෙසක් කූඩු තැනීමට
පටන් ගන්නා අතර, මේ සදහා කුඩා ළමුන්ගේ වැඩි සහභාගීත්වයක් දක්නට ලැබේ. ලොකු කුඩා සැවොම එක්වී විවිධාකාර හැඩයෙන් යුතු අටපට්ටම් හෝ තාරකා හැඩයෙන් යුතු වෙසක් කූඩු නිර්මාණය කරන අතර වෙසක් උදාවෙන් පසු ඒවා සැමදෙනාටම නැරබීමට හැකිවන පරිදි ප්‍රදර්ශනය කරනු ලැබේ.
 

වෙසක් කූඩු තැනීමට අමතරව බෞද්ධ ජාතක කථා නිරූපණය කෙරෙන
සුවිශල් තොරණ් නිර්මාණය, දන්සැල් සංවිධානය හා රටපුරා පවතින පුණ්ය ආයතනවලට තෑගිබෝග පිරිනැමීමද සැවොම එක්වී සහයෝගයෙන් සාමයෙන් සිදුකරති.
 
වෙසක් දින පුරාවට සැදැහ සිතින් විහාරස්ථානයන් වෙත ගොස් මල්, පහන් සුවද දුම් බුදුන් ඉදිරියේ පුදා බුද්ධ, ධම්ම, සංග යන තෙරුවන් වන්දනාමාන කරගන්නා අතර, රාත්‍රී කාලයේ වෙසක් සිරි
නැරබීම සිදුකරනු ලබයි.
 
 
 
 
 


All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.
- Dhammapada Verse 2 -
 
ඡායාරූප අන්තර්ජාලයෙනි.

Monday, April 1, 2013

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද | Sinhala & Tamil New Year

සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක් මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලාංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා කළා මංගල්‍යයක් වන මෙය සිංහල භාෂාවෙන් "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙන අතර,  එය සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට යෙදේ.   

මේ කාලය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකු වූ කොහා, රතු පාටින් වැසී ගිය එරබදු මලින් බරවුනු තුරුලතා ගොන්නේ සැගවී "කොහෝ කොහෝ " නදින් ගම දෙවනත් කරවමින් අලුත් අවුරුද්ද සපැමිණි බව අපට කියාදෙන පණිවිඩකරුවෙකු වැනිය. වැසි වැටී සරුසාර වුනු කෙත්වතු වලින් අස්වනු නෙලා තම අටුකොටු පුරවාගෙන ලබන්නාවූ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් කල් ඇතිව සූදානම් වීම සිංහල බෞද්ධයන්ගේ පාරම්පරික සිරිතකි. ජ්‍යෝතිෂයට අනුව නැකැත් මාලාවක් මගින් පාරම්පරික සිරිත්විරිත් අලුත් අවුරුදු උදාවෙන් පසු මුලින්ම සිදු කෙරේ. එය පවුලේ ගරුකටයුතු වැඩිමහල් පුද්ගලයන් එකතුවී තම දූදරුවනට ආදර්ශයක් වන අයුරින් සිදුකෙරෙන අතර මෙහිදී එකී චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමක් සිදුකෙරේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර
  • නව සද බැලීම (Looking New Moon) - මෙයින් බලාපොරොත්තු වන්නේ සද දෙස බැලීමෙන් අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම මගින් නැවුම්ව, සුභවාදීව උදාවූ වසරේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව සිදුකරගැනීමට අධිෂ්ඨානයක් සිදු කරගැනීමයි.
  • පුණ්‍ය කාලය (Punya Kalaya) - අලුත් අවුරුදු උදාව ලෙස සලකන, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිද්දවන කාලය පුණ්‍ය කාලය නොහොත් නොනගතයයි. පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් නැති මේ කාලය කිසිදු සුභ නැකතක් නොමැත. එහෙයින්, පුණ්‍ය කාලය උදාවීමට පෙර ආහාර අනුභව කොට, කරන්නාවූ සියලු වැඩ කටයුතු අත්හැර ආගමික වතාවත් වල පමණක් යෙදීම අවුරුද්දේ සිදුකෙරෙන තවත් චාරිත්‍රයකි. සිංහල බෞද්ධයින් තම උපතේ සිට මරණය  දක්වාම ගෙවන කාලය තුළ සියලු කටයුතු ගමේ පංසල නැත්නම් තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සිරිතක්. නව වසර උදාවන මොහොතේදී ආගමික කටයුතුවලට මුල්තැන දී කටයුතු කිරීම මගින්, ලබන්නාවූ අලුත් අවුරුද්දේ කරන්නාවූ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට ආශිර්වාද ලබාගැනීමක් මෙහිදී සිදුකෙරේ.  
  • ළිපගිනි මෙළවීම හා ආහාර පිසීම (Preparing of Meals) - පුණ්‍ය කාලය නිමවී අලුත් අවුරුදු උදාවෙන් පසු සිදු කරන පළමු සුභ කටයුත්ත ළිපගිනි මෙලවීමයි. අළුතින් මිලදී ගන්නා ලද මුට්ටියක මුලින්ම කිරිබතක් පිසීම නිවසේ ගෘහණිය විසින් මෙහිදී සිදුකෙරේ. මේ කිරිබත ඊලගට යෙදෙන ආහාර අනුභවය නැකත සදහා ප්‍රයෝජනයට ගන්නා අතර බොහොමයක් ගෘහණියෝ ළිපගිනි මෙලවීමෙන් අනතුරුව, ආහාර පිසීමද සිදුකෙරේ. මෙහිදී පිළියෙළ කරනු ලබන සුවිශේෂී සම්ප්‍රදායික ව්‍යාංජනයකි "හත්මාලුව". ඉතාම රසවත් ව්‍යාංජනයක් වන මේ සදහා කජු ඇතුළුව ස්වභාවිකව සොයාගත හැකි තවත් එලවලු වර්ග හයක් යොදාගනිමින් පිළියෙළ කරගනී.
  • වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා සුභ නැකතට ආහාර අනුභවය (Trading & First Meal of New Year) - සුභ නැකතට ආහාර අනුභවය සදහා සුදානම් කරනු ලබන කෑම මේසය මධ්‍යයේ පහනක් දල්වා ලැබුවා වූ නවවසර තමාටත්, තම පවුලේ සියළු සාමාජිකයන්ටත් යස ඉසුරින් පිරි නිදුක් නිරෝගී වසරක්ම වේවායි ප්‍රර්ථනා කරමින් පළමුව ගෘහමුලිකයා විසින් ආහාර අනුභවය සිදු කරනු ලබයි ඉන්පසුව පිළිවෙලින් තම බිරිදටත් සෙසු පවුලේ සාමාජිකයන්ටත් පළමු කිරිබත් කට කවන අතර, අනතුරුව සියල්ලෝම සතුටින් ආහාර අනුභවය සිදු කෙරේ. අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදුකෙරෙන පළමු ගනුදෙනු කිරීම ගැමියන් විසින් සිදු කරන්නේ තමා බීමට ජලය ලබාගන්නා ලිදත් සමගයි. එමෙන්ම පළමු මුදල් ගනුදෙනුව සිදුකරන්නේ ගමේ ප්‍රසිද්ධියක් ඇති ධනවත් පුද්ගලයෙකු සමගයි. ගෘහමුලිකයාගේ ආරාධනය පිළිගන්නා ඔහු බුලත් අතක තබා යම් මුදලක් ගෙහිමියාට දෙන අතරම, ගෙහිමියා විසින්ද එලෙසින්ම යම් මුදලක් ඔහුට ලබාදේ. එමගින් වසර පුරාවටම අතමිට හිගනොවී සාර්ථකව ගතකිරීමට ගෙහිමයන් ආශිර්වාද ලබා ගනී.    
  • හිසතෙල් ගෑම (Anointing with Oil)
  • රැකීරක්ෂා බලා පිටත්වයාම (Leaving for Work) නිසි චාරිත්‍රානුකූල ලෙසට සිදුකෙරේ.

සිංහල සමාජයේ වඩාත් ජනප්‍රිය පාරම්පරික ජන ක්‍රීඩා සමූහයක් සිදුකරන්නේ මේ අවුරුදු සමයේදීය. ඈත අතීතයේ පටන්ම මෙකී ජන ක්‍රීඩාවන් කලඑළි බසින්නේ බක්මහ අසිරිය ගම්දනව් පුරා පැතිරී යාමත් සමගයි. අවට පරිසරයෙන් මේ ජන ක්‍රීඩාවලට අවශ්‍ය උපකරණ සොයාගනු ලබන අතර, එකට රොක්වන ගමේ බාල මහලු හැමෝගේම සහභාගීත්වය මේ සදහා නොඅඩුව ලැබේ.

අවුරුදු ජනක්‍රීඩා 
  • ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන් දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී සිදුකෙරේ.   
  • පංච දැමීම - මුහුදු බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල් කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන් සහභාගි වන අතර, දෙපිලකට බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.  
  • ඔළිද කෙළිය - ගැමි කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද කෙළිය" නමින් ප්‍රසිද්ධයි. 
  • වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින් ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක් වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය.  ඉලක්කය හරි ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.  
  • කැට ගැසීම - කැටගැසීමේ ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක් යොදා ගැනේ. බිත්තියකට හෝ යම් අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.
  • චක්ගුඩු පැනීම
  • රබන් ගැසීම ආදී විනෝදජනක ජනක්‍රීඩා සමූහයක් මෙකලදී දැකිය හැකිය.
පැරණි ජන ක්‍රීඩාවන් ජනප්‍රිය භාවය රැකගනිමින් පවත්වාගෙන යන අතරම, මේ ක්‍රීඩාවන් නවීකරණයන්ට බදුන් වෙමින් පැවැත්වෙන ආකාරයක් වර්තමාන සමාජයේ දැකිය හැකිය. විනෝදාස්වාදය කැටිකරගත් මෙකී ක්‍රීඩාවන් කලඑළි බසින්නේ "බක්මහ සැණකෙළිය", "සුර්ය මංගල්‍යය", "ගම්මැද්දේ අවුරුදු" "සුරිය උදාව", "වසන්ත උදානය" හෝ යම් යම් ආකර්ශනීය නම් වලින්.  බොහෝවිට ගමේ හෝ නගරයේ තරුණයන්, වෙළද ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය ඇතිව, මහා මැරතන් තරගයකින් හෝ මහා පාපැදි තරගයකින් උත්සවය ආරම්භ කොට නිමා කරනු ලබන්නේ දැවැන්ත මහා සංගීත ප්‍රසංගයකිනි. කෙසේවුවත් මෙකී වත්මන් අවුරුදු උත්සව වලදීත්, අපගේ පාරම්පරික ජනක්‍රීඩා සමුහයක් දැකගත හැකියි.

නවීකරණය වූ එකී ජන ක්‍රීඩා අතර, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම, බැලුන් පිපිරවීම, බනිස් කෑම, සැගවුණු අමුත්තා තේරීම, බාධක දිවීම, ගම හරහා දිවීම, ලිස්සන ගසේ නැගීම, පිටි බේසමේ සතය සෙවීම, තරගයට පොල්ගෑම, පොල් අතු විවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, ගෝනි රේස්, තිරික්කල රේස්, බිත්තර ඇල්ලීම, අත්ලෙන් ජලය පිරවීම, බීම බීමේ තරගය, අන්ධයාට කිරි කැවීම, දෙහි ගෙඩිය හැන්දේ තබා ගෙන යාම, විකට ඇදුම් තරගය, හොදම හිනාව, හොදම  ඇඩීම, ජනකවි ගායනා තරග, රබන් ගැසීමේ තරගය, අවුරුදු කුමරා/කුමරිය තේරීමේ තරගය, යනාදී තරග මේ සදහා එක් කොට තිබේ.

සබැදි ලිපි:
හෙළ සිරිතට විනෝදය එක්කරන බක් මහේ ජන ක්‍රීඩා 


Sunday, March 24, 2013

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) II

පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් ප්‍රකාශවී නම් එය පතල් කවියක් ලෙසින් ප්‍රකටයි. ඔබ දැනටමත් කියවා ඇති කලින් බ්ලොග්සටහනේ පළකෙරුණු පතල් කවි වලට අමතරව පොතපත ඇසුරින් සකස්කෙරුණු මේ පතල්කවි සමූහය, දේශීයත්වය අගයන දේශීය ජනගී වින්දනයට ලැදි ඔබේ රසාස්වාදනය උදෙසාමයි.


දඩිබිඩි ගගා කරනා වැඩ රටවටියේ
රට වෙඩිදමා කඩනා කලුගල් කැටියේ
මඩයට තියෙන මිනිරන් ගන්නා සැටියේ
උඩයට කරන අයට දෙන්නේ අඩුපඩියේ

පතලක සේවය කරන කම්කරුවෙක්
 ( ඡායාරූපය අන්තර්ජාලයෙනි )
මහත්තයෝ මා කීදේ අහනවද?
අතේ තියෙන කරගැටි පොඩි බලනවද?
පොතේ තියෙන ණය ගණනත් කියනවද?
ගමට යන්න පඩි තුණ්දුව ලැබෙනවද?

බඹරේ කරකවා අත්දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත්මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩගැන බඩදගලනවා

දෝත මුදුන් තබමින් සුරිදුන් වදිමු
සෑම සියලුදෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සීපද කියමු
දෝස දුරලවා අපි ගමරටවල යවමු

නෙත් දෙක සේම මගෙ පොඩිපුතා නුඹට
අත්දෙක සවිය නැත කලුගල් විදින්නට
පත්වූ සැණින් අවසර ඉල්ලාම සිට
අතහැර වරෙන් පුතණුවනේ නුඹ ගමට


පෙර පළකල පතල් කවි කියවන්න මෙතැනින්:
පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I

Saturday, March 16, 2013

පාරුවේ ගමන් ගනිද්දී අත්විදි ජීවන අත්දැකීම් කවියක් ලෙසින් - පාරු කවි (Paaru Kavi)

අපේ ඉතිහාසයේ අපේ ජන කවි අතරට වැටෙන තවත් එක් කවි වර්ගයකි පාරු කවි. ඈත අතීතයේ මිනිසුන් තමන්ගේ එදිනෙදා ජීවිතයට උවමනා බඩු භාණ්ඩ තැනෙක සිට තවත් තැනෙකට රැගෙන යාම සදහා ස්වභාවිකව භාවිතයට ගත හැකිවූ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදා ගැණිනි. ප්‍රවාහන කටයුතු දියුණුව නොපැවති එවන් යුගයක, ඒ සදහා ඔවුන් ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග භාවිතයට ගෙන ඇත. මේවා බොහෝ විට එකල ස්වාභාවිකව සොයා ගත හැකි වූ දෙල්, දොඹ, වල්අඹ  වැනි දැව වර්ග වලින් සාදන ලදී.    

සෝමවීර සේනානායක නම් වූ සම්මානනීය ලේඛකයා විසින් රචිත ගග අද්දර කැලේ නවකතාවේ එක් පරිච්ඡේදයක මෙසේ සදහන් වේ. "අඩි විස්සක් තරම් පළල, අඩි සියයක් තරම් දිග පහුර කොළඹ යාමට සූදානම්ය. පහුර දෙපැත්තේ උණ ලී මිටි මිටි ඇත. ඒ මැද්දේ ඇල්බීසියා කදන් පෙළ ගස්වා එකිනෙකට ඈදා ඇත. කදන් එකිනෙකට ඈදීම සදහා කොරස වැල් සහ දෙකට පැලූ බට දඩු යොදාගනු ලැබෙයි. පහුර මැද්දේ කුඩා පොල් අතු පැලකි. පැල තුළ හට්ටි මුට්ටි, හාල්, පොල්, තුනපහ ද, එළවළු, කරවල ද, මඤ්ඤොක්කා ද ඇත. පැලෙන් පිටත ලී කදන් මත තාර බැරල් පියනක් තබා ඒ මත ගල්තුනක් තබා ඇත්තේ ළිපක් වශයෙනි." යනුවෙන් පහුරක් සාදා ඇති ආකාරය මනාව විස්තර කෙරේ.

ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග අතරින් මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු බහුලව භාවිතා කරන ලද අතර, බරින් වැඩි දැව වැනි දේ ප්‍රවාහනය කිරීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලැබ ඇත්තේ පහුරු සහ පාරුවයි. ප්‍රවාහනය සදහා අවශය්ය දෑ පාරුවකට හෝ පහුරකට පිළිවෙලකට පටවාගෙන, අහුරාගන්නා පාරුකරු, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා පසුකරන ගමන් මාර්ගය ඉතාමත් කටුකයි. විටෙක නිශ්චල වුත් තවත් විටෙක රළුවුත් ගං දිය ඔස්සේ ගමන්ගත් ඒ ගමන් මාර්ගය සැබැවින්ම දුෂ්කර වූවක්. ඉතාමත් දිගුවූ මෙකී ගමන් මාර්ගය එක් දිනකින් නිමා කළ නොහැක්කක් විය. දින ගණන්, සති ගණන් ගංගාවක් දිගේ ගමන් කරද්දී, මග තොට හමුවන තොටුපල වල නැවතී උයාපිහා කමින්  ගමන් කළ යුතු විය. මෙසේ එදා ගංගාවල දිවිගෙවූ ඔරු පාරු කාරයෝ තම කාන්සිය, විඩාව, දුක මඟහරවා ගැනීම සඳහා ගායනා කල කවි  පාරු කවි  ලෙසින් හැදින්වීය.

සැබැවින්ම පාලු, නිසංසල, විටෙක සැඩ පරුෂ වූ ගංගාවක් දිගේ ඉහළට පහළට පාරුව පැද යාමේදී පාරුකාරයන්ට නිතැතින්ම තම ගෙදර-දොර, අඹු දරුවන් මතකයට එන්නට ඇති. මෙසේ ගමන්කරන අතර තුරදී පාරුකරුවන්ගේ සිත්තුල ඇතිවූ ඒ අහිංසක වූත් නිර්මලවූත් දුක පාළුව, අකා මකා දැමීමටත්,  ඔවුන් ලැබූ සුන්දර වූත්, කටුක වූත් ජීවන අත්දැකීම් සමුදාය වචන බවට හරවා තාලයකට කියන්නටත් යෙදුනු අතර, එය ක්‍රමයෙන් තම සහෝදර පාරුකරුවන් අතරත් ප්‍රසිද්ධ වී ජනප්‍රවාහයට එක්වී පාරු කවි ලෙසින් ප්‍රචලිත වීය.

මොටද උපන්නේ මේ වියලුව රටේ
බදපු ගල් බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රටේ
පාරුව පදින රුව බල වේර ගං තොටේ

ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගගකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන

සීරුව ඔබට කණු නොම සිටුවා මහත
වාරුව ඇතිව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යන
පාරුව වැනි ගෙයක් මේ මුලු ලොවේ නැත
මලේ මලේ තැබිලිය වැන්න පොල් මලේ
රළේ රළේ මූදෙන් දමන දිය රළේ
බලේ බලේ රාසිං දෙයියන්ගේ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්

බෝඹු ඉදල දලුලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
කැළනි ගගේ ඔරු යාදෝ නොයාදෝ
කලුගෙ නගා මට දෙන්නේ නොදේදෝ

බෝඹු ඉදල දලුලන්නේ නෑකමටයි
කෙකටිය මලේ වක යන්නේ වතුරකටයි
කැළනි ගගේ ඔරු යන්නේ පැත්තකටයි
කලුගෙ නගා මට දෙන්නේ නෑකමටයි

එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ
දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ
පේරාදෙණියේ පාළම දේදුන්න වගේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මලවගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

සස්සද සසද දිය මතුපිට තිබෙයි කොළ
සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල
වැස්සට පිණි බබා මෝරන කැකුලු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙලුම් මල

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ජාතිත් වාසනාවන් 

Sunday, February 24, 2013

ඔබ සිත්ගත් ගීයක් මට දැනෙන හැටි - තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ (තෙවන දිගහැරුම)


මා දුටු සුන්දරත්වය මොහොතකට හෝ මේ ගීතය තුලින් ඔබටත් දකින්න සිතේනම් මෙන්න ඒ සදහා ඉඩක්....


උදාර සමරවීරගේ සංගීත රිද්මයත්, දිලාන් ගමගේගේ වාංමාලාවත් සුරේන්ද්‍ර පෙරේරාගේ රිද්මයානුකූල නාදයත් එක්ව මුසුකොට නිමවූ මේ ගීතය මාගේ සිත්ගත් ගීතගොන්නට එක්කරගැනීමට මා යොමුකලේ එහිවූ රූපමය ස්වභාවයයි.  හැගුම්බරවූ දෘෂ්‍යම රූපකාව්‍යය නොවන්නට මේ ගීය මාහට තවත් එක් ගීතයක් වන්නට තිබිණි. එහෙත් එසේ නොවී මතකයේ රැදෙන ගීයක් බවට පත්කිරීමේ ගෞරවය සහන් අබේසේකර නම් වූ කලාකරුවාටත් හිමිවිය යුතුයැයි මට සිතේ.

මුණනොගැසුණු යෞවනියක් හා පෙමෙන් බැදෙන තරුණයකුගේ සිතේ නැගෙනා සිතුවිලි බොහොමයකි. තරුණියගේ සිත තුලත් එසේමැයි. හමු නොවුණත් මොහොතකදී යෙදෙන දොඩමලුවීම් ක්‍රමක්‍රමයෙන් ඔවුනොවුන්ගේ ලෝකය බවට පත්වෙයි. එවන් අවස්ථා වලදී එකී ආදරලෝකය හැරුනුකොට තෙවැන්නකට කොහෙත්ම ඉඩක් නොමැත. බාහිර පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් තමන්ට නොදැනෙනවා සේම තමන් සිදුකරන සියල්ලක් තුළම මනසින් ජීවත් වනුයේ තමා හදවතින්ම  පෙම් කරන ආදරවන්තයාගේ/ආදරවන්තියගේ ලෝකය තුලයි. සිත ආදර හැගීම් වලින් වෙලී යයි. ඔහුගෙන් තොරක් ලොවක් නොමැති තරමටම. දෙහදේ ඇතිවන්නාවූ නිරන්තර දොඩමලුවීම් තව තවත් ඔවුනොවුනගේ හදවත් නොදැක සිටීමට බැරි තරමට ලං කරයි. තාමත් මුන ගැහුනේ නැතත් මුණගැසීමේ ආශාව සිතතුළ රජ කරයි. ආදර හැගීම් වලින් සිත් පිරෙයි. එකිනෙකාට ලංවී පෙම්බස් දෙඩීමට සිත්දේ.

"තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ" යන ගීතයේ පදවැල් එය මනාවට දෙසවනට යොමුකරවයි.

නමුත් හදින් ලංවුණු ඔවුනොවුන් පළමුව දකිද්දී ඔවුනොවුනගේ සැබෑ ස්වරූපය දකින මොහොත සැබැවින්ම හදවතේ ආදරය, කුතුහලය, බිය හා මුසුවූ ලැජ්ජාශීලීත්වය පිරී තිබේ. එය අතුරුදහන් වන්නේ තමන් හදවතින් ලෙන්ගතුවූ බලපොරොත්තුවූ රූපකායම තමාඉදිරියේ සිටිද්දීය. එය එසේ වීනම් සැබවින්ම එය සිහිනයක් නොවේද? 

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....

හිත් පොඩියේ තනි වෙච්ච කුම්අදෝනා
පවසන්න අතින් වෙලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...
තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ...

Saturday, February 2, 2013

71 වන ජාතික නිදහස් දිනය | Independence Day of Sri Lanka

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ යටත්විජිතභාවයෙන් මිදී අපේ රටට නිදහස ලැබුනේ 1948 වර්ෂයේ පෙබරවාරි මස 4 වනදාය. අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි, ඩී.එස්. සේනානායක මැතිතුමා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා, එෆ්.ආර්. සේනානායක මැතිතුමා වැනි වීරවරුන් අපගේ රටට නිදහස ලබාගැනීම උදෙසා විශාල කැපකිරීමක් කරන ලද්දෝ වෙති. එය සනිටුහන් කරමින් සෑම වසරකම පෙබරවාරි මස 4 වන දින ජාතික නිදහස් දිනය ලෙසට අප ලබාගත් නිදහස සැමරීම වෙනුවෙන්ම වෙන්කොට තිබේ.  2014 වර්ෂයේ  මේ උදාවූයේ 66 වන නිදහස් සැමරුමයි. අප උපන් මේ ද්වීපයට අදින් හැටහය වසරකට පෙර ලැබුනාවූ නිදහස සමරනු වස් ජාතික ධජයක් ඔසවා හෙළයේ ගාම්භීරත්වය විදහා දැක්වීම අප සැමගේ යුතුකමක් වේ. 

අපේ ජාතික ගීය 

1911 ජනවාරි මස 13 වන දින උපත ලැබූ ආනන්ද සමරකෝන් ශූරීන් අපේ රටේ ජාතික ගීයේ නිර්මාතෲවරයා වේ. එකල ප්‍රකට ගීතරචකයෙකු හා සංගීතවේදියෙකු වූ ආනන්ද සමරකෝන් ශූරීන්, 1940 දී පමණ රචනා කරන ලද "නමෝ නමෝ මාතා" නම්වූ ගීතය අප රටේ ජාතික ගීය ලෙස නම් කරන ලදී.



ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී, සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි 
ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා - ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති - අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ - අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමාප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා